විදෙස් රටවලින් ලැබෙන බඩු සදහා තිරුබදු සහන ලබාදෙනවා යැයි කියන වංචාකාරයන්ට ඔබත් රැවටුණාද ?

0
98
ඡායාරූපය - අන්තර්ජාලයෙන්
ඡායාරූපය - අන්තර්ජාලයෙන්
ඡායාරූපය – අන්තර්ජාලයෙන්

(12.55 am ) විදෙස් රටවලින් ලැබීමට නියමිත බව හැඟවෙන පාර්සල් සහ නැව් බඩු සඳහා අමාත්‍ය මණ්ඩලය විසින් තීරු බදු සහන අනුමත කර ඇති බවත්, ඒ සම්බන්ධව කටයුතු කිරීමට තමන් මැදිහත්විය හැකි බවත් හුවා දක්වමින් අමාත්‍ය මණ්ඩල කාර්යාලයේ ලිපි ශීර්ෂ වංචාතාරී ලෙස යොදා සකස් කරන ලද ව්‍යාජ ලිපි ඉදිරිපත් කරමින් වංචාකාරී පුද්ගලයෙකු හෝ වංචාකාරී සංවිධානයක් විසින් යම් යම් පුද්ගලයින්ගෙන් මුදල් ලබා ගන්නා බවට අමාත්‍ය මණ්ඩල කාර්යාලයට තොරතුරු ලැබී ඇති බව අමාත්‍ය මණ්ඩලයේ ලේකම් සුමිත් අබේසිංහ මහතා පවසයි.

කිසිදු පුද්ගලයෙකු වෙත විදෙස් රටවලින් ලැබෙන පාර්සල් හෝ නැව් බඩු සඳහා රේගු ආනයන බදු සහනයක් හෝ වෙනත් කිසිදු බදු සහනයක් ලබා දීම අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත නොකරන බව අමාත්‍ය මණ්ඩලයේ ලේකම්වරයා අවධාරණය කරයි.
එබඳු ව්‍යාජ ලිපිවලට නොරැවටෙන ලෙස මහජනතාවගෙන් ඉල්ලා සිටින ලේකම්වරයා මේ සම්බන්ධයෙන් විමර්ශනයක් සිදු කර වංචාකාරී පුද්ගලයිනට එරෙහිව වහාම නීතිමය පියවර ගන්නා ලෙස පොලිස්පතිවරයාට දැනුම් දී ඇත.

අමාත්‍ය මණ්ඩල කාර්යාලයෙන් ලැබෙන කිසියම් ලිපියක නිර්ව්‍යාජභාවය අමාත්‍ය මණ්ඩලයේ ලේකම්වරයා වෙත ඉදිරිපත් කෙරෙන ලිපියක් මගින්, 0112329620 හෝ 0112325279 යන දුරකථන අංක ඔස්සේ අමාත්‍ය මණ්ඩල කාර්යාලයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් ඇමතීමෙන් හෝ info@cabinetoffice.gov.lk විද්‍යුත් ලිපිනය හරහා කරුණු විමසීමෙන් තහවුරු කර ගත හැකි බව ලේකම්වරයා වැඩිදුරටත් පවසයි.

නීතිඥ සුදර්ශන ගුණවර්ධන
රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල්
2018-10-12