වසංගතය නොතකා ජීවත්වීමට දඟලන මේ ජීවිත ගැන වගකියන්නේ කව්ද?

0
92

 

පෝරුතොට ලෙල්ලමකොරෝනා වසංගතය මීගමුව නගරය සිසාරා යමින් අප අසලින්ද ගමන් කරමින් සිටී. ඒනිසා අවධානම් කලාපයක් ලෙසද නම් කර ඇත.
නමුත් මීගමුවේ පවා ජනතාව එදිනෙදා කටයුතු කෙරෙහි ප්‍රමුඛතාව දෙමින් සාමාන්‍ය ජන ජීවිතයට යොමුවී ඇත.
සෑම ස්ථානයකදීම අපට දැකිය හැකි දසුනක් වන්නේ මිනිස්සු පොදි ගැසෙමින් හැසිරෙන ආකාරයයි. මේ අනුව පැහැදිළි වන්නේ රජය විසින් පනවා ඇති සෞඛ්‍ය නීති ,රීති කිසිවක් කෙරෙහි වැඩි අවධානයක් දී නැති බවයි.
අද කොච්චිකඩේ පෝරුතොට මාළු ලෙල්ලමේ මාළු වෙළෙන්ඳන්, ධීවරයින්, මාළු මිලදී ගන්නා පාරිභෝගිකයින් යන සියළු දෙනා සමූහයක් ලෙස එකට එක්වී සිටින ආකාරය දැකිය හැකිවිය.
( 12.30 pm ) ඔවුන්ට කොරෝනා අමතකය. එකට එක්වී කරන කතා බහ, බැනඅඬ ගැසීම් , සමහරු කෑම කන ගමන් අල්ලාප සල්ලාපයේ යෙදෙන අතර මුහුණු ආවරණ බෙල්ලේ හෝ නලලේ තිබෙන ආකාරයද දැකිය හැකි විය.
මේ සියල්ල සිදුව⁣න්නේ ඕනෑම වසංගතයකට වඩා තමන්ගේ කුස පුරවා ගැනීම සඳහා පළමු තැන දීමට ඔවුන්ට සිදුවී ඇති බැවිනි. ඒනිසා රූපවාහිණියේ , පුවත්පතේ හෝ එවැනි මාධ්‍ය තුළින් දෙන උපදෙස් සහ සෞඛ්‍ය නීති, රීති ඔවුන්ට අදාල නැතිසේය.
මෙම තත්වයට වගකිවයුතු අයෙක් නැති බවක් පෙනෙන නමුත් එය එසේ නොවේ. මන්ද මේ සියල්ලටම රජයේ වගකීම ප්‍රධාන වන බව කව්රුත් දන්නා කරුණක් වන නිසාය.
පසුගිය දිනවල සෞඛ්‍ය නීතිරීති කඩකළවුන් කුදලාගෙන ගොස් ඔවුන්ට විරුද්ධව නීතිය ක්‍රියාත්මක කළ ආකාරය අපි දැකිකෙමු. රූපවාහිණී මාධ්‍ය විසින් දිනපතා නීති කඩකළවුන් සංඛ්‍යාත්මකව දක්වන ලදී. නමුත් මේ වනවිට එවැනි කිසිවක් දකින්නට නැත.
මේ අනුව ජනතාවගේ මේ පොදි ගැසීම් වලට ප්‍රධාන හේතු සාධකය රජයේ වගකීමේ ස්වභාවය කියාපාන්නක් සහ නොහැකියාවේ ප්‍රතිඵලයක් බවද කිවයුතුය.

සැම්සන් ඥානසිරි