වසර 33 ක කාලයක් මීගමු නගර මධ්‍යයේ පලතුරු අලෙවි කරන ” රවී “. 

0
43

අපි ඔහුට රවී කියලා හිතවත්කමට කතා කෙරුවට , ඔහුගේ නියම නම ගනේෂන් පේරුමරාසා. ඒත් ඔහුට කවුරුත් ආදරේට සහ හිතවත්කමට කතා කරන්නේ රවී කියලා. රවී කියලා කිව්වොත් තමයි මුළු මීගමු නගරෙම ඔහුව හඳුනන්නේ. එ නිසාම අපි ඔහුට රවී කියලම හඳුන්වමු.

රවී ගේ පදිංචිය මීගමුව, කාමච්චෝඩේ.  ඔහුගේ පියා වැඩ කරලා තියෙන්නේ කොළඹ වරායේ. මව නම් රැකියාවක් කෙරුවේ නෑ කියලයි ඔහු කියන්නේ . ඒවගේම ඔහු කියන විදිහට  ඔහුගේ පවුල විශාල පවුලක්. ඒ කියන්නේ දරුවෝ 12 දෙනෙකුගෙන් යුත් පවුලක් . ඒ පවුලේ රවී 04 වෙනි දරුවා. රවීට වැඩිමහල්  අක්කලා දෙන්නෙක් , ඒක අයිය කෙනෙක් ඒත් එක්කම නංගිලා දෙන්නෙක් සහ මල්ලිලා  06 දෙනෙක් ඉන්නවා .ඔහු පාසල් ගිහින් තියෙන්නේ මීගමුව විජයරත්නම් විදුහට. 08 වසර වෙනකම් රවි ඉගෙනීමේ කටයුතු කරලා එතනින් පස්සේ  කොමච්චොඩේ සයිවර් හෝටලේ වැඩට ගිහිල්ලා තියෙනවා. එතන අවුරුදු 16 ක් විතර වගේ කාලයක් රැකියා කරලා තියෙනවා .ඊට පස්සේ තමයි රවීට හිතිලා තියෙන්නේ තමාගේම කියලා සුළුවට හරි වෙළඳාමක් කරන්න ඕනේ කියලා. ඉතින් එහෙම හිතපු නිසා තමයි, රවී අවසානයේ 1992 වසරේ මීගමුව නගරය මැද , ඒ කියන්නේ ඔරලෝසු කනුව ගාව සුපර් මාර්කට් එක ඉදිරිපිට ඉතාම සුළුවට පළතුරු වෙළඳාමක් ආරම්භ කරලා තියෙන්නේ.

රවී කියන විදිහට ආරම්භයේ ඉඳලා අද දක්වාම රවී මේ පලතුරු වෙළඳාම තුළ කිසිදු හොරයක්, බොරුවක් , වංචාවක් නැතුව මේ වෙළඳාම කරන නිසා රවීට කිසිදු පුද්ගලයෙකුගෙන් තර්ජන ගර්ජන, ප්‍රශ්න, ගැටළු නැතුව මේ වෙළඳාම කරගන්න පුළුවන් වෙලා තියෙනවාලු. ඒත් එක්කම රවී කියන කාරණාවක් තමයි, මෙතන මේ වෙළඳාම කරනවට නගර සභාවට ගෙවන්න ඕන සියලුම ගෙවීම් ආදියත් මෙයා නිසි වෙලාවට ගෙවනවලු, ඒක නිසා ඔහුට නිදහසේ මේ වෙළඳාම, ප්‍රශ්නයක් කරදරයක් නැතිව කරගෙන යන්න හැකිලු.
රවී ගාව විකුනන්න තියෙන්නේ විදේශවලින් ගෙන්වන පළතුරු පමණයි. ඒකත් රවීගේ වෙළදාම තුළ තියෙන  විශේෂත්වයක්. ඒ කියන්නේ පිටරටින් ගෙන්වන ඇපල්, මිදි , දොඩම් නාරන් සහ ඉන්දියන් දෙළුම් වගේ පළතුරු තමයි රවී ගාව විකුණන්න තියෙන්නේ.

රවී කියන්නේ පහුගිය වසර වල වගේ නෙවෙයිලු, මේ වෙද්දි පිටරටවල් වලින් ගෙන්වන පළතුරු වල මිල වැඩිවෙලා තියනවාලු ඒ කියන්නේ ගෙන්වන ගාස්තු වගේම බදු මුදල් වගේ දේවල් එකතු වෙලා පළතුරු වල මිල වැඩිවෙලාලු තියෙන්නේ. ඉතින් රවී අපිට පුන පුනා කියන්නේ ,ඉස්සර වගේ එයාගෙන් පළතුරු මිලදී ගන්න එන අය වැඩිපුර පළතුරු අරන් යන්නේ නැහැල්ලු. මොකද මේ මිල වැඩිවීම හන්දා. ඒකෙන් රවී වගේ පොඩි පළතුරු වෙළඳුන්ට ලැබෙන ආදායම සෑහෙන දුරට අඩු වෙලාලු මේ වෙද්දි.

