2010 වසරේ නෙදර්ලන්තයේ ඉපදුණු ඩැක් ෂෙපර්ඩ් වර්ගයට අයත් ගැහැනු සුනඛයකු වූ ‘ඩැක්ස්’ ලංකාවේ අස්ගිරිය පොලිස් නිල සුනඛ කොට්ඨාසයට එන්නේ 2011 නොවැම්බර් මාසයේදීය. පොලිස් කොස්තාපල් සුරේෂ් අකලංකට ‘ඩැක්ස්’ හමුවන්නේ එහිදීය.
‘‘මම නිල සුනඛ කොට්ඨාසයට එන්නේ 2012 ජනවාරියේ. ඒ ඇවිත් තෝරගත්තේ ගොඩක් ලස්සන නැති බල්ලෙක්වයි. එයා තමයි පළවෙනි කෙනා.’’
සුරේෂ් කියන්නේ ‘ඩැක්ස්’ සමග ගෙවූ පුහුණු කාලය කිසිදා ඔහුට අමතක නොවන බවයි. ඒ කාලය දුෂ්කර වූවා සේම අදටත් ඔහුට සුන්දරය.
‘‘ඒ කාලේ වචනෙන් විස්තර කරන්න බැරි තරම් බැඳීමක් ඩැක්ස් එක්ක මට ඇතිවුණා. සමහර දේවල් පුහුණු කරද්දී ඩැක්ස්ට මම වැඳලත් තියෙනවා. පුහුණු උපදේශකවරුන්ගේ හිත් දිනාගෙන හැම වෙලාවෙම හරි දේ ඩැක්ස් කළා. එයා සැර සුනඛයෙක්. ඒත් කවදාවත් කිසි කෙනෙක් හැපුවෙ නැහැ, රණ්ඩුවට ගියෙත් නෑ. මේ හැම දෙයක්ම මගේ හිතේ ඩැක්ස්ට තිබ්බ ආදරේ තවත් වැඩි කළා. අපි දෙන්නා තනියම කතා කළා. ඒ කතා කරන දේවල් වුණත් අපිට තේරුණා.’’
අංක 1140 යටතේ පුපුරන ද්‍රව්‍ය පිළිබඳ ලැබූ පුහුණුවෙන් පසු සුරේෂ් සමග ඩැක්ස් යන්නේ යාපනයේ නිල සුනඛ ඒකකයටයි. ඩැක්ස්ගේ පුරුදු අතරින් එකක් තමයි හැමදාම පාන්දර මාව ඇහැරවන එක. එයා තුන් පාරක් එනවා. පළවැනි පාර ඇවිත් මගේ ඇඳේ ගෑවිලා යනවා. දෙවැනි පාර ටිකක් වැඩිපුර ගෑවිලා යනවා. තුන්වැනි පාර එනකොට මම නැගිටලා ඉන්න ඕන. නැත්නම් ඇඳට පනිනවා. ඩැක්ස් සංදර්ශනවලට මූලස්ථානයට නැතිවම බැරි කෙනෙක් වුණා. එහෙම මූලස්ථානෙට ඇවිත් මාස ගණන් සංදර්ශනවලට රට වටේ යනවා. ඒ නිසා මමත් එයා එක්ක ගොඩක් තැන්වල ගියා. මේක පෙර සංසාරේ බැඳීමක් කියලා මට හිතුණ වාර අනන්තයි. මොකද ජීවිතයේ අමාරුම වෙලාවල්වලදිත් ඩැක්ස් මගේ ළඟින් හිටියා.’’
මම හිතාගත්තා එයා 2019 විශ්‍රාම යද්දි වෙන්දේසියෙන් එයාව මම ගන්නවා කියලා. ඒ මට ඩැක්ස් නැතුවත්, ඩැක්ස්ට මාව නැතුවත් ඉන්න බැරි බව දන්න නිසා. ඒ හින්දා එදා සුනඛ වෙන්දේසියෙන් ඩැක්ස්ව අරන් මම ගෙදර ගෙනාවා. සමහර විට මම දවස් දෙක තුනේ ගෙදර ගියේ නැත්නම් එයා කෑම කන එක නතර කරනවා. ආය කෑම කන්නේ මාව දැක්කමයි.’’
සුරේෂ් කියන්නේ ඔහු ළඟ සිටි මුළු කාලයේ කිසිම විටෙක ඩැක්ස් අසනීප නොවූ බවයි. එහෙත් අන්තිමේ මේ සුනඛයා අසනීප වී තිබුණේ නොසිතූ මොහොතකයි.
‘‘හදිසියේම අසනීප වෙලා නැගිට ගන්න බැරුව හිටපු ඩැක්ස්, මං ගෙදර යනකොටම නැගිට්ටා. බොහොම අමාරුවෙන් ඇවිදින්න හැදුවා. මම පුළුවන් තරම් ඉක්මනට එයාට වෛද්‍ය ප්‍රතිකාර ලබාදුන්නා. ඩැක්ස්ට තිබුණේ වකුගඩු අසනීපයක්. පහුවදා උදේ වැඩට ආවත් එදා ආයෙම ඩැක්ස්ට අමාරුවෙලා මං ගෙදර දුවගෙන එනකොට මගේ ඩැක්ස් මාව දාලා යන්න ගිහින්.’’
ඒ වෙන්වීම ගැන සුරේෂ්ට කියා ගන්නට නොහැකි තරමටම ඔහුට වචන නොආවේය. ඒ ඔහු හා ඩැක්ස් අතරේ වූ බැඳීමේ තරමය. අවසන් නින්දට වැටී සිටි ඩැක්ස් දකිද්දී ජීවිතයෙන් හරි අඩක් නැතිවූවා සේ ඔහුට දැනුණේ ඒ නිසාය. ඒ දුක තුනී වන්නට ඔහු ඩැක්ස්ගේ අවසන් කටයුතු හැකි උපරිම ගෞරවