ලෝකයේ දුප්පත්ම ජනපති ලංකාවට දෙන ආදර්ශය….

0
111

predsednik-urugvaja-hose-muhika-siromasan-siromastvo-vozi-bubu-1353198374-231094හොසේ මුහීකා උරුගුවේ රාජ්‍යයේ ජනපති පුටුවේ හිද ගත්තේ 2010 අවුරුද්දේදීය. “ලෝකයේ දුප්පත්ම ජනපති” යන නම ඔහුට පට බැදෙන්නට පටන් ගත්තේ ඔහු උරුගුවේ ජනපතිවරයාට හිමි සැපපහසු මන්දිරය අතහැර ගොවිපොළක වාසය කරන්නට යාම හේතුවෙනි.

උරුගුවේ අගනුවර වූ මොන්ටෙවිඩියෝ පෙදෙසින් බැහැර පිහිටි එක කාමරයක් සහිත මේ පුංචි ගෙදර සිය බිරිය සමඟ වෙසෙන ඔහු විවේක වේලාවට කපුරු මල් වගාවක් කරයි.

ඔහු පාවිච්චි කරන්නේ බෙන්ස් එස්. ක්ලාස් වර්ගයේ රථයක් හෝ රේන්ජ් රෝවර් රථයක් නොව පරණ වොක්ස්වැගන් බීට්ල් කාරයකි.

ගුවන්ගමන්වලදී වෙනම ගුවන් යානයක් වෙන් කර නොගන්නා අතර සාමන්‍යය පරිදි ගමනේ යෙදෙන ගුවන් යානයක සාමාන්‍ය පහසුකම් සහිත ඉකොනොමි පන්තිය ඔහු විසින් තෝරාගනු ලබයි.

ඔහුගේ වියදම පැයකට ලක්ෂ අටක්, දිනකට ලක්ෂ 200 ක් නොවේ. මුළු මසටම ඔහු වියදම් කරන්නේ රුපියල් එක් ලක්ෂ හැට දහසකි. ඔහුගේ සම්පුර්ණ මාසික වැටුප ලක්ෂ පහළොවකි. එයින් එක් ලක්ෂ හැටදහසක් පමණ ඔහුගේ වියදමට තබාගෙන ඉතිරිය මහජනතාව වෙනුවෙන් ඔහු වෙන් කරයි. 2004 වසරේ සිට 2009 දක්වා කාලයේදී උරුගුවේ හි දුප්පත්කම සියයට 32 සිට 20 දක්වා අඩු විය.

ඇතිවන සිද්ධි දාමයන් හමුවේ ඒවාට මුලික හේතුන් නොසොයා ජනතාව පීඩාවට ලක් කල ෆුල්ෆෙස් හෙල්මට් තහනම්, බස් රථ රියදුරන්ට ජංගම දුරකථන තහනම, වාහන ටින්ට් තහනම් වැනි නීති උරුගුවේ දක්නට නොමැත.

උරුගුවේ ජනපති නීති සම්බන්ධයෙන් සිටින්නේ නම්‍යශීලි මතයකය. උරුගුවේ රටට වසංගතයක් වී ඇති මරිජුවානා ප්‍රශ්නය විසදන්නටද ඔහු අනුගමනය කළේ නම්‍යශීලී පිළිවෙතකි. ඇත්තෙන්ම එය උපායශීලී පිළිවෙතකි. මිනිස් සිරුරට අහිතකර සෞඛ්‍ය බලපෑම් ඇති කරවන මරිජුවානා උරුගුවේ නීතිගත කිරීමෙන් මුහීකා බලාපොරොත්තු වන්නේ රටේ කි‍්‍රයාත්මක වන නීති විරෝධී මත්ද්‍රව්‍ය වෙළෙදාම නතර කිරීමයි.

පසුගියදා උරුගුවේ සෙනෙට් මණ්ඩලයේ පැය 12ක විවාදයකින් පසු මුහීකා ගෙනා මරිජුවානා නීතිගත කිරීමේ පනත සම්මත විය. මේ යටතේ මරිජුවානා ළඟ තබා ගත හැක්කේ අවුරුදු 18ට වැඩි රජයේ ලියාපදිංචි උරුගුවේ ජාතිකයන්ට පමණි. ඔවුන්ට ද මසකට මිලදී ගත හැක්කේ මරිජුවානා ග්‍රෑම් 40ක් පමණි. මෙසේ කිරීමෙන් නීති විරෝධී ලෙස ඉවක් බවක් නැතිව කෙරෙන මරිජුවානා වෙළෙදාම නැවතෙනු ඇති බවත්, ක්‍රම ක්‍රමයෙන් රටෙන් එය තුරන් කිරීමට හැකි වනු ඇති බවත් මුහීකාගේ රජය විශ්වාස කරයි.

එහෙත් මේ පියවරට එරෙහිව එල්ල වන ගල් මුල් ඉවරයක් නැත. මේ නිසා සිදුවන්නේ තව තවත් මරිජුවානා භාවිතයට මිනිසුන් පෙලඹීම පමණ යැයි බී. බී. සී පුවත් සේවයට අදහස් දක්වන්නෝ කියා සිටිති. එහෙත් මුහීකාගේ දර්ශනය ඊට වෙනස් ය. නීති දැමීමෙන් නොව නීතිය ලිහිල් කිරීමෙන් සමහර ප්‍රශ්නවලින් මිනිසුන් ගලවා ගත හැකි බව ඔහු විශ්වාස කරන්නේ ය.

