විමල් කුමාර ද කොස්තා මහතාණෙනි ඔබට චිරං ජයතු!!

0
504

kosthaමට මතක හැටියට ඒ 1974 හෝ 1975 වසර වන්නට ඇත. එවසරේ එක්තරා සැන්දෑවක අනුරාධපුර මහජන ක්‍රීඩාංගණයේ පැවති සංගීත සංදර්ශනයක් නැරඹීමට තාත්තා මා කැටුව ගිය හැටි යාන්තමට මෙන් මතකය.

එච් ආර් ජෝතිපාලයන් වේදිකාවෙන් නොබැස සින්දු ගණනාවක් කියු හැටිත් බෙග් මාස්ටර් අතේ රඳවාගත් කොළ මිටියක් දෙස බලාගෙන ඉතා ගැඹුරැ හඬින් එතුමාගේ ගීත ගැයූ අන්දමත් තව තව නොයෙකුත් ගායකයන් ගීත ගයන අයුරැත් තාත්තගේ අතේ එල්ලී මම මුව ආයාගෙන බලා සිටියෙමි.

මේ අතර මට මතක හැටියට මංගල ප්‍රේමදාස නම් ශිල්පියෙක් තම කට හඬ යොදාගෙන විවධ සතුන්ගේ , කුරැල්ලන්ගේ හා වාහන වල ශබ්ද මැවීය. මම මෙය බලා මහත් සේ තුටු වුණෙමි. ඔහු කළ සමහර ශබ්දයනට වැඩිහිටියන් බොහෝසේ සිනහ සැලුවත් මට ඒ ඇයිදැයි වැටහීමක් නොවුණි.

ඔහු වේදිකාවෙන් බැස ගිය පසු තව ගායකයෝ කිහිප දෙනෙකු ගී ගැයූ අතර නිවේදකයා ඉන්පසුව වේදිකාවට හඳුන්වා දුන්නේ අමුතුම පුද්ගලයෙකි.

ඔහුගේ මුහුණෙහි ඇස් දෙක ඉතිරි කොට සුදු සායම් ආලේප කොට තිබිණි. සුදු පැහැති අත් වැසුම් වලින් දෑත් වැසී තිබිණි.

ඔහුගේ නම මට හරියට ඇසුණේ නැති අතර නිවේදකයා ඔහු අභිරෑපන රංගනයක් ( miming) කිරීමට යන බැව් පැවසීය. එවෙලේ ඒ වචනය නොතේරැනත් ඔහුගේ රංගනය නරඹා තුටු වූ දස දහසක් රසිකයන් අතරේ සතුටු වන අතරම එහි තේරැම කිසිම කතාවක් නොමැතිව රංගනයෙන් පමණක් තමන්ගේ හැගීම් ඉදිරිපත් කරන බව දැනගතිමි.

ඒ ශිල්පියා ඒ කාරිය ඉතාම මැනවින් අති දක්ෂ ලෙස කළබව මට මතකය.

ඉන්පසුව මා ඔහු දුටුවේ අපේ ටයි මහත්තයා එහෙම නැතිනම් ටයිටස් තොටවත්තය්ගේ මරැවා සමඟ වාසේ චිත්‍රපටයෙනි.

එහිදී සිරිපාල නොහොත් මරැ සිරාගේ මිතුරාවූ ලයනල්ගේ චරිතය ඔහු විශිෂ්ට ලෙස රඟපෑවේය.

මෙහි එක් ජවනිකාවක ඔහු විදේශිකයනට මග පෙන්වන්නකු ( guid) වශයෙන් කළ හාස්‍යය මුසුවූ ප්‍රතිභාපූර්ණ රංගනය, ඔහු මගේ හදවතේ ඉහළම තැනෙක තැබීමට සමත් විය.

ඒ දෙබස් තවම මට මතකය. ” you know Anuradhapura ? …..big city … You know kadol atha?….. Very big elephant. Dutugamunu coming. Elara coming …..big fight. ” ඔහු මේවා කියූවේ එහාට මෙහාට පනිමින් මේ අවස්ථාවන් රඟ දක්වා පෙන්වමිනි.

