ලොක්කන්ගේ SMS එකකින් වාරණයට ලක්වන ලංකාවේ පුවත් වෙබ් අඩවි …

0
125

ශ්‍රී ලංකාව තුල මේ වන විට වෙබ් අඩවි 8 කට වඩා වැඩි ප්‍රමාණයක් වාරණයට ලක්කොට ඇත. නමුත් විදුලි සංදේශන නියාමන කොමිසමේ අධ්‍යක්ෂක ජෙනරාල් අනුෂ පැල්පිට පවසන්නේ ශ්‍රී ලංකාව තුල මේ වන විට වෙබ් අඩවි 1500කට වඩා වැඩි ප්‍රමාණයක් වාරණයට ලක්කොට ඇති බවත් ඒ සැම එකක්ම පාහේ ‘අසභ්‍ය වෙබ් අඩවි’ බවත්ය. මෙහිදී ‘අසභ්‍ය’ යන වචනය නිර්වචනය කිරීමට අනුෂ පැල්පිට හිතාමතාම මගහරී.

ඔහුගේ නිර්නායකය අනුව ශ්‍රී ලංකාවේ අසභ්‍යතම වෙබ් අඩවිය ‘ටැමිල් නෙට්’ වේ. මීට අවුරුදු 7 -8 කට කලින් එම වෙබ් අඩවිය වාරණය කරන්නේ කුරිරු යුද්ධයේ අසභ්‍ය තොරතුරු ලොවට හෙලිකළ හෙයිනි. ‘ලංකා නිවුස් වෙබ්’ 2009 වසරේ මාර්තු මාසයේ එළිදැක්වීමෙන් අනතුරුව තෙමසක් ඉක්මයත්ම 2009 වසරේ ජූලි සිට ශ්‍රී ලංකාව තුල වාරණය කරන්නේ එය කොටින්ගේ සිංහල හොරණෑව බව කියමිනි. ඉන්පසු පිළිවෙලින් ‘ලංකා ඊ නිවුස්’, ‘ශ්‍රී ලංකා ගාඩියන්’, ‘ශ්‍රී ලංකා මිරර්’, ‘theindependent.lk’ ‘නිවුස් ඔෆ් කලම්බු’, ‘කලම්බු ටෙලිග්‍රාෆ්’, තහනම් කරනු ලැබීය.

පසුගිය කාලය තුල ලංකා නිවුස් වෙබ් සිය සන්නස් නාමය (Domain name) ‘Lankanewsweb.net ‘ යනුවෙන් වෙනත් අරමුණක් සඳහා වෙනස් කළ විට එය ලංකාව තුල නැවතත් වාරණයකින් තොරව කියවිය හැකි විය.

නමුත් පෙරේදා (02) විදුලි සංදේශන නියාමන කොමිසමේ අධ්‍යක්ෂක ජෙනරාල් අනුෂ පැල්පිට සිය ජංගම දුරකතනය වන 0714191175 මගින් SMS පණිවිඩයක් Hutchison සමාගමට එවමින් ‘Lankanewsweb.net ‘ වහාම ක්‍රියාත්මක වන පරිදි අවහිර කරන ලෙස දැනුම් දී ඇත. එහිදී සමාගමේ නිලධාරියෙක් අධ්‍යක්ෂක ජෙනරාල්වරයා අමතා එසේ අවහිර කිරීමට හේතු විමසීමේදී ඔහු පවසා ඇත්තේ ‘ලංකා නිවුස් වෙබ්’ තමන්ට අපහාස වන ආකාරයට පුවතක් පලකොට ඇති බැවින් එය වාරණය කළ යුතු බවයි. එම පුවත කුමක්දැයි Hutchison නිලධාරියා විමසූ විට පැල්පිට පවසා ඇත්තේ ‘Tor පැල්පිටගේ කලිසම ගලවයි’ යන පුවතින් තමාට නින්දාවක් සිදුවී ඇති බවයි.

වාරණය අපට අලුත් දෙයක් නොවේ. නැවත වරක් අපව වාරණය කරමින් අනුෂ පැල්පිට අපට අපගේ පාඨක සංඛ්‍යාව වැඩිකර දීමට කටයුතු කිරීම පිළිබඳව අප ඔහුට ස්තූතිය පුද කරමින් එක් ඉල්ලීමක් කරන්නෙමු. එනම් කැඩපතක් ඉදිරියට ගොස් තම රූප කාය නරඹන ලෙසයි. ‘ඇත්තටම ඔබ සිටින්නේ නිරුවතින් නොවේද?. ඔබට මේ අපරාධය කලේ කවුද? සිමෙන්ති කොට්ට පනහකට වැලි කියුබ් දෙකකට ඇඳ සිටින කලිසම ගලවා දමන්නේ ඇයි?’

(lankanewsweb.net)

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here