වසංගතය නිදහසට කාරණයක් නොවෙයි -ආචාර්ය දීපිකා උඩගම

0
114

වසංගතය මර්දනයට බලය යෙදවීම අවශ්‍යතාවන්ට සමානුපාතික විය යුතුයි

නීතියෙන් පිට පැන්න ගමන් අයිතිවාසිකම් උල්ලංඝනය වෙනවා

වෛරී ප්‍රකාශන පිළිබඳ නීතිය සාධාරණව ක්‍රියාත්මක වුනේ නැහැ

ICCPR පනත සුළු ජාතීන්ට එරෙහිව යොදා ගැනීමේ රටාවක් නිරීක්ෂණය වෙනවා

මාධ්‍ය නිර්දෝෂභාවයේ පූර්ව නිගමය සැලකිල්ලට ගන්නේ නැහැ

පනවා තිබූ ඇදිරිනීතිය නිත්‍යානුකූල නැති බව කොමිසම පෙන්වා දුන්නා

ලෝක සොඛ්‍ය සංවිධානයේ නිර්දේශ ඉක්මවා අවසන් කටයුතු කිරීම පිළිබඳ
රජය පැහැදිලි කිරීමක් කළ යුතුව තිබුනා

පෞද්ගලික අංශයේ රැකියා සුරක්ෂිතාවය ගැන රජය ප්‍රතිපත්තිමය තීරණයක් ගත යුතුයි

අයිතිවාසිකම් රැක ගන්න නම් ප්‍රජාව සංවිධාන ගත විය යුතුයි

ආචාර්ය දීපිකා උඩගම
මානව හිමිකම් කොමිෂන් සභාවේ සභාපතිනි

Anidda aithi(1)

කොවිඩ් 19 වසංගතය බොහෝ රාජ්‍යන්ට නීතියට පිටින් කටයුතු කිරීමට ලැබුණු බලපත්‍රයක් බවට පත්ව තිබෙනවා. මානව හිමිකම් කොමිෂන් සභාවට ලංකාව තුළ මේ තත්ත්වය නීරීක්ෂණය වෙන්නේ කොහොමද?

කොවිඩ් 19 සමඟ ගෙවෙන මේ කාලපරිච්ඡේදය දෙස අපි බලන්නේ හදිසි අවස්ථාවක් විදියට. රටේ හදිසි අවස්ථා තත්ත්වයක් ප්‍රකාශයට පත් කරලා නැති වුනත් මේ අවස්ථාවේ මහජන සෞඛ්‍යට බරපතළ තර්ජනයක් එල්ල වෙලා තිබෙනවා. මේ රාමුව තුළ ඉඳලයි අපි මානව හිමිකම් තත්ත්වය දෙස බලන්නෙත්. කොවිඩ් සමයේ මානව හිමිකම් කොමිෂන් සභාවට ලැබුණ පැමිණිලි වගේම මානව හිමිකම් කොමිෂන් සභාව විසින්ම නිරීක්ෂණය කරන ලද මානව හිමිකම් උල්ලංඝනයන් විශාල පරාසයක් දක්වා දිවෙනවා. භාෂණයේ නිදහස ආශ්‍රයෙන් අත්අඩංගුවට ගැනීම, වධහිංසාව, තොරතුරු විකෘති කොට පළ කිරීම, වෛරී ප්‍රකාශන ආශ්‍රිතව අත්අඩංගුවට ගැනීම, වැරදි තොරතුරු මත පදනම්ව අත්අඩංගුවට ගැනීම යනාදි වශයෙන් බොහෝ ප්‍රශ්න පැන නැගුනා. ඒ වගේම පොලිසිය නිවේදනයක් නිකුත් කළා රාජ්‍ය නිලධාරීන් විවේචනය කරන්නන්ව අත්අඩංගුවට ගන්න බවට. නමුත් අපි මේ පිළිබඳව වැඩබලන පොලිස්පතිවරයාට දීර්ඝව කරුණු දක්වමින් ලිපියක් යොමු කළා. එමඟින් අපි පෙන්නුම් කරන්න උත්සාහ කළේ මෙවැනි අවස්ථාවක මහජන සෞඛ්‍යට එල්ල වෙලා තිබෙන තර්ජනය නිසාම යම් යම් සීමාවන් පැනවීමට සිදුවිය හැකි වුවත් ඒ සීමාවන් පැනවිය යුත්තේ නීතිය ආශ්‍රයෙන් බව. මොකද නීතිමය රාමුවෙන් පිට පැනීමෙන් විශාල ගැටලු‍ මතු වෙනවා. අයිතිවාසිකම් උල්ලංඝනය වෙන්නේ එවන් අවස්ථාවලදීයි.

මෙවැනි අවස්ථාවක ජනතාවට නිදහස තිබිය යුතුයි විශේෂයෙන්ම රාජ්‍ය ප්‍රතිපත්ති, රාජ්‍ය නිලධාරීන්ගේ ක්‍රියාකාරකම් විවේචනයට ලක්කිරීමට. උදාහරණයක් හැටියට රු.5,000 දීමනාව බෙදා දීමේදී නොයෙකුත් ආකාරයේ අකටයුතුකම් සිදුවූ බවට මානව හිමිකම් කොමිෂන් සභාවට විශාල වශයෙන් පැමිණිලි ලැබුණා. එක ගමක මිනිස්සු එකතු වෙලා හදිසි නීතිය ක්‍රියාත්මක වන අවස්ථාවේ මෙයට විරෝධය දැක්වුවා. ඔවුන්ව අත්අඩංගුවට ගත්තා.‘අත්අඩංගුවට ගත්තේ ඇඳිරි නීතිය උල්ලංඝනය කිරීමටත් වඩා අනීතික ජන රාශිය යටතේ. සෞඛ්‍ය ප්‍රශ්නයට අදාළව නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට ඉඩක් තිබුනත් ජනතාව තමන්ගේ දුක්ගැනවිල්ලක් ඉදිරිපත් කරන අවස්ථාවක එවැනි දඬුවමක් ලබා දීම වැරදියි. නමුත් මෙවැනි අවස්ථාවක ඕනෑම රජයකට හැකියාව තිබෙනවා ප්‍රබල විදියට මේ ක්‍රියාකාරකම් මැඩ පවත්වන්න නොයෙකුත් විදිහේ ක්‍රියාමාර්ග ගන්න. නමුත් ඒ ක්‍රියාමාර්ග ගැනීමේදී මානව හිමිකම් නීතිය යටතේ, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා නීතිය යටතේ වැදගත් මුලධර්මයක් තමයි අවශ්‍යතාවයට සමානුපාතික විය යුතුයි කියන දේ. එය අතිශයින්ම වැදගත්.

කොවිඩ් සමයේ අපිට අත්දකින්න ලැබුනා මහජන සෞඛ්‍ය ප්‍රශ්නයක් ජාතිවාදි මුහුණුවරක් ගන්නා ආකාරය.

ඔව්, විවිධ ජන කොටස් වලට නොයෙකුත් වෙනස්කම් කිරීම් පිළිබඳ පැමිණිලි අපට ලැබුණා. ඒ වගේම අපිත් නිරීක්ෂණය කළා, යම්කිසි විදිහකට බුර්කාවක් පැළඳගෙන ඉන්න මුස්ලිම් ප්‍රජාව මුල් කරගෙන ඔවුන් මේ රෝගය පතුරුවන්න බෙහෙවින් දායක වුණා වැනි වෛරී ප්‍රකාශන සිදුකරනවා. විශේෂයෙන් මහජන නියෝජිතයන් පවා ප්‍රධාන දහරාවේ මාධ්‍ය භාවිතා කරමින් එවැනි අදහස් පළ කළා. නමුත් එවැනි අවස්ථාවල නීතිය ක්‍රියාත්මක වෙන බවක් අපි දුටුවේ නැහැ. එය ජනතාව අතර නොසන්සුන්තාවක් ඇති කරන්න හේතුවක් වුනා. මෙවන් අර්බුදකාරී වතාවරණයක වෛරී ප්‍රකාශන පිළිබඳ නීතිය සාධාරණ අන්දමින් ක්‍රියාත්මක විය යුතුයි. ජනප්‍රිය චරිත, මහජන නියෝජිතයන් වෛරී ප්‍රකාශ කරද්දි නීතිය ක්‍රියාත්මක නොවී සාමාන්‍ය පුරවැසියන් යම් යම් අදහස් පළකරන විට ඔවුන්ව අත්අඩංගුවට ගන්නවා. එහිදිත් එක් ප්‍රජාවක අය අත්අඩංගුවට ගන්නවා, තවත් ප්‍රජාවක අය අත්අඩංගුවට ගන්නේ නැහැ. මේ අත්අඩංගුවට ගැනීම් බොහෝමයක් සම්බන්ධයෙන් අපේ මතය වුණේ, ඔවුන් මහජනතාව උසි ගැන්වීම සඳහා යමක් ප්‍රකාශ කළ බව ඔප්පු කරන්න හැකියාවක් නැති බව. මොකද වෛරී ප්‍රකාශන නීතියේ පැහැදිලිවම කියනවා,ිවෛරය ඇතිවන ආකාරයේ ප්‍රකාශනයක්, ජනතාව යම් දෙයකට උසි ගැන්වීම සඳහා කරන ලද ප්‍රකාශනයක් විය යුතුයි’ කියල. යුද සමයක වුනත් වෙනත් ඕනෑම හදිසි තත්ත්වයක් යටතේ වුවත් වෙනස්කමකින් තොරව කටයුතු කළ යුතුයි. නමුත් මේ සෑම අවස්ථාවකදීම රජයන් ගනු ලබන දැඩි පියවරයන් ජනතාවගේ අයිතිවාසිකම් වලට බරපතළ බලපෑමක් ඇති කිරීමේ අවදානම තිබෙනවා.

ප්‍රකාශනයේ නිදහසට පැනවෙන සීමා නිත්‍යනුකූලව සිදුවිය යුතු බවට ඔබ විසින් අවස්ථා ගණනාවක් පොලිස්පතිවරයා දැනුවත් කරනු ලැබුවා. මේ සම්බන්ධයෙන් කිසියම් ම හෝ අවධානය පළවීමක් නිරීක්ෂණය වුනාද?

මීට දින කිහිපයකට කලිනුත් අපට පැමිණිල්ලක් ලැබුණා යම් පුද්ගලයෙකු සිදුකළ ප්‍රකාශනයක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනීමේ අවදානමක් තිබෙනවා, එය වළක්වන්න කටයුතු කරන්න කියල. ඔහු ඉදිරිපත් කරල තිබෙන කරුණු සහ ලිපිලේඛන අධ්‍යයනය කළාම අපට පැහැදිලියි මේ පුද්ගලයා නිර්ආගමික පුද්ගලයෙක් බව. ඔහුගේ තර්කනය මත පිහිටලා පොදුවේ යම්කිසි ආගමක් පිළිබඳව අදහස් ප්‍රකාශ කළාම එය කොහෙත්ම වෛරී ප්‍රකාශයක් වෙන්නේ නැහැ. අපි මේ සිදුවීම සම්බන්ධයෙන් පොලිසියට කරුණු දැක්වුවා. මේ සම්බන්ධයෙන් ක්‍රියාත්මක වන ICCPR පනත කාලයක් පුරා භාවිත කරල තිබෙන්නේ එක්තරා රටාවකට අනුව බව පැහැදිලියි. විශේෂයෙන්ම එය සුළුතර ජනතාවට එරෙහිව කටයුතු කිරීමට යොදා ගන්න බවක් පෙනෙනවා. නමුත් කොවිඩ් සමයේ අපි දුටුවා මහ ජාතිය වෙනත් ආගම්වලට හෝ ලබ්ධිකයන්ට එරෙහිව වෛරී ප්‍රකාශ කළත් පියවර නොගන්න තත්ත්වයක්. වෛරී ප්‍රකාශන පිළිබඳ නීති, අයිතිවාසිකම් උල්ලංඝනය නොවන ආකාරයට නිසියාකාරව ක්‍රියාත්මක කරන්නේ කෙසේද යන්න සම්බන්ධව නීතිපති හා පොලිස් දෙපාර්තමේන්තු වලට අපි මාර්ගෝපදේශ නිකුත් කළා. මෙහි වැදගත් භූමිකාවක් නීතිපති දෙපාර්තමේන්තුවටත් තිබෙන බව අමතක නොකළ යුතුයි. නමුත් අපගේ මාර්ගෝපදේශ වලට යහපත් ප්‍රතිචාරයක් තවමත් ලැබී නැති බවයි පෙනෙන්න තිබෙන්නෙ. අපගේ අවාසනාවකට ආගමික හා වාර්ගික දේශපාලනයක් අපට අත්දකින්න ලැබෙන්නෙ. දැනට මේ සම්බන්ධයෙන් කොමිෂන් සභාව දිගින් දිගටම කටයුතු කරනවා. නමුත් අවසානයේදී වෛරී ප්‍රකාශන නීතිය අපරාධ නීති ගණයට වැටෙන නිසා අධිකරණය තමයි මේ පිළිබඳව තීන්දුවක් ලබාදිය යුතු වෙන්නේ.

නීතිඥ හිජාස් හිස්බුල්ලාව මහේස්ත්‍රාත්වරයෙකු හමුවට ඉදිරිපත් නොකර, අර්ථවත් නීතිඥ ප්‍රවේශයකට ඉඩක් නොදෙමින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව දින හැටකට වැඩි කාලයක් රඳවාගෙන සිටිනවා. මේ සම්බන්ධයෙන් මානව හිමිකම් කොමිෂන් සභාවට කළ හැකි මැදිහත්වීම කෙබඳුද?

මෙම නීතිඥවරයා අත්අඩංගුවට ගෙන තිබෙන්නේ ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ. සාමාන්‍ය නීතිය යටතේ අත්අඩංගුවට ගන්නා පුද්ගලයන් සම්බන්ධයෙන් වගේම මෙවැනි විශේෂ නීතියක් යටතේ අත්අඩංගුවට ගන්න පුද්ගලයන්ගේ ආරක්ෂාව, යහපැවැත්ම සම්බන්ධයෙන් සොයා බලා කටයුතු කරන්න මානව හිමිකම් කොමිෂන් සභාවට විශාල යුතුකමක්, කාර්යබාරයක් තිබෙනවා. මොකද සාමාන්‍ය නීතියකට වඩා ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ රැඳවියන්ට තිබෙන ආරක්ෂාව අඩුයි. සාමාන්‍ය නීතිය යටතේ පැය 24ක් තුළ අදාළ පුද්ගලයා මහේස්ත්‍රාත්වරයෙකු හමුවට යොමු කළ යුතු වුවත් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ මාස 18ක කාලයක් රඳවා තබා ගැනීමේ හැකියාව තිබෙනවා. මෙහිදි අත්අඩංගුවට පත්වන පුද්ගලයෙකුට නීතිඥ ප්‍රවේශය ලබා ගැනීමට ඉඩදීම අතිශය වැදගත්. අපි මේ සම්බන්ධයෙන් දිගින් දිගටම අදාළ බලධාරීන් දැනුවත් කරල තිබෙනවා. නමුත් එය සිදුවන බවක් පෙනෙන්නේ නැහැ. මෙතනදි නීතිඥ සංගමයත් මේ සම්බන්ධයෙන් ප්‍රබල මැදිහත්වීමක් කරනවා නම් එය මානව හිමිකම් කොමිෂන් සභාවට විශාල පිටිවහලක් වෙනවා. අතුරුදහන්වූවන්ගේ ජාත්‍යන්තර සම්මුති පනත යටතේ වෙනම ප්‍රතිපාදනයක් තිබෙනවා හැම රැඳවියෙකුටම නීතිඥ සහය ලබා ගැනීමටත් පවුලේ අය හමුවීමටත් ඉඩකඩ ලබා දෙන. ජාත්‍යන්තර නීතිය යටතෙත් පැහැදිලිව දක්වල තිබෙනවා පොලිසිය අත්අඩංගුවට ගත්තත් රැඳවුම් නියෝගයක් යටතේ කෙනෙක් රඳවා ගෙන සිටියත් නීතිඥයෙකු හමුවීමට, සාකච්ඡා කිරීමට නිදහස තිබෙන බව. නමුත් මේ නීතිඥවරයාගේ පාර්ශ්වයෙන් අපට ලැබි තිබෙන පැමිණිලි අනුවත් පෙනෙනවා අර්ථවත් නීතිඥ ප්‍රවේශයකට ඔහුට ඉඩක් ලැබී නැති බව.

මෙහි තවත් එක් ගැටලු‍වක් තමයි, මෙවැනි අත්ඩංගුවට ගැනීම් මාධ්‍ය නිරූපනය කරන්නේ දේශපාලනික මට්ටමින් වීම. අත්අඩංගුවට ගැනීමට අදාළව ත්‍රස්තවාදයට අනුබලදීමක් වැනි යමක් ප්‍රකාශ වුනාම ජනතාවත් ඒ සම්බන්ධයෙන් මූලික නිගමනයකට එනවා. එවැනි අවස්ථාවල මානව හිමිකම් කොමිෂන් සභාවට පැමිණිලි එනවා ඔවුන්ගේ ආරක්ෂාව තකා කටයුතු කරන්න කියල. මානව හිමිකම් කොමිෂන් සභාව බැඳිලා ඉන්නේ හැම රැඳවියෙකුගේම ආරක්ෂාව වෙනුවෙන් කටයුතු කරන්න. මොකද අපේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ එන මූලික ප්‍රතිපාදනයක් යම් පුද්ගලයෙකු අධිකරණයක් ඉදිරියේ වැරදිකරුවෙකු වන තෙක් ඔහු/ඇය සම්බන්ධයෙන් කටයුතු කරන්නේ නිර්දෝෂිභාවයේ පූර්ව නිගමනය අනුව. මෙය අපේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ තිබෙන මූලික ප්‍රතිපාදනයක්. ඒ අනුව යම් කෙනෙක් අධිකරණයක් ඉදිරියට පමුණුවලා වැරදිකරුවා හෝ නිවැරදිකරුවා කියලා තීරණය කරන එක සම්පුර්ණයෙන්ම අධිකරණයට බාරයි. නමුත් අධිකරණය ඉදිරියේ යම් පුද්ගලයෙක් වැරදිකරුවෙකු වුනත් මානව හිමිකම් කොමිෂන් සභාවේ වගකීම එතැනින් අවසන් වෙන්නේ නැහැ. අදාළ පුද්ගලයාට නීතිය යටතේ හිමි විය යුතු ආරක්ෂාව ලබා දීමට කොමිෂන් සභාව බැඳී සිටිනවා.

කොවිඩ් ආසාදිතව මිය යන පුද්ගලයන්ගේ දේහයන් ආදාහනය සහ භූමදානය යන දෙයාකාරයටම කළ හැකි බව ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් නිර්දේශ කර තිබුනත් රජයේ අනිවාර්ය ආදාහන ප්‍රතිපත්තිය සමාජයේ නොසන්සුන්තාවයක් ඇතිකිරීමට හේතු වුනා.

ඔව්, කොවිඩ් ආසාදිතව මිය යන පුද්ගලයන්ගේ මෘතදේහ අනිවාර්යෙන්ම ආදාහනය කිරීමේ ප්‍රතිපත්තිය විශාල ගැටලු‍කට තුඩු දුන්නා. සමානාත්මතාව, ආගමික පදනම මත වෙනස්කම්වලට ලක් නොකිරීම අපේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ඇතුළත්ව තිබෙන අයිතිවාසිකම් පිළිබඳ කාරණා. මෙවැනි අර්බුදකාරී වතාවරණයක පවා ඒ අයිතිවාසිකම් උල්ලංඝනය නොකර කටයුතු කළ යුතුයි. ඒ වගේම මෙතැනදිත් අවශ්‍යතාවයට සමානුපාතික වීම කියන කාරණය වැදගත්.

මේ ගැටලු‍වට මානව හිමිකම් කොමිෂන් සභාව මුල සිටම මැදිහත් වුනා. මොකද අපි දුටුවා ලෝක සෞඛ්‍ය සංවිධානයේ නිර්දේශ අනුව, කොවිඩ් රෝගයෙන් මිය යන පුද්ගලයන්ගේ අවසන් කටයුතු භූමදානය හා ආදාහනය යන දෙයාකාරයටම කළ හැකි බව. ලංකාවත් ආරම්භයේදි මෙම නිර්දේශ අනුකූලව මේ දෙයාකාරයටම කටයුතු කරන්න ඉඩකඩ ලබා දී තිබුනත් ඉතාම හදිසියෙන් මේ ප්‍රතිපත්තිය වෙනස් කරමින් ආදාහනය අනිවාර්ය කරනු ලැබුවා. කොමිෂන් සභාවට මුස්ලිම් ප්‍රජාවගෙන් මේ සම්බන්ධව ලැබුණු පැමිණිලි දිහා බලද්දිත් ඒ වගේම අපගේ නිරීක්ෂණයන් අනුවත් වැටහුණා, ඔවුන්ගේ ආගමේ තියෙන ඒ මුලධර්ම හා ප්‍රතිපත්ති අනුව මුස්ලිම් භක්තිකයන් සාමාන්‍යයෙන් භූමදානය කිරීම නිසා මෙය ඔවුන්ට ඉතා වේදනාකාරී අත්දැකීමක් වෙන බව. කෙසේ නමුත් සෞඛ්‍ය බලධාරීන් මේ සම්බන්ධව තීරණයක් ගත යුත්තේ වෛද්‍ය විද්‍යානුකූලව බව අපි පිළිගන්නවා. නමුත් ලෝක සෞඛ්‍ය සංවිධානය අවසන් කටයුතු දෙයාකාරයටම කිරීම පිළිඅරන් තිබියදි ජාත්‍යන්තර නීතියකට හෝ නිර්දේශයකට හෝ වෙනස්ව තීන්දුවක් ගෙන තිබෙනව නම් එයට පැහැදිලි කරුණු දැක්වීමක් කළ යුතුයි. ඇයි ඒ සාමාන්‍ය ක්‍රමවේදයෙන් මිදෙන්න තීරණය කලේ කියලා ඒ ප්‍රජාවට තොරතුරු ලබා දීම ඉතාම වැදගත්. මෙය අප සියල්ලන්ට අභියෝගාත්මක කාලපරිච්ඡේදයක් බව ඇත්ත. ඒත් සම්පුර්ණයෙන් නීතියේ ආධිපත්‍ය අමතක කර, මානව හිමිකම් වලට ගරු නොකර කටයුතු කිරීමට හැකියාවක් නැති බවත් සිහි තබා ගත යුතුයි.

පනවා තිබෙන ඇඳිරි නීතිය නිත්‍යනුකූල ද යන විවාදය සමාජය තුළ ඇති වී තිබෙන අතරවාරයේ ඇඳිරි නීතිය නිත්‍යනුකූලව පනවන්න යන ඉල්ලීම මානව හිමිකම් කොමිෂන් සභාව විසින් කර තිබුණා.

මානව හිමිකම් කොමිෂන් සභාව පිළිගන්නවා, මෙැවනි අවස්ථාවක මහජන ආරක්ෂාව තකා ඇඳිරි නීතිය පැනවීම අත්‍යවශ්‍ය බව. රෝගීන් ඉන්න පළාත් හුදෙකලා කිරීම අත්‍යවශ්‍ය දෙයක්. එතැනදී අයිතිවාසිකම් වලට සීමාවන් පැනවෙනවා කියන එක අපි පිළිගන්නවා. නමුත් ඒවා සාධාරණ සීමාවන්. නමුත් ඇඳිරි නීතිය පැනවිය යුත්තේ නිත්‍යනුකූලව. ඇඳිරි නීතිය කඩ කිරීමට අදාළව දහස් ගණනක් අත්අඩංගුවට ගත්තා, රථ වාහන රාජසන්තක කළා. නීතිය කඩන අයට දඬුවම් කළ යුත්තෙත් නීතිය ප්‍රකාරවයි. අපේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ හැටියට මහජන සෞඛ්‍ය සඳහා, මහජන සාමය පවත්වාගෙන යාම සඳහා, සංචරණ සීමා කරන්න පුළුවන්. නමුත් එවැනි සීමා කිරීම්වලදි සමානුපාතික බව තිබිය යුතුයි. ඒවගේම නීත්‍යනුකූල ලෙස ඒ සීමාවන් පනවා තිබිය යුතුයි. කොමිෂන් සභාවේ මතය වුනේ ඒ ඇඳිරි නීතිය පනවලා තිබුණේ අදාළ නීතිය අනුව නෙවෙයි කියන දේ. අපි තාක්ෂණික මට්ටමින් පැහැදිලිව විග්‍රහ කරලා පෙන්නුම් කළේ රජයට මෙය පාලනය කිරීමට ක්‍රම තිබෙනවා කියන එකයි. අපිට මේ වන විට දැනගන්න ලැබුණා රජය විසින් විධානයක් නිකුත් කරලා තිබෙනවා, ඒ වාහන සියල්ල නැවත හිමිකරුවන්ට ලබා දෙන්න කියල. මේ පිළිබඳ කොමිෂන් සභාව හැටියට අපි සතුටු වෙනවා. අපි හිතනවා මානව හිමිකම් කොමිෂන් සභාවේ නිර්දේශය එයට යම් බලපෑමක් කරන්නට ඇති බව.

පුද්ගලික අංශයේ සේවකයන්ගේ රැකියා හා වැටුප් කප්පාදුවක් සිදුවෙන බවට චෝදනා නැගෙනවා. විශේෂයෙන් වෙළෙඳ කලාපයේ මෙම තත්ත්වය දැකගන්න පුලු‍වන්. වසංගතය සමඟ සිවිල් හා දේශපාලනික අයිතිවාසිකම් වගේම සමාජ, ආර්ථීක අයිතිවාසිකම් ද තර්ජනයට ලක්ව තිබෙන බවක් පෙනෙනවා. මානව හිමිකම් කොමිසම මේ ගැටලු‍ව දෙස බලන්නේ කොහොමද?

දැනට අපිට ලැබිලා තිබෙන පැමිණිලි සහ අපේ නිරීක්ෂණ අනුව අපි මේ වකවානුවේ ගොඩක් වැඩ කරල තිබෙන්නේ මෙතෙක් සාකච්ඡා කළ පරිදිම සිවිල් හා දේශපාලන අයිතිවාසිකම්වලට අදාළ ගැටලු‍ සම්බන්ධයෙන්. නමුත් කොමිෂන් සභාවක් හැටියට මේ තත්ත්වය විශේලේෂණය කිරීමෙන් අපි දන්නවා නුදුරු අනාගතයේ වඩාත් බරපතළව ඉස්මතු වෙන්න නියමිත සමාජ, ආර්ථීක අයිතිවාසිකම් පිළිබඳ ප්‍රශ්න බව. කොවිඩ් අරමුදලට රාජ්‍ය සේවකයන්ගේ වැටුප් කපා ගැනීමට අදාළව අපි ලිපියක් යොමු කරනු ලැබුවා. මොකද මෙය ස්වේච්ඡාවෙන් සිදුවන බව කිව්ව්ත් අපිට පැහැදිලි සාක්ෂි තිබෙනවා ව්‍යංගයෙන් තර්ජනය කර වැටුප් ලබා ගැනීමට කටයුතු කිරීම සම්බන්ධව. විශේෂයෙන් එවැනි ප්‍රවනතාවක් අධ්‍යාපන බලධාරීන් වෙතින් දකින්න ලැබීමත් සුවිශේෂි කාරණාවක්.

ඒ වගේම ඇති වූ තත්ත්වයත් සමඟ පෞද්ගලික අංශයේ සේවකයනුත් විශාල අර්බුදවලට මුහුණ පා තිබෙනවා. නමුත් කොමිෂන් සභාවේ බලතල අනුව පෞද්ගලික අංශයට අදාළව නියෝග නිකුත් කරන්න අපට බැහැ. නමුත් පෞද්ගලික අංශයේ වුනත් ඒ කටයුතු නියාමනය කරන රාජ්‍ය ආයතනවලට, උදාහරණයක් විදියට, නිදහස් වෙළෙඳ කලාපයේ වැටුප් නොගෙවීම්, රැකියා කප්පාදු කිරීම් සම්බන්ධව BOI  එකට නිර්දේශ නිකුත් කිරීමට අපිට අවස්ථාව තිබෙනවා. අපි මේ වන විට BOI සහ ඒ අදාළ බලධාරීන් දැනුවත් කරන්න කටයුතු කර තිබෙනවා. නමුත් ඒ කටයුතු නිසි පරිදි නොවෙනවා නම් පෞද්ගලික අංශයේ සේවකයන් මුහුණ දෙන ගැටලු‍ සම්බන්ධයෙන් අවසානයේ අපට යන්න වෙන්නේ ප්‍රතිපත්තිමය තීරණවලට. ඒ කියන්නේ රජය මෙවැනි ප්‍රතිපත්ති ගත යුතුයි, මෙවැනි නියාමනයන් කළ යුතුයි කියන තැනකට. රැකියා අහිමි වීම්, වේතන අහිමි වීම් සම්බන්ධයෙන් රජය කොහොමද ප්‍රතිචාර දක්වන්නේ කියන දේ අපි තවදුරටත් නිරීක්ෂණය කළ යුතුයි. මොකද ලංකාවේත් ලෝකය පුරාත් ආර්ථික බිඳ වැටීම් සමඟ රැකියා අහිමිවීම්, පෙර රැකියාවන් තවදුරටත් කළ නොහැකි වීම්, වේතන නොලැබීම හෝ කපාහැරීම්, ණය බර කියන තත්ත්වයන්ට මුහුණ දෙනවා. මේ කාරණා එක්ක ගැටහැහිලා තවත් ආනුෂාංගික ගැටලු‍ ගණනාවක් පැන නගිනවා. දරුවන්ගේ අධ්‍යාපනය, සෞඛ්‍ය, පෝෂණය වගේම කාන්තාවන්ට ඇති වන බලපෑම් ඉන් කිහිපයක්. නමුත් මානව හිමිකම් කොමිෂන් සභාවට මේ දක්වා මෙවැනි ගැටලු‍ සම්බන්ධයෙන් ලැබී තිබෙන පැමිණිලි සංඛ්‍යාව ඉතාම අවමයි. නමුත් මේ ප්‍රශ්න දිහා මානව හිමිකම් කෝණයකින් බලලා ඒ සම්බන්ධව රජයට නිර්දේශ ඉදිරිපත් කිරීම මානව හිමිකම් කොමිෂන් සභාවේ වගකීමක් හැටියටයි මම දකින්නේ.

වසංගතය සමඟ අයිතිවාසිකම්, ප්‍රජාතන්ත්‍රවාදය, නීතියේ ආධිපත්‍ය තර්ජනයට ලක්ව තිබෙනවා. මෙවැනි අර්බුදකාරී වතාවරණයක පුරවැසියන්ට තිබෙන අවස්ථා මොනවද?

හඬක් තිබුනත් ඒ හඬ වඩා හයියෙන් අවදි කරන්න අපහසු ජනතාවකට තිබෙන ප්‍රධානම ආරක්ෂාව සහ බලවේගය තමයි ප්‍රජා මට්ටමින් සංවිධානය වීම. ජනතාව බොහෝ අවස්ථාවල බලන්නේ දේශපාලන පක්ෂ ආශ්‍රිතව සංවිධානය වෙලා ඒ හරහා ආරක්ෂාව රැකවරණය ලබා ගැනීමට. දේශපාලන පක්ෂ සමඟ ඒකරාශි වෙලා වැඩ කිරීම ජනතාවගේ අයිතිවාසිකමක්. නමුත් කෙටි කාලීනව වගේම දීර්ඝ කාලීනව බැලු‍වත් අතිශයින්ම වැදගත් ප්‍රජා සංවිධාන ශක්තිමත් කිරීම. මොකද බොහෝ සිවිල් සමාජ සංවිධාන වැඩ කරන්නේ නාගරිකව. මානව හිමිකම් කොමිෂන් සභාවේ ප්‍රාදේශිය කාර්යාල දහයක් තිබෙනවා. ඒ ඒ පළාත්වල ප්‍රජා සංවිධාන එක්ක මනා සම්බන්ධතාවක් පවත්වාගෙන යන්න මේ ප්‍රාදේශීය කාර්යාලවලට හැකි වෙලා තිබෙනවා. මරණාධාර සමිති, කුලඟන සමිති වැනි ඕනෑම ආකාරයේ ප්‍රජා සංවිධානයක් වුනත් මානව හිමිකම් කොමිෂන් සභාව වැනි ජනතාව වෙනුවෙන් නිර්මාණය වෙලා තිබෙන ආයතන සමඟ වැඩ කිරීම ඉතාම වැදගත්.

ඒ වගේම හඬක් නැති මිනිස්සුන්ට හඬක් වෙන්න මාධ්‍යට සුවිශාල හැකියාවක් තිබෙනවා. ඇතැම් මාධ්‍ය ඒ සඳහා යම් උත්සාහයක් දරන බව පෙනුනත් අවාසානාවකට ලංකාවේ බහුතරයක් ජනමාධ්‍ය ප්‍රබල විදියට දේශපාලනිකරණයට ලක්වෙලා තිබෙනවා. ඒවා තුළ ජනතා හඬ යටපත් වෙලා.

මෙවැනි අර්බුදකාරී වතාවරණයක පමණක් නෙවෙයි ඉතාම සාමාන්‍ය කාලයක පවා ප්‍රජාතන්ත්‍රවාදයේ කොදුනාරටිය වෙන්නේ ප්‍රජා මට්ටමේ සංවිධාන. ඉන්දියාව, නේපාලය, බංග්ලාදේශය වැනි රටවල් දිහා බැලු‍වත් දකින්න පුලු‍වන් සිවිල් සමාජ සංවිධාන හැරුණු කොට පුළුල් සමාජ ව්‍යාපාරයන් ගොඩනැගී තිබෙනවා. නොයෙකුත් ප්‍රජා සංවිධාන එක්ව දහස් ගණනක් ජනතාව, මේ ව්‍යාපාර වටා ඒකරාශී කරල තිබෙනවා යම් යම් අයිතිවාසිකම් කියාපාන්න. ලංකාවේ ඓතිහාසිකව දකින්න ලැබෙන තත්ත්වයක් හුදෙකලාව කටයුතු කිරීම. කොහොම නමුත් මානව හිමිකම් කොමිෂන් සභාව, සිවිල් සමාජ සංවිධාන හමුවන හැම අවස්ථාවකම කියා සිටින්නේ, ප්‍රජා සංවිධාන ශක්තිමක් කරන්න කියන එක. මොකද ප්‍රජාවට හයිය ලැබෙන්නේ තමන් අතරින්ම සංවිධාන බිහිකර ගැනීමෙන්.

සාකච්ඡා කළේ, ජයනි අබේසේකර
උපුටා ගැනිම සමබිම http://www.samabima.com/?p=21107