විශාලා මහනුවරක් සේ දිස්වන කටුවපිටිය ප්‍රදේශයේ ජන ජීවිතයේ අ‍ඳෝනාව

0
286

DSC_0462 
අතීතයේ  විශාලා  මහනුවර  තැනින්තැන  මළමිනී  දමා  තිබුනේ  දුර්භික්ෂයක්  නිසා  මිනිස්සු  මියගිය  බැවිනි. නමුත්     මීගමුව,  කටුවපිටිය   දේවස්ථානයේ  සිදුවූයේ  මිනිස්  ඝාතනයකි.  මේ  අනුව  වැඩිම  හානියක්  සිදුවී  තිබුනේ   කටුවපිටියේ  සෙබස්තියන්  මාවත  ,ජූඩ්  මාවත  වැනි  පාරවල්  අසල  ජීවත්වූ  ජනතාවටය.  මේ  අනුව  අපි  කටුවපිටිය  දේවස්ථානයේ  සිදුවූ  ඒ  මහා  විනාශකාරී  අනතුරට  ගොදුරුවූ  පවුල්  කිහිපයක්  හමුවීමේ  අරමුණින්  යුතුව  සෙබස්තියන්  මාවතේ  ඇවිද  ගියෙමු.   පාර  දෙපස  සුදු  කොඩි  ,  කළු කොඩිවලට  අමතරව  බැනර්  කටවුට්  වලින්  සැරසී  ඇත්තේ  මැතිවරණයක්  හෝ  වෙනත්  උත්සවයක්  නිසා හෝ  නොව  මෙම  පාරේ  බහුතරයකගේ  නිවෙස්වල  යම්  අයෙකු  ,  දෙන්නෙකු  හෝ  ඊට  වැඩි  ප්‍රමාණයක්  මියගොස් ඇති  බැවිනි.

මේ  අනුව  අපි   ගිය  එක්   නිවසක  ආච්චි  සහ  මිණිබිරිය  දේවස්ථානය  තුළ  මියගිය  අතර  මේ  දරුවාගේ  වයස  මාස  8කි.  එසේම  දරුවාගේ  මවගේ  එක්  පාදයක්  බරපතල  ලෙස  අනතුරට  භාජනය  වී  ඇත. තිදරු  මවක්  වන   ඇගේ  අනෙක්  දරුවන්  දෙදෙනාද  තුවාල  ලබා  ඇත. ඇයට  යමක්  කීමට  ඇතිබව  පෙනුනද  ඇගේ  දුක   සහ  අසරණ  කම   සියල්ල අභිබවා  යයි. මෙම  නිවසේ තම   පවුල්  ජීවිතය  යම්  තරමකට  ගොඩනැගී  ආවා  පමණක්  බවත්,  හීනෙන්වත්  මෙවැන්නක්  නොසිතූ  බවත්  , අපට  රජයෙන්  රු.  ලක්ෂයකුත්,  තවත්  60000/ කොහෙන්දෝ  තැනකින්  ලැබුනා.  නමුත්  අපේ  ආර්ථිකය   නැවත  ගොඩනගන්නට  මේවා  ප්‍රමාණවත්  වන්නේ  නෑ   යනුවෙන්  මෙම  පවුලට  සම්බන්ධ  ඥාතියෙක් වන  ජූඩ්  මහතා   අප  සමඟ  පැවසීය.

තවත්  නිවසක  අම්ම තාත්ත  දෙදෙනාම  මිය ගොස්  ඇත්තේ  දරුවන්  තිදෙ‍නෙකු  නිවසේ  තනිකරමිනි.  මෙම  දරුවන්ගෙන්  වැඩිමලා  දුවක  වන  අතර  ඇය    විවාහවී  ඇති  බැවින්   ඇයට  තම  දුක  තුනී  වන  නමුත්  අනෙක්  දෙදෙනා  වන පුතා  සහ  දුවගේ  මානසික  තත්වය  පවතින්නේ  ඉතා  දුර්වල  තත්වයකය. අම්මා  සහ  තාත්තා  හදිසියේ  නැතිවීම  දරා  ගැනීමේ  අපහසුතාවය  මත  පසුවන  මොවුන්  කියන්නේ  කුමක්ද?  කරන්නේ  කුමක්දැයි    නොදන්නා  තත්වයකට  පත්වී  ඇති අතර   ආර්ථිකයද  මුළුමනින්ම  කඩා වැටී  ඇත.  මේ  අයගෙන්  දෙවන දුව අප  සමඟ  ප්‍රකාශ කළේ  මෙවන්  අදහසකි.

බෝම්බ  කාරය  ඉඳල  තියෙන්නෙ  අපේ  තාත්තගෙ  කකුල්  දෙක  ගාවමයි.  දැන්  අපිට  දෙන්නම  නෑ.  මට  75%  ක  වගේ  මනස  වැටිලයි  තියෙන්නෙ. මගෙ  මල්ලිට  100%ක්ම  මනස  වැටිලයි  තියෙන්නෙ. එයා  හිටගත්තොත්  හිටගත්තා.  ඉඳගත්තොත්  ඉඳ  ගත්තා.  රෑ  වෙද්දි  අපිට  හරි  බයක්  දැනෙනවා. අපි  තාත්තගෙ  හයියෙන්  තමයි  ජීවත් වුනේ.  දැන්  ඒකත්  නෑ.රජයෙන්  කියල  කව්රුවත්  ඇවිල්ල  කිසිම  දෙයක්  ගැන  ස්ථිර  යමක්  කළේ   නෑ. නිමල් ලංසා  ඇවිල්ල  මේකප්  දාගෙන  බොරුවට  රඟ පෑමක්  කළා.  ගමේ  මිනිස්සු   තමයි  අපේ  සියළු  දේවල්  බලා  ගත්තෙ.  ඒ  අය  අපිට  කන්න,  බොන්න  සියළුදේම  සූදානම්  කරල  දුන්න,  දුක සැප  බැලුව.  ඒටික  තමයි  අපේ  පිහිටට  තිබුනෙ.

මේරි  සෙලින්  නම්වූ  තවත්  අම්මා  කෙනෙක්  මිය ගිය  අය  අතර  ඇයට  දරුවන්  තුන්දෙනයි.  දුවල  දෙන්නයි  එක  පුතයි.  දෙවන දුව  ඇගේ  අදහස  ප්‍රකාශකළේ  මෙසේය.

මේ  සිද්ධිය  වන  දවසෙ  අපි  එතනට  යනකොට  කෑගහන  සද්ද  ඇහෙනව. අපිට  ඒ ගැන  වගක් නෑ.  ගිහිල්ල  අපි  අනික්  සේරටම  වඩා  අම්මවයි  හෙව්වෙ.  අම්මව  දැක්කහම  අපට  හිතුනෙ  නෑ  එයා  නැතිවෙලයි  කියල.  අම්ම  හිටියෙ  මෙහෙම පැත්තකට   ඇලවෙල.  අවට  සිද්ධවෙන  කිසිම  දෙයක්  ගැන  කිසිම  දෙයක්  අපිට  පෙනුනෙ  නෑ.  ඒ  වෙලාවෙ  බයක්  දැනුනෙත්  නෑ.  පස්සෙ  තමයි  බය  දැනෙන්න  පටන්  ගත්තෙ.  මේ  දේවල්  ගැන  රජය  වගකිව  යුතුයි.

ඇගේ  වැඩිමල්  දියණිය  පවසා  සිටියේ  මෙවැනි  අදහසකි. මගෙ  මහත්තය  කරන්නෙ  ඉස්සන්  රස්සාව.  දැන්  දවස්  ගානක්  වෙනව  කිසිම  යැපීම්  මාර්ගයක්  නෑ.එයා  පැත්තකට  වෙල  නිදාගෙන  ඉන්නවා.   රස්සාවල්  කරන්න බෑ.  ජීවත්වීම  අමාරුයි. ගමේ  මිනිස්සු  තමයි  අපේ  පිහිටට  හිටියෙ.

මේ  අතර  අප  කාටාන  ප්‍රදේශීය  සභාවේ  නාගරික  මන්ත්‍රීවරයෙකුවූ  වෛද්‍ය  සනත්  මහතාගේ  නිවසටද  ගියෙමු. සනත්  මහතා  සහ  ඔහුගේ  බිරිඳවූ  ඉන්දිරා  ප්‍රනාන්දු  යන  දෙදෙනාම  මියගොස්  තිබින.අප  නිවසට  ගොඩවනවිට  සිටියේ  ඔහුගේ ඥාති  සහෝදරියක්  වන කන්‍යාසොයුරියක්   සහ  වෛද්‍ය  සනත්  මහතාගේ  දරුවන්  තිදෙනා පමණි.  මේ  නිවසේ  වගකිවයුත්තෙකු  වශයෙන්  සිටි  කන්‍යාසොයුරිය  අප  සමඟ  පළකලේ  මෙවන්  අදහසකි.

දැන්  මේ  දරුවන්ගෙ  ආච්චිත්   ඉන්නෙ කොළඹ  දැඩිසත්කාර  ඒකකයෙ.  තාත්තයි  අම්මයි  දෙන්නම  නැති නිසා  දරුවන්ගෙ  ඉගෙනීමේ  කටයුතු  වලට  තමයි  ප්‍රශ්ණයක්  වෙන්නෙ.  ලොකුදුව  චීනෙ  මෙඩිසින්  වලට  ඉගෙන ගන්නව.  තාත්ත  තමයි  මේ  දරුවන්ගෙ  ඉගෙනීමේ  කටයුතු  සඳහා  වියදම්  කළේ.  නමුත්  දැන්  ඒ සියල්ලම  නැතිවෙල  ගියා.

.මේ  ආකාරයෙන්  සෑම  ගෙදරකම  පවතින්නේ  එකම  අ‍ඳෝනාවකි.  එක  නිවසක  එකම  පවුලේ   හත්දෙනෙකු  මියගොස්  ඇත.  තවත්  තැනක  පවුලේ  සියළු  දෙනාම  මියගොස්  ඇත.  මෙසේ  දේවස්ථානය  අවට  සිටි  බොහෝ  පිරිස්  මෙම  ඛේදවාචකයට  ගොදුරු වී  ඇත.  තත්වය  එසේය.

මෙම  තත්වයට  මුහුණදුන්  අයගේ  ආරක්ෂාව  ගැනවත්  කිසිවෙකු  කල්පනා කර  නැතිබව සෙබස්තියන්  මාවතේ  මේ  ජනතාව  පවසයි.  ඔවුන්  පවසන්නේ  තමන්  ජීවත්වන්නේ  බියකින්  වන  නිසා  ආරක්ෂාවක්  ලැබිය යුතු වූ  නමුත්  සෙබස්තියන්  මාවතේ  කිසිදු  රජයේ  හමුදාවේ  හෝ  වෙනත්  කිසිවෙකු  හෝ ආරක්ෂාව  සඳහා  යොදා  නැති බවත්  පවසයි. ඒනිසා  තමන්  අසරණවී  ඇතිවා  පමණක්  නොව  කිසිවෙකුගේ  අවධානයට  ලක්වී  නැති බවත්  ඔවුන්  පවසයි.

 

 


සටහන – සැම්සන් ඥානසිරි