(2020 පෙබරවාරි 6)
‘ලාසරස් සහ අසංවේදී ධනවතා ගේ උපමාව’ කතෝලික සමාජ ධර්මයට පදනම් වන ජේසු සමිඳුන් ගේ මූලික ඉගැන්වීමෙකි.
ලූක් සුබ අස්නේ එන මෙම උපමාවෙන් ජේසු සමිඳුන් උගන්වන්නේ යම් තැනැත්තෙකු පල්ලි කණුවක් වුනත්, අසහාය ධර්ම ධරයෙක් හෝ දේවධර්මය පිලිබඳ දේශකයෙකු වූවත්, දෙව්මැදුරු අලංකාරයට කෙතරම් මුදල් පරිත්‍යාග කළත් තමාගේ ගේ දොරකඩ, අසල්වාසියේ සිටින දුප්පතාට ආදරය නොදක්වන්නේ නම්, ඔහුගේ දුකට වේදනාවට අසංවේදී නම් සහතිකව ම එම තැනැත්තාගේ අවසානය පිපාසයට දිය පොදක් නොමැති නිරය බවයි. Preferential Option for the Poor, එනම්, “දුප්පතුන් වෙනුවෙන් අනුග්‍රහ පූර්වක තෝරා ගැනීම” කතෝලික සමාජ ධර්මයේ මූලික ඉගැන්වීමෙකි.
මේ අනුව කතෝලික සමාජ ධර්මය අවධාරණය කරන්නේ “ලාසරස් ලා ගෙදර කෑම මේසයට ගත යුතු” බවය. එනම් දුප්පතුන්, පීඩිත වූවන්, කොන්කරන ලද්දන්, අයුක්තියට සහ අසාධාරණයට ලක්වූවන්, කුසගින්නෙන්, නිවාස රහිතව, රෝගීව සිටින්නන් වැනි විවිධාකාරයෙන් වේදනාවට පත් වූවන් වෙනුවෙන් කිතුනුවා ක්‍රියා කල යුතු ය යන්නයි.
ඇමෙරිකානු දේව ධර්ම විශාරදයකු වන බර්නාඩ් එෆ්. එවන්ස් කතෝලික සමාජ ධර්මය පිලිබඳ සිය කෘතිය “Lazarus at the Table – Catholics and Social Justice” ලෙස නම් කර ඇත්තේ එබැවිනි. දුප්පතුන්, සාංක්‍රමනිකයන්, මානව අයිතිවාසිකම් අහිමිවූවන් වැනි සමාජයේ දුර්වල කොටස් කෙරෙහි අවධානය යොමු නොකර, හෙවත් දොරකඩ සිටින “ලාසරස් ලා ගෙදර කෑම මේසයට නොගෙන” සිදු කරන පූප කැඩීම් අර්ථ ශුන්‍ය ය. ජේසු සමිඳුන් ගේ අවසන් රාත්‍රී භෝජනයට සහභාගී වූ, එය සියැසින්ම දුටු සුවිශේෂක වරුන් දෙදෙනාගෙන් කෙනෙකු වන සුවිශේෂක ශු. ජුවාම් තුමා එම අවස්ථාවේ සිදු වූ පූප කැඩීමේ අති වැදගත් සිද්ධිය වාර්තා කරනු වෙනුවට කිසිවකුත් වාර්තා නොකළ පාද දෝවනය සිය සුපුවත තුළ අවධාරණය කලේ ද ඒ නිසා ය.
කතෝලික සමාජ ධර්මය සිය ජීවිතය කරගත් ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා ලාසරස් සහ ධනවතා ගේ උපමාව සිය ප්‍රියතම උපමාවක් කරගැනීමෙන් නොනැවතී එය තමා ගේ ජීවිතය කරගෙන තිබේ. බුවනෝස් අයරෙස් අගරදගුරු තුමන් ලෙස සේවාව කරද්දී මෙන් ම පාප්තුමන් ලෙස පත්වීමෙන් පසුව ද එතුමා “ලාසරස් ලා කෑම මේසයට” ගත්තේය.
මේ, එතුමා මෑතකදී කළ ලාසරස් ලා මේසයට ගැනීමකි.
වතිකානයේ ඇති 19 වන සියවසට අයත් මාලිගාවක් ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා ගේ උපදෙස් අනුව පසුගියදා රෝමයේ සිටින දුප්පතුන් සහ ගෙවල් නොමැති ජනතාවගේ ගෙදරක් බවට පරිවර්තනය කෙරිණි.
1800 ගණන්වල මුල් භාගයේ දී රෝම පවුලක් විසින් මේ මාලිගාව ඉදි කෙරිණි. ඔවුන් විසින් එය නම් කර තිබුණේ “Palazzo Migliori” හෙවත් “හොඳම ජනතාව ගේ මාළිගාව” යනුවෙනි. 1930 ගණන් වලදී වතිකාන රාජ්‍යය විසින් එය පවරා ගනු ලැබිණි. ඉන් පසුව මෑතක් දක්වා “හොඳම ජනතාව ගේ මාළිගාව” යොදා ගන්නා ලද්දේ සැමියා නොමැති යොවුන් මව්වරුන් (single mothers) රැකබලා ගන්නා නිවහනක් ලෙසයි. කැලසන්සියානි (Calasanziane) නමැති කාන්තා පැවිදි නිකායේ සොහොයුරියෝ එම දූත සේවාවේ නිරත වූහ.
එම සොහොයුරියෝ 2019 වසරේ දී සිය දූත සේවාව අවසන් කර “පැලස්සෝ මිල්ගොරි” මාලිගාව වතිකානයට භාර දී ඉවත් ව ගියහ. ඔවුන් පිටව යාමෙන් පසු මාළිගාව ප්‍රතිසංස්කරණය කෙරිණි.
ප්‍රතිසංස්කරණ නිමවනවාත් සමග මේ සුන්දර පැරැණි මාලිගාවට කරන්නේ කුමක්දැයි සාකච්ඡාවක් ඇති විය. මේ මාලිගය ගොඩනගා ඇත්තේ වතිකාන රාජ්‍යය මැද සියලු පුජනීය සහ ඓතිහාසික ස්ථානවලට අතේ දුරිනි. මේ නිසා කතෝලික සභාවට හොඳ ආදායමක් ලබාගත හැකි ආකාරයෙන් එය සුඛෝපභෝගී සංචාරක හෝටලයක් බවට පරිවර්තනය කරන ලෙස බොහෝ දෙනෙක් යෝජනා කළහ.
එහෙත් ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා ඊට වඩා වැදගත් “ක්‍රිස්තියානි අදහසක්” ක්‍රියාවට නැංවුයේ ය. එනම් එම මාළිගාව රෝමයේ සිටින “දුප්පතුන් ගේ සහ ගෙවල් නැති ජනතාවගේ ගෙදරක්” බවට (homeless shelter) පරිවර්තනය කරන ලෙස එතුමා උපදෙස් දුන්නේ ය. එම කාර්යභාරය දුප්පතුන් සඳහා සේවාවේ නිපුණයකු වන පාප් වහන්සේ ගේ දයා සේවා ප්‍රධානී කොන්රඩ් ක්‍රජෙව්ස්කි කාදිනල් හිමිපාණන්ට පැවරුවේය.
ප්‍රන්සිස් සුදොතුම් පියතුමා ඉකුත් නොවැම්බර මාසයේ සිකුරාදා දිනෙක සියලු පහසුකම් වලින් යුත් මෙම “දුප්පතුන් ගේ මාළිගාව” ආශීර්වාද කළේය. එහිදී එතුමා වතිකානයේ සිය ගේ දොරකඩ සිටින “ලාසරස්ලා” සමග එක මේසයේ හිඳගෙන ආහාර වේලක රස වින්දේය. ඒ පිලිබඳ තොරතුරු මාධ්‍ය වෙත නිකුත් කරන ලද්දේ මේ සතියේ ය.
” සුන්දරත්වය සුවපත් කරයි “
දුප්පතුන් ගේ මාළිගාවේ සේවාව භාරව කටයුතු කරන්නේ රෝමයේ සාන්ට් එගිඩියෝ සංඝයේ සාමාජික සාමාජිකාවෝ ය.
“මෙහි වැදගත් ම කාරණය තමයි මෙතැන අපි ඉන්නේ වතිකානයේ ඉදිරිපසය යන්න. නිවහන පිහිටා තිබෙන්නේ සුදොතුම් පියතුමා ගේ හදවතේ. පාප් වහන්සේට ඉදිරි පසින් දුප්පතුන්ට ගෙදරක් තිබෙනවා” එම ප්‍රජාවේ සමාරම්භක අන්ද්‍රියා රිකාඩි වාර්තාකරුවන්ට කියා සිටියා ය.
ප්‍රථම දිනයේ මෙම නිවහන නිරීක්ෂණය කරමින් එය පුරා ගමන් කල සුදොතුම් පියතුමා “සුන්දරත්වය සුවපත් කරනවා” යි කී බව වතිකානය වාර්තා කරයි.
“සුන්දරත්වය සුවපත් කරයි” – දුප්පතුන්ට හිමි වූරෝමයේ මාළිගාව |
ප්‍රැන්සිස් සුදොතුම් පියතුමන් පිලිබඳ විශ්ලේෂකයන් පෙන්වා දෙන වැදගත් කරුණක් තිබේ. එනම්, ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා ගේ ක්‍රියාව ම පණිවිඩයක් බවයි.
ඒ අනුව මේ ක්‍රියාව නූතන ලංකාවේ කතෝලිකයනට දෙන තවත් පණිවිඩයක් තිබේ.
එනම්, කතෝලිකයන් ගේ කෑම මේස හෝ දාන මේසවල සිටිය යුත්තේ සිව් පස යහමින් වළඳන්නට ලැබෙන පූජක-පූජ්‍ය ප්‍රභූන් නොව, ගමේ, අසල්වාසියේ, නගරයේ පැල්පත්වල සිටින ‘ලාසරස්’ලා ය යන්නයි.
www.vathikanasulaga.com