හැමදාම උදේ 4.00 ට අවදි වෙලා, කොළඹ ගිහිල්ලා, දවසට විකුණන්න අවශ්‍ය පළතුරු අරන් එන එක ඔහුගේ  දවසේ පළමු රාජකාරියයි. කොළඹ ගිහිල්ලා දවසේ අවශ්‍ය පළතුරුත් අරගෙන , උදේ 7.00 වෙද්දි ආපහු ඔහු මීගමුවට ඇවිත් එයාගේ දවසේ වෙළඳාම පටන් ගන්න සූදානම් වෙනවා. එහෙම වෙළඳාම පටන් අරගෙන හැමදාම හැන්දෑවේ 7.00,  8.00 වෙනකල් රවී, තමාගේ සුපුරුදු ස්ථානයේ මේ වෙළඳාම කරනවා. ඉරිද දවස පමනයි රවීට  නිවාඩු දවසක් විදිහට කියලා තියෙන්නේ.

පෙර අවුරුදුවල වගේ ලොකුවට ආදායමක් නොලැබුණත් එදිනෙදා ජීවත් වෙන්න යම් ආදායමක් මේ වෙළඳාම තුළින් ලැබෙනවා කියලා තමයි රවී අපිට කිව්වේ. රවි මේ වෙද්දි විවාහ වෙලා ,ලොකු දරුවෝ දෙන්නෙකුත් ඉන්නවා . ඔහුගේ පුතා රියදුරු රැකියාවක් කරනවා.  ඒ වගේම ඔහුගේ  දියණියත් මේ වෙද්දි පෞද්ගලික ආයතනයක රැකියාවක් කරනවා.

රවී වැඩිදුරටත් කියන්නේ  ඔහුගේ මේ වෙළඳාම ගැන විස්තර කියද්දි,ඔහු කියන්නේ ඒ ඒ කාලෙන් කාලෙට මිල අඩුවටම තියෙන පලතුරු මිල දීලා ගන්න තමයිලු හුඟක් අය පෙළඹෙන්නේ. දැන් අද කාලේ එයා ළඟ විකුණන්න තියෙන අනෙක් පලතුරු වලට වඩා නාරන් ලාභ නිසා හුඟක් අය නාරන් මිලදී ගන්නවාලු. කොහොම කොහොමහරි රවී කියන විදිහට ඔහු උදේ ඉඳලා හැන්දෑවෙනකල් මේ වෙළඳාම කරන නිසා දවසට ඇපල් ගෙඩි පනහක් හැටක්, මිදි කිලෝ පහක් ,හයක් දෙළුම්  විස්සක් විසිපහක් ඒ වගේම නාරන් ගෙඩි සීයයකට වැඩි ගාණක් එයාට විකුණගන්න පුළුවන්ලු. ඉතිං ඒ වගේ වෙළඳාමකින් හරි දවසේ වියදම් ටික පියවා ගන්න පුළුවන් කියලයි රවී අපිට කිව්වේ.

ඒ වගේම රවි අවසානය අපට තවත් විශේෂ කාරනාවකුත් කිව්වා, ඔහු මේ වෙළඳාම පටන් ගත්තු කාලේ ඉඳලම අද දක්වාම මේ වෙළඳාම සම්බන්ධයෙන් එයා ළඟට පළතුරු ගන්ඩ එන අයට බොරු කියලා වංචා කරලා පළතුරු විකුණලා නැහැල්ලු. ඒ හන්දා  මීගමු නගරයට පළතුරු ගන්ඩ එන බොහෝ අය රවීම හොයාගෙන එන්න පුරුදු වෙලත් ඉන්නවලු. ඒක තමයිලු ,ඒ අයට රවී ගැන තියෙන විශ්වාසය.
ඔහු අවසානයේ අපිට මෙහෙම දෙයකුත් කිව්වා , “මහත්තයෝ  මම ගැන මෙි ටවුන් එකට එන යන මිනිස්සු අවුරුදු 33 කට වැඩි කාලයක් විශ්වාස කරන නිසා මිනිස්සු මා ගාවට පලතුරු ගන්න නිතරම එනවා. එහෙම මිනිස්සු මාව හොයාගෙන එනකන් මට හැකිතාක් කාලයක් මම මේ බිස්නස් එක කරනවා. මම දන්නවා මම සාධාරණ බිස්නස් එකක් මේ ටවුන් එකේ කරන නිසා මට කැමති කාලයක් මේ බිස්නස් එක කරගෙන යන්න පුළුවන් කියලා. ඒ විශ්වාසය මට තියෙනවා.”

ඉතින් අවසානයේ ඔහු අපට එහෙම කිව්වා. ඉතින් අපි ඔබටත් කියනවා. ඇපල්, මිදි , දොඩම් නාරන් සහ ඉන්දියන් දෙළුම් වැනි පිටරටින් ගෙන්වන පලතුරු මිලදී ගන්න ඔබ මේ මීගමු නගරයට ආවොත් , මීගමු නගරයේ මැද ඔරලෝසු කණුව ගාව සුපර් මාර්කට් එක ඉස්සරහා පලතුරු වෙළඳාම් කරන රවී ගාවට යන්න අමතක කරන්න එපා. ඒත් එක්කම රවීගෙන් පළතුරු ගන්න යන්න කලින් පළතුරු වල මිල ගණන් ගැන වගේ වැඩි විස්තර දැනගන්නත් එක්ක  ඔහුගේ ජංගම දුරකතන  අංකයත්  අපි මේ සමඟම පහතින් සටහන් කරලා තියෙනවා.

071 30 90 704  ( රවී )

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here