‘ද ගාඩියන්’ පුවත්පතට අනුව මරිජුවානා ප්‍රශ්නය පැත්තක තැබුවොත් මෙවැනි ප්‍රතිපත්ති නිසා කලාපයේ ඇති ආරක්ෂාකාරීම සහ දූෂණ වංචා අවම රටවල් අතරින් එකක් බවට උරුගුවේ දැන් පත් වෙමින් තිබේ.

එරට කිරි වැනි අත්‍යවශ්‍ය භාණ්ඩ සඳහා මිල පාලනයක් තිබේ. උරුගුවේ දරුවන්ට අධ්‍යාපනය සම්පූර්ණයෙන් ම නොමිලයේ ලැබෙන අතර හැම සිසුවකුට ම ආණ්ඩුවෙන් නොමිලයේ පරිගණකයක් ලැබේ. (එස්.බී දිසානායක පොරොන්දු වූවාක් මෙන් නොමිලේ ලබාදෙන (වාරික වශයෙන් ගෙවීමට සිදුවන )ලැප්ටොප් පරිගණක නොවේ)

එරට බලශක්ති සහ දුරකථන සන්නිවේදන කර්මාන්ත සියල්ලක් ම ජනසතු කොට තිබේ. නගරයෙන් බැහැරව බිරිය සමඟ ගෙවන නිස්කලංක ජීවිතය නිසා ජනපතිවරයකු වශයෙන් ඔහුගේ හිස මත පැටවී ඇති බර මානසික පීඩාවක් බවට පත් නොවී නිදහස් කර ගත හැකි ය.

ඔහුගේ බිරින්දෑ වන උරුගුවේ හි ජනපති ආර්යාව ලූෂා ටොපොලාන්ස්කි ද ඔහුට ගැලපෙන සහකාරියකි. ඇය ද සැමියා මෙන් ම ජනතාවාදී දේශපාලනට ජීවිතය කැප කළ තැනැත්තියකි. වරෙක ඇය වැඩබලන ජනපති හැටියට ද කටයුතු කර තිබේ. දරු සම්පත් නැති වුව ද දෙමාල්ලන්ගේ ජීවිතයේ සතුටෙන් අඩුවක් නැත. දරුමල්ලන්ට දෙන්නට කියා වස්තුව ගොඩ ගසන්නට වුවමනාවකුත් නැත.

ඔවුන්ගේ පුංචි ජනපති මන්දිරයේ මුරට සිටින්නේ ආරක්ෂක භටයන් දෙදෙනෙකි. වෙන ජනපතිවරුන්ට තිබෙන ජීවිත තර්ජන මුහීකාට නැත. තිබුණත් ඔහු ඒ ගැන වැඩි තැකීමක් කරන්නේ ද නැත.

දැන් 78 වැනි වියේ පසුවන ඔහු රටේ රාජකාරි නැති වේලාවට පරණ ඇදුමක් සහ බූට් දෙකක් පයලාගෙන ගොවිපොළේ වැඩ කරමින් ද, හිතේ සැහැල්ලූවෙන් කා බී සරලව ජීවත් වෙමින් ද දවස් ගත කරයි.

ඒ අතින් බලන විට ඔහු අනෙක් බොහෝ රටවල ජනපතිවරුන්ට වඩා පී‍්‍රතියෙන් පොහොසත් ය. ඔහුට දිය හැකි හොඳම නම ලෝකයේ ජනපතිවරුන් අතරින් රෑට හොඳින්ම නින්ද යන ජනපති වැනි නමකි.

ඉතින් ලෝකයේ දුප්පත්ම ජනපති යැයි නම් පටබැදෙනවාට ඔහු අකමැති වීම අහන්නටත් දෙයක් ද? එහෙත් “මං මේ ජීවත්වෙන විදිහට ජීවත් වෙන්න කියල මගෙ ජනතාවට කිව්වොත් නම් ඒගොල්ලො මාව මරයි” යැයි හොසේ මුහීකා කියයි. භෞතික සම්පත් පසුපස ලූහුබදින ලෝකයට තමන් ගෙවන ජීවිතයේ වටිනාකම බලෙන් තේරුම් කරවන්නට ඔහුට වුවමනාවක් නැත.

තමන් ලෝකයේ දුප්පත්ම ජනපති යැයි කියන්නේ වත්පොහොසත්කමේ නියම අර්ථය නොදන්නා අය බව ඔහුගේ අදහසයි. “මම ලෝකෙ දුප්පත්ම ජනාධිපති නෙමේ. ජීවත් වෙන්න හුඟක් දේවල් ඕන කරන කෙනා තමයි දුප්පත්ම කෙනා” මුහීකා කියන්නේ එබැවිනි.

– කත්‍යානා අමරසිංහ විසින් සකස් කල ලිපියක කරුණු ආශ්‍රයෙන් සැකසුණි.