”වෙඩි වැදුණ රොෂේන් චානක මා සමඟ කතා කරමින් රෝහලට ගියේ – රථය පදවාගෙන ගිය උ.පොලිස් පරීක්ෂකවරයා සාක්ෂි දෙයි

0
107
රොෂේන්
රොෂේන්
රොෂේන්

(7.00pm) රොෂේන් චානක  ඝාතන නඩුවේ තවත් සාක්ෂි විභාගයක් අද (09) මීගමුව මහා අධිකරණයේ දී  පැවත්විය.  සාක්ෂි දීම සඳහා  උප පොලිස් පරීක්ෂක ඇතුල්දොර ආරච්චිගේ  මාලක  අරවින්ද මහතා  මීගමුව මහා අධිකරණ විනිසුරු අමල් රවීන්ද්‍ර රණවිරාජ මහතා ඉදිරියේදී පෙනී සිටින  ලදී.
ඔහු මේ වන විට කළුතර – කින්නියාව පොලිස් සථානයේ  සේවය කරන අතර  2011 මැයි 30 වනදා වෙළද කලාපයේ  දී පුද්ගලික විශ්‍රාම වැටුප් පනතට එරෙහිව පැවති උද්ඝෝෂනය සිදුවන විට  කටුනායක ගුවන් තොටුපළ පොලීසියේ රථවාහන අංශයේ  ස්ථානාධිපතිවරයා ලෙස  සේවය කරන ලදී.  එදින වෙඩි වැදුන තුවාලකරුවෙකු වූ රොෂෙන් චානක ව රැගත් කාර් රථය පදවාගෙන  සීදුව විජය කුමාරණතුංග රෝහල වෙත රැගෙන ගොස් තිබූ මෙම උප පොලිස් පරීක්ෂකවරයා  තමන් ඒ අවස්ථාවේදී සියසින් දුටුදේ අධිකරණය ඉදිරියේදී ප්‍රකාශ කරන ලදී.

මෙම නඩුවේ පැමිණිල්ලේ පාර්ශවය වෙනුවෙන්  නිතිපති දෙපාර්තමෙන්තුව නියෝජනය කරමින්  පෙනී සිටින අධිනීතිඥ උදාර කරුණාතිලක  මහතා විසින් නඟන ලද ප්‍රශ්න වලට ඔහු විසින්  මෙසේ පිලිතුරු දෙන ලදී.

2011 මැයි මස 30 වනදා අදාළ සිදුවීම සිදුවූ දින ඔබ එම ස්ථානයට ගියේ කීයටද ?  – උදේ 8.00 ට පමණ

ඔබ ඒ වෙලාවේ දැක්කේ කාවද ? – පොලිස් නිළධාරීන් ගොඩාක් හිටියා.
එම පොලිස් නිළධාරීන්ට නායකත්වය දුන්නේ කවුරුන්ද ? – මිගමුව කොට්ඨාශ භාර පොලිස් අධිකාරී චන්දන ගලප්පත්ති මහතා ඇතුළු සහකාර කොට්ඨාශ අධිකාරී හතුරුසිංහ මහතා,කටුනායක පොලිස් ස්ථානාධිපති, සීදුව පොලිස් ස්ථානාධිපති සහ ඒ අවට පොලිසි වල ස්ථානාධිපතිවරු හිටියා.
එ් අවස්ථාවේ එම ස්තානයේ මෙම නඩුවේ පළමු විත්තිකරු (ප්‍රධාන පොලිස් පරීක්‍ෂක ආර්.එම්. රත්නායක ) අධිකරණයේ සිටිනවා, ඔබ ඔහුව  හදුනනවා ද? -ඔව්
ප්‍ර- මෙම සිද්දිය වනවිට මෙම නඩුවේ දෙවන විත්තිකරු  සීදුව පොලීසියේ සේවය කළ. බලන්න ඔහු මේ අධිකරනයේ සිටිවාද කියා ? – එහෙමයි

අපි උදේ 8.00 ට පමණ ඇවරිවත්ත පොලීසිය වෙත ගියා. නැවත උදය ආහාරය ගන්ඩ  9.30 ට පමණ පිටවෙලා ගියා. නැවත දවල් 12.30ට පමණ ඇවරිවත්ත ඔරලෝසු කණුව හරියට ආවා. එතන සිට බලන විට  එතන තිබුණේ කලබලකාරී තත්ත්වයක්. උද්ඝෝෂණකරුවන් කලබල කරමින් සිටියේ.
මම ඔරලෝසු කණුව හරියේ  හිටියේ.
නැවත ආවේ කීයට ද ?  –  දවල් 12.30 න් පසු.
කවුද දැනුම් දුන්නේ ? – රේඩියෝ මැසේජ් එකක් ආවා මීගමුව පොලීසියෙන්.
කටුනායක පොලීසියේ පොලිස් නිළධාරීන් ඒ වෙලාවේ කී දෙනෙක් හිටිය ද ?- 30ක් හිටියා.
ඇයි 05 දෙනෙක් විතරක් ගියේ ?– කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපලේ ආරක්ෂාව ඇතුළු රාජකාරීවලට අත්‍යඅවශ්‍ය නිලධාරීන් අවශ්‍ය නිසා 05 දෙනෙක් පමණයි යෙදවිය හැකිව තිබුණේ.
ඔබ ආයුධ රැගෙන ආවද –    නෑ
කොහොම ද ඔබ එතනට ගියේ – පයින් ගියා
ඒතකොට එම ස්ථානයේ මොන වගේ තත්වයක් ද තිබුණේ ? –  කලබලකාරී තත්ත්වයක්
අපි යද්දි උද්ඝෝෂණකරුවන් කලබල කරමින් හිටියා.
ඒ අවස්තාවේදී ගාල්ල හිටපු නි.පොලිස්පති  ජගත් අබේසිරි ගුණවර්ධන මහතා  පොලිස් නිලධාරීන් කන්ඩායමක් සමඟ ඇතුළට  යමින් සිටියා.
ඔබ ඒතකොට කොතනද හිටියේ – මම හිටියේ ඔරලෝසු කණුව ලග.
ඔබ  ඔරලෝසු කනුව ලග සිටියා නම් කොහොමද හරියටම ඒ කණ්ඩායම අතරින් නි.පොලිස්පති  ජගත් අබේසිරි ගුණවර්ධන මහතාව හදුන ගත්තේ. ?
ට ඔහුව හදුනගන්ඩ පුලුවන් – දකුණු පළාත් පොලිස් ක්‍රීඩා තරගාවලියේදී හොදම ක්‍රීඩකයා ලෙස මම ජයගත්තා. ඒ වෙලාවේ මට කුසලානය ලබාදුන්නේ ඔහු තමා.

 පොලිස් නිලධාරීන් කී දෙනෙක් පමණ එතන හිටියද ? –  පෙොලිස් නිලධාරීන් 100ක් පමණ ඒ ස්ථානයේ සිටියා.

ඔබ හිටියේ  පිටිපස්සෙද?  – ඔව්

සියලු දෙනා අතේ ආයුධ තිබුණ ද _ නෑ උසස් නිළධාරීන් අතේ 56 තිබුණා. සාමාන්‍ය නිළධාරීන් අතේ කුළු – පොලු තිබුණා.

වෙළද කලාපයේ ගේට්ටුව පසුකර ඔබ ඇතුළට යනවිට අර පොලිස් කණ්ඩායම කොහෙද හිටියේ ? – ඉදිරියට යමින් හිටියේ.

ඊට පස්සේ මොකද වුණේ ?–  එතුමා පොලිස් නිලධාරීන්ව මාර්ගයේ තැනින් තැන රඳවමින් ඉදිරියට ගියා.  මාවත් තවත් නිලධාරීන් කණ්ඩායමත් සමග ඉදිරියට යැව්වා.
ඒ අවස්ථාවේදී ඔබ දැක්කේ කුමක්ද? – පොලීසිය වෙත ගල් ප්‍රහාර එල්ල වෙමින් තිබුණා. උද්ඝෝෂකයින් ඒ මේ අත දුවමින් සිටියා.
ගේට්ටුව පසුකර  ඔබ යන විට අර පොලිස් කණ්ඩායම කොහෙද හිටියේ – ඔවුන් ඉදිරියට යමින් හිටියේ. වම් අත පැත්තට එක් කණ්ඩායමක් ගමන් කළා. මම අතරු පාරකට හැරුණා.

ඔබ ඒ පාෙර් යනවිට මොකක්ද දැක්කේ _? කාර් එකක් ඉදිරියට එමින් තිබුණා. පොලිස් නිලධාරීන් ඒ කාර් රථය නවත්වා ගත්තා.
ඔබ එම ස්ථානයට කොපමණ දුරින්ද සිටියේ ?  –    මීටර් 20ක දුරින් පමණ හිටියේ.
අතුරු පාරේ සිට ඔබ කාර් එක ලගට යන්ඩ කොපමණ වෙලා ගතවුණාද ? මම එතනට විනාඩි 20 කින් පමණ ලගා වුණා.

ඔබ මොනවද දැක්කේ ? – කාර් එකේ ඉදිරිපස වීදුරු බිදිලා තිබුණා. තුවාලකරුවෙක් කාර් එකේ හිටියා. දෙන්නෙක් පැනලා දිව්වා. පස්සේ මම කිව්වා මෙතන තුවාලකාරයෙක් ඉන්නවා මෙයාව රෝහලට ගෙනියන්ඩ කියලා. කවුරුත් ඉදිරිපත් වුනේ නෑ. පස්සේ මම තවත් නිලධාරියෙකුත් සමග කාරය අරගෙන ඉදිරියට ආවා.

ඔබ කොහොමදලෙඩාව අරගෙන  ආවේ? –   – කාර් එකේ ඉස්සරහා වීදුරුව කුඩුවෙලා තිබුනේ. මම ජනේලයෙන් ඔලුව  දාගෙන මග බල බල ආවේ. ඒ එද්දි ගේට්ටුව ඉස්සරහත් කලබලකාරී තත්ත්වයක් තිබුණා. මම ඇවරිවත්ත පොලීසියට  ඇවිත් එතන හිටපු මීගමුව මූලස්ථාන පොලිස් පරීක්ෂකවරයාගෙන් ඇහැව්වා ලෙඩාව ගෙනියන්ඩ වාහනයක් තියෙනවද කියලා. ඔහු කිව්වා මේ වෙලාවේ වාහන නෑ කාරෙකේම ගෙනියන්ඩ කියලා.  මම ලෙඩාව  සීදුව විජය කුමාරතුංග රෝහලට ගෙනාවා.

ඒ අතරෙදි ඔබ ලෙඩා ගැන බැලුවද ? – ඔව් ඔහු අසාධය තත්ත්වයෙන් හිටියේ. ඔහු කිව්වා ඔහු කිව්වා  නම ” රොෂේන් ” කියලා. ඔහුගේ යටිබඩ ප්‍රදේශය තුවාල වෙලා තිබුණේ. ගම මිනිවන්ගොඩ කියලා කිව්වා. මම නිතරම කිව්වා මාත් එක්ක කතා කරගෙන යං කියලා.ඔහු 18 කනුව පසුකරද්දිත් ඇහැව්වා මේ 18 කණුව නේද කියලා. සීදුව රෝහලට ගිහින් විනාඩි 2ක් වගේ ඇතුළත ඔහුට ප්‍රතිකාර ආරම්භ කළා. මම නැවත පොලිස් නිලධාරියා සමග කටුනායක පොලිසියට ඇවිත් කාරය පොලීසියේ නවත්වලා ගුවන්තොටුපල පොලීසියට ආවා

මෙම නඩුවේ මීළග සාක්ෂි විමසීම නැවතත් හෙට ( 10 ) වනදාට යෙදුණි.

මෙම නඩුවේ පැමිණිල්ලේ පාර්ශවය වෙනුවෙන් නිතිපති දෙපාර්තමෙන්තුව නියෝජනය කරමින් අධිනීතිඥ උදාර කරුණාතිලක සහ තිස්ස විජේසූරිය යන නීතිඥවරුන් පෙනී සිටියහ. වගඋත්තරකාර පාර්ශවය වෙනුවෙන්  ජේ්‍යෂ්ඨ නීතිඥ හර්ෂ නානායක්කාර මහතා සහ  ජේ්‍යෂ්ඨ නීතිඥ සුමුදු හීන්කේන්ද මහත්මිය පෙනී සිටින ලදී.