තව තවත් අටුවා ටිකා ලියා මම ඔබ වෙහෙසට පත් නොකරමි. මේ වෙන කිසිවකුත් නොව ප්‍රවීණ රංගධර විමල් කුමාර ද කොස්තා නම් වන්නේය.

1948 වසරේදී කැලණියේ උපන් විමල් කුමාර ද කොස්තා අධ්‍යාපනය ලැබුවේ කැලණියේ ගුරැකුලයෙනි.

ඔහු මෙන්ම කැලණි පුරවරයෙන් කළා ලෝකයට පෑයු මාලනී ෆොන්සේකා, එච් ඩී ප්‍රේමරත්න, පතිරාජ එල් එස් දයානන්ද හා ඩොනල්ඩ් කරැණාරත්න යන කලාකරැවන්ද කැලණියේ ගුරැකුලයේම සිසු සිසුවියන් වූහ.

අභිරෑපන රංග කලාවේ ( Art of Mime) ඉතා විශිෂ්ටව යෙදුණු අපේ කතා නායකයා මුලින්ම ප්‍රසිද්ධ වේදිකාවට පිවිසියේ ඒ හරහා කියුවොත් නිවැරදිය.

ගාමිණී හත්තෙට්ටුවේගම, ආචාර්‍ය ධර්මසේන පතිරාජ, සරත් කැල්ලපන හා බන්දුල විතානගේ යන අධ්‍යක්ෂකවරැන්ගේ නිර්මාණයන්වූ ‘ පෙම්වතා’,’ඡායාරෑප ශිල්පියා, චාලි චැප්ලින්,ඉණිමඟ, මඟියෙක් හා ආදරයේ වේදනාව යන අභිරෑපන නිර්මාණ වල රඟපෑවේ විමල් කුමාරද කොස්තාය.

මේ හරහා වේදිකා නාට්‍ය වල රඟපෑමට වරම් ලද මේ තරැණ කළා ශිල්පියා සුගතපාල ද සිල්වාගේ දුන්න දුනු ගමුවේ නාට්‍යයේ රඟපෑම උදෙසා 1973 රාජ්‍ය නාට්‍ය උළෙලේදී හොඳම නළුවාට හිමි සම්මානය පවා දිනා ගැනීමට සමත් විය.

1969 දී ධර්මසේන පතිරාජයන්ගේ සතුරෝ සහ ඇන්ඩෲ ජයමාන්නයන්ගේ සිගරට් කොටය යන කෙටි චිත්‍රපටවල රඟපාමින් සිනමාවේ අත් පොත් තැබීය.

ඉන්පසුව එතුමාගේ ප්‍රථම වෘතාන්ත චිත්‍ර පටය ලෙස සිරිල් වික්‍රමයන්ගේ සිහින ලොවක් සිනමා පටයේ රඟ පෑවත් මුලින්ම තිරගත වූයේ ධර්මසේන පතිරාජයන්ගේ වෙස්ගත්තෝ චිත්‍රපටයයි. ඒ 1970 වසරේදීය.

ඉන්පසුව 1974 දී ධර්මසේන පතිරාජයන්ගේම විශිෂ්ට නිර්මාණයක් වූ අහස් ගව්ව චිත්‍රපටයේ රඟපෑවේය. මේ රඟපෑම සඳහා ගෞරව සහතික සම්මානකින් පවා පිදුම් ලැබීය.

එතුමා ලැබූ දෙවැනි සම්මානය වූ හොඳම සහය නළුවා සම්මානය උමයංගනා චිත්‍රපටයේ කළ විශිෂ්ට රංගනයට හිමි විය.

විමල් කුමාර ද කොස්තා ධර්මසේන පතිරාජයන්ගේ උසස් නිර්මාණ කිහිපයකටම එක්විය.

1974 දී පතිරාජයන්ගේ අහස්ගව්ව සිනමාපටයේ රැකියාවිරහිත තරැණයකු ලෙසද ( ගුණේ) ,1977 දී පතිරාජයන්ගේම එයා දැන් ලොකු ළමයෙක් හී සිරිපාල නම්වූ රස්තියාදුකාරයා ලෙස සහ 1978 බඹරැ ඇවිත් හී වීරසේන නම්වූ විප්ලවවාදී තරැනයා යන එකකට එකක් වෙනස් වූ චරිත එතුමා රඟපෑ අපූරැව කෙලෙසනම් වචනයෙන් විස්තර කරන්නද?

මේ අතරම ටයිටස් තොටවත්තයන්ගේ මරැවා සමඟ වාසේහී ලයනල් ,1979 සුනිල් ආරියරත්නයන්ගේ සරැංගලේ සිනමා පටයේ සයිමන් නම් කසිප්පු කාරයාගේ චරිතය,1980දී එක්ටැම් ගේ සහ 1981 දී ගාමිණී ෆොන්සේකාගේ සාගරයක් මැඳ යන චිත්‍රපටවල එතුමා රඟ දැක්වූ භූමිකා අග්‍රගණ්‍ය විය.

සරැංගලේ චිත්‍රපටයේ දමිළ මහතකුගේ චරිතය රඟපෑ ගාමිණී ෆොන්සේකාගේ අසල්වාසියකු වූ සයිමන් ලෙස රඟ පෑ කොස්තාගේ ඒ සජීවී දෙබස් කාණ්ඩ මට අදටත් මතකය. ජාතිවාදී කලබල උත්සන්නවූ ඒ දිනයේ ටවුමට යන්න එපා යැයි කියා නඩරාජාට ඇති ගෞරවයට බෑගෑපත්වන සයිමන්ම නඩරාජා එය කනකට නොගෙන යනු දැක ” අඩෝ මහත්තයා අද යන්න එපා” කියා කෑගසා කීය. ඒ දෙබස ඒ ආකාරයෙන්ම මට අද මතක නැතත් මුලු සිනමා ශාලාවම තුෂ්ණිම්භූත කිරීමට ඒ හඬ සමත්වූ බව නම් මට හොඳටම මතකය.

අපගේ අවාසනාවට 70 සහ 80 දශකවල තිබූ සිනමාවේ ස්වර්ණම යුඟයට කණ කොකා හැඬීම 80 දශකයේ අගභාගයේ සිටම සිදුවිය.

රෑපවාහිනියේ ආගමනය , රටේ ඇතිවූ සිවිල් යුද වාතාවරණය සහ භීෂණය මෙයට බොහෝසේ හේතු වූ අතර බොහෝ උසස් ගණයේ චිත්‍රපට අධ්‍යක්ෂකවරැද නිහඬවී පැත්තකට වූහ.

1990 න් පසු කොස්තා මහත්තයාව යම් යම් වාණිජ සිනමා පට වල සුළු සුළු විහිළු චරිත වලට පමණක් යොදා ගැනුණි. ඒ මහා චරිතාංග නළුවකු අපට අහිමිවූයේ එලෙසිනි.

එය අපේ අවාසනාවද රටේ වෙලාවද එසේත් නැතිනම් කොස්තා මහත්තයාගේ දෛවය දැයි මම නොදනිමි. ඒත් සිදුවූයේනම් එයයි.

ඉන්පසුව මෑතකදී එතුමා හංස දඩයම,ගිගිරි වළලු හා සඳළුතලයේ ගීතිකාව වැනි ටෙලි නාට්‍ය කිහිපයක් තුළින් දැකගන්නට ලැබීම සතුටට කරැනකි. එහෙත් ලංකාවේ හරියට සේවයක් ලබා නොගෙන පැත්තකට කළ බොහෝ කලාකරැවන් ගොන්නට විමල් කුමාරද කොස්තා නම් ඒ අග්‍රගණ්‍ය අභිරෑපන ශිල්පියා, විකට සහ චරිතාංග නළුවාත් දමා ඇති බව මගේ හැගීමයි.

අප තවත් පරක්කු නැත. එතුමාගෙන් හොඳ රංගනයන් බලා ගැනීමට තව නව නිර්මාණ බිහිවේවායි අප ප්‍රාර්ථනා කරමු.

විමල් කුමාර ද කොස්තා මහතාණෙනි ඔබට චිරං ජයතු!!

චිත්‍රපට තිරගතවූ වසර ඇතුළු සමහර තොරතුරැ අන්තර්ජාලයෙන් ලබාගත් බැව් කරැණාවෙන් සලකන්න.

චන්දන ගුණසේකර- එක්සත් රාජධානිය