( 6.15 pm ) දැනට සති දෙකක වගේ කාලයක ඉඳලා මීගමු වැල්ල පිරෙන්නම හාල්මැස්සෝ අහුවෙනවා. ඉතින් මේ දවස් වල ඔය විදිහට හාල්මැස්සෝ තොග පිටින් අහුවෙන හන්දා විකුණන්ඩ වෙලා තියෙන්නේ සෑහෙන අඩු මුදලකට.
හැබැයි ඉතින් වෙනද නම් මේ විදිහට තොග පිටින් හාල්මැස්සෝ අහුවෙද්දි ඒවා බොහෝමයක් මිල දීලා ගත්තේ කරවල වේලන කට්ටිය.
දැන් ප්‍රශ්නේ තියෙන්නේ රටේම අර්බුදයක් බවට පත්වෙලා තියෙන ලුණු හිඟය නිසා. අද කොච්චර අඩු මුදලකට මාලු අහු වුනත් ඒවා කරවල කරගන්න බැරි තත්ත්වයක් උදා වෙලා තියෙනවා. ඉතින් මේ ගැන පොඩ්ඩක් සොයා බලන්න කියලා තමයි අපි පසුගිය දවසක උදේ වරුවේ මීගමු වැල්ලට ගියේ . එතනදි තමයි අපිට ජූඩ් ව මුණගැහුණේ.
මේ ඉන්නේ මීගමුව, කුඩාපාඩුවේ ජූඞ් කොස්තා. දැන් ජුඩ් ගේ වයස අවුරුදු 51 යි. ජූඞ්ගේ තාත්තත් හරි දක්ෂ ධීවරයෙක්. ජූඩ්ගේ පවුලේ තව අක්ක කෙනෙකුයි මල්ලි කෙනෙකු ඉන්නවා. ඔහුට අවුරුදු 08 දී විතර වගේ ඔහුගේ තාත්තා මිය ගිහිල්ලා තියෙන්නේ. ඉතින් තාත්තා මියගියාට පස්සේ ඔහුගේ සියා සහ මාමලා ඔහුට මේ මුහුදු රස්සාව පුරුදු කරලා තියෙනවා. ඉතින් ඔය විදියට තමයි අවුරුදු 14, 15, වගේ කාලේ ඉඳලම ධීවර රස්සාවට ජූඩ් ගිහින් තියෙන්නේ.ඔය විදිහට ගත්තහම ජූඩ් කියලා කියන්නේ අවුරුදු 35 ක පමණ කාලයක් මේ මහ මුහුදත් එක්ක පොර බදලා තමන්ගේ ජීවිකාව ගෙන යන ගොඩක් අත්දැකීම් තියෙන දක්ෂ ධීවරයෙක්. දැන් ජූඩ් අපිට කිව්ව විදිහට ගෙනගග එයාගේ මල්ලි ත් හොඳ ද ක්ෂ ධීවරයෙක්.
ජූඩ් තමාගේම බෝට්ටුවක් තියාගෙන දවසේ රස්සාව තමයි මේ විදිහට කරගෙන යන්නේ..
ජූඩ් එක්ක කතාබහ කරද්දි ජූඩ් වගේ දවසේ මුහුදු රස්සාව කරන බොහෝ ධීවරයන්ට බලපාන ප්‍රශ්න පිළිබඳවත් කතාබහට ලක්වුණා. ඔහු කියන විදිහට ඔවුන්ට යම් වැඩි මුදලක් අතට ලැබෙන විදිහට මාළු අස්වැන්නක් ලැබෙන්නේ මාර්තු මාසෙන් පස්සෙලු. ඒ වගේ මාස 03 ක් 04 ක් යනකන් අවුරුද්දකට සාමාන්‍යයෙන් මාළු අස්වැන්නක් ලැබෙනවා කියලා තමයි ඔහු කියන්නේ.
මේ දවස්වල තියෙන මේ ඊසාන දිග මෝසම් වැස්සත් එක්ක ලොකු මාළු අස්වැන්නක් ලැබෙන්නේ නැහැල්ලු. ඉතින් මේ දවස්වල අහුවෙන්නේ හාල්මැස්සෝ වගේ පොඩි මාළු තමයිලු මාර්තු විතර වගේ වෙනකන් අහුවෙන්නේ. ඔහු කියන විදිහට දවසේ මුහුදු රස්සාව කරන හැම කෙනෙකුටම වගේ ඒ කියන්නේ හැම බෝට්ටුවකටම වගේ හාල්මැස්සෝ මාළු දැන් වැඩිපුර අහුවෙන හින්දා හාල්මැස්සෝ වල සෑහෙන්න දුරකට මිල ගණන් අඩුවෙලයි තියෙන්නේ.
මේ හාල් මැස්සෝ ලෙල්ලමට දැම්මත් සමහර වෙලාවට කිලෝ එකක් රුපියල් 100 කට වත් විකුණගන්න බැරි තත්ත්වයකුත් තියෙනවා. ඒ තරමටම හාල්මැස්සෝ මේ දවස්වල අහුවෙනවා. දැන් සති දෙකක වගේ කාලෙක ඉඳලා මේ විදිහට දවසේ රස්සාව කරන බෝට්ටු වලට හාල්මැස්සෝ අහුවෙන්න පටන් අරන් තියෙනවා. මීගමුවේ විතරක් නෙමෙයි මීගමුවේ ඉඳලා වෙන්නප්පුව දක්වාම මුහුදේ දවස රස්සාව කරන බෝට්ටු වලට මේ විදිහට හාල්මැස්සෝ අහු වෙනවා කියලා තමයි ජූඩ් අපිට කිව්වේ.
ජූඩ් කියන විදියට මේකේ තියෙන ලොකුම ප්‍රශ්නෙ තමයි මේ වෙද්දී රටේ තියෙන ලුණු හිඟය සහ ලුණු වල මිල අධික වීම. ඉස්සර නම් මේ විදිහට ලොකුවට මාළු අහු වුනහම ලෙල්ලමේ විකුණන්න බැරි වුනොත් සුළු මුදලක් අඩු කරලා කරවල වේලන අයට ඒ මාළු තොග දෙන්න පුළුවන්කම තිබුණා. නමුත් දැන් මේ ලුණු හිඟකම සහ ඒවායේ මිල ගණන් වැඩිවීම එක්ක කරවල වෙිලන අයගෙන් භාගෙට භාගයක්ම ඒ රස්සාවෙන් මේ කාලේ අයින් වෙලාලු ඉන්නේ. අතරින් පතර කරන අයත් ඉස්සර තරම් ලොකුවටම කරවල වේලන එක කරන්නේ නැහැල්ලු. ලුණු හිඟකම නිසා ලුණුවල මිල ගණන් ඉහළ ගිහිල්ලා. ජුඩ් කියන විදිහට කොහොමටවත් මීට පෙර කාල වල නම් ලුනු කිලෝ 50 ගෝනිය තිබිලා තියෙන්නේ රුපියල් 1500 – 2000 අතරේ. නමුත් ඒකේ දැන් මිල රුපියල් 5000 ත් පැනලා ගිහින් මේ වෙද්දි. ඉතින් ජූඩ් අහන්නේ කොහොමද මේ විදිහට කරවල වේලන වැඩේ කරන්නේ කියලයි.
මේ තත්ත්වය ජූඩ්ලා වගේ දවසේ රස්සාව කරන අයට විශාල පාඩුවක් වෙනවා කියලයි ඔහු කියන්නේ.
අනික ජූඩ් තවත් කාරණාවක් මෙහිදී මතු කළා.
“” මහත්තයෝ අපි මේ බෝට්ටුවක් ගන්නේ සාමාන්‍යයෙන් ලක්ෂ 15ක් විතර වගේ මුදලක් දීලා. එතකොට දැලක් හදාගන්නත් අපිට ලක්ස 05ක්,06ක් යනවා. ඉතින් අපි රස්සාව කරන්න මුහුදට යන්න රුපියල් ලක්ෂ 20ක් විතර වියදම් කරන්න වෙනවා. එතකොට අපි තෙලුත් ගහගෙන, තෙල් වලටත් තවත් වියදමක් දරාගෙන මුහුදු ගිහිල්ලා මාලු අල්ලගෙන ගොඩට ආපුවම ඒකට සාධාරණ මුදලක් ලැබුනේ නැති වුනහම, අපිට මේ රස්සාව ඉදිරියට කරගෙන යන්න අමාරු වෙනවා.
අනික ඉස්සර වගේ නෙමෙයි. දැන් අපි මේ පාවිච්චි කරන දැල් වල තත්ත්වය හරිම බාලයි. දැන් අපි ගන්න මේ දැල් කට්ටලයක් සාමාන්‍යයෙන් අපිට මාස 03කට, 04 කට වඩා තියාගන පාවිච්චි කරන්න බෑ.ඉස්සර එහෙම නෙමෙයි, ඉස්සර අපි පාවිච්චි කරන දැල් සෑහෙන කාලයක් හොඳට පාවිච්චි කරන්න පුළුවන්. ඒවා වල තත්ත්වය හොඳට තිබුණා.
නමුත් දැන් එන දැල් වල තත්වය හුඟක් බාල කරල තමයි අපිට එවන්නේ. අනික මහත්තයා අපිට ඉන්ධන සහනාධාරත් දෙනවා කියලා රජයෙන් කිව්වත්, තාම අපිට ඒක ලැබුණේ නෑ. අපි ධීවර කාර්යාලයට ඇප්ලිකේෂන් භාර දීලා තියෙන්නේ. නමුත් ඉතින් මාස කීපයක් ගියත් අපිට ඒක තවම ලැබුණේ නෑ.
ඉතින් අපි විශාල වියදමක් දරලා තමයි මේ මුහුදු රස්සාව කරගෙන යන්නේ තවම.අනික ඉතින් මම විතරක් නෙමෙයිනේ, බෝට්ටුවේ යන්නේ. බෝට්ටුවට තව ගෝලයකුත් අරගෙන යන්නේ . එයාටත් අපේ ආදායමෙන් හතරෙන් එකක ප්‍රමාණයක් වගේ දෙන්න ඕනා. ඉතින් මේ වගේ තත්ත්වයක් තියෙන කාලෙක, අපි අල්ලගෙන එන මාළු වලටත් සොච්චම් මුදලක් ලැබුනොත් අපි මොකද කරන්නේ. සමහර දවස් තියෙනවා,දවසේ අල්ලන මාළු ටික වික්කාහම දවසේ ගිය තෙල් වියදමවත් අපිට හොයාගන්න බැරුව යනවා.
ඒ වගේත් වෙනවා අපිට. ඉතිං අපි හැම දේකටම මුණ දීගෙන අපිට පුරුදු රස්සාව අපි ඉතින් කොහොමහරි කරගෙන ඉන්න බලනවා . ආණ්ඩුව තමයි අපිට මොනාහරි සහනයක් දෙන්න ඕනේ. අඩුම තරමින් දැල්වල මිල ගනන්වත් අඩු කරලා, අර ඉන්ධන සහනාධාරයත් ලබා දීලා, අපි ගේන මාළු වලට හොඳ සාධාරණ මිලක් අපිට ලැබුණොත් මේ රස්සාව අපිට ඉදිරියට කරගෙන යන්න පුළුවන් වෙයි. එහෙම නැත්නම් මේ තත්වෙට ගියොත් නම් අපිට මේක ඉක්මනටම නතර කරන්න වෙනවා. මේ වැල්ලේ හුඟක් බෝට්ටු දැන් මුහුදු යන්නේ නෑ.
ගිහින් ආවහම පාඩුයි. ඊට වඩා හොඳයි නොයා ඉන්න එක. ඉතින් අපි බලා ඉන්නවා මොකද වෙන්නේ කියලා.”
ඔහු අවසානයේ අපට එහෙම කිව්වා. ඉතින් මොනවා වුණත් ජූඩ්ගේ ඇඟේ තියෙන්නේ ධීවර රස්සාව. ජූඩ් වෙන දෙයක් ඉගෙන ගත්තේ නෑ කියලයි ජූඩ් අපිට කිව්වේ. ඔහුගේ ඇස්වල නම් තියෙන්නේ බලාපොරොත්තුවේ සේවාවක්. කවදාහරි එයාලාට ඒ රස්සාවේ තියෙන ප්‍රශ්න විසඳගන්න පුළුවන් වෙයි කියන බලාපොරොත්තුවක් එයාලට තියෙනවා.
අවසානේ අපි එතනින් එන්න එද්දි අපේ ප්‍රාර්ථනාවක් වුනේ ඒක ,ඉක්මනින්ම එයාලගේ ප්‍රශ්න විසඳගෙන ඔවුන්ට මුහුදු යන්න ලැබෙන්න කියලා.
සංවාද සටහන – තුෂාර රොහන්