වෙන්නප්පුව පොලිස් නිලධාරීන්ගේ ආරක්ෂිත හිස්වැසුම් අතුරුදහන්ලු…

0
216

වෙන්නප්පුව පොලිස් රථවාහන අංශයේ නිළධාරින් පළඳින ආරක්ෂිත හිස් වැසුම් දෙකක් සොරාගෙන ගිය පුද්ගලයන් හතරදෙනෙක්ව සැකපිට අත්අඩංගුවට ගත් බව පොලිස් අපරාධ විමර්ශන අංශය පැවසිය. ඉකුත් අගෝස්තු 4 වෙනිදා රාත්‍රි ජංගම මුර සංචාරයේ හා මාර්ග සොදිසියේ යෙදි සිටි රථවාහන අංශයේ නිළධාරින් විවේකයක් අතරතුර කොළඹ හලාවත මාර්ගයේ දුම්මලදෙණිය ප්‍රදේශයේ තිබු රාත්‍රි හෝටලයකට තේ පානයට රාත්‍රි 10 ට පමණ පොලිස් යතුරුපැදිය නවතා ආරක්ෂිත හිස්වැසුම් එහි රඳවා ගොස් නැවත එහි පැමිණි විට හිස්වැසුම් අතුරුදන් වි තිබි ඇතැයි පොලිසිය කීය. මෙම අරක්ෂිත හිස්වැසුම් සොරාගෙන යාම සම්බන්ධයෙන් එම නිළධාරින් තම ඉහළ නිලයන් දැනුවත් කොට පොලිස් අපරාධ අංශයට කල දැනුම් දීමක් මත එහි නිළධාරින් සිදුකල සියුම් විමර්ශනයකින් අනතුරුව බොරලැස්ස ප්‍රදේශයේ නිවෙස් දෙකක සඟවා තිබියදි මෙම පොලිස් ආරක්ෂිත හිස්වැසුම් සොයාගෙන තිබේ.

මෙම හිස්වැසුම් සොරාගෙනයාමට සම්බන්ධ එම ප්‍රදේශයේම පදිංචි වයස අවුරුදු 20 , 21 හා 23 වයස්වල පසුවන තරුණයන් හතර දෙනෙක්ව අත්අඩංගුවට ගෙන ඇති අතර අධික බීමතින් ආරක්ෂිත හිස්වැසුම් නොමැතිව යතුරුපැදිවල යමින් සිටියදි මෙම පොලිස් හිස්වැසුම් දෙක සොරාගෙන ගොස් ඇති බවට සැකකරුවන්ගෙන් ප්‍රශ්න කිරිමේදි හෙළි වු බව පොලිසිය කීය.  එක් හිස්වැස්මක් සැකකරුවෙකුගේ නිවසේත් අනෙක් හිස්වැස්ම සැකකරුවෙකුගේ සොහොයුරියකට යත් නිවසක සඟවා තිබියදි සොයාගත් බව පොලිසිය කීය. හලාවත පොලිස් අධිකාරි නුවන් වෙදසිංහ, වෙන්නප්පුව සහකාර පොලිස් අධිකාරි දේශප්‍රිය ජයතිලක යන මහත්වරුන්ගේ අධික්ෂණයෙන් මූලස්ථාන ප්‍රධාන පොලිස් පරික්ෂක වසන්ත කුමාර මහතාගේ උපදෙස් මත අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති පොලිස් පරික්ෂක සමන් දසනායක මහතාගේ මෙහෙයවීමෙන් උප පොලිස් පරික්ෂක ඊරියගොල්ල කොස්තාපල් 21935 බන්දුල 68660 ඉන්දික 82197 බණ්ඩාර 65570 බණ්ඩාර යන නිළධාරින් විසින් පරික්ෂණ සිදු කර සැකකරුවන් අත්අඩංගුවට ගෙන තිබේ.

po

 

චන්දන ප්‍රනාන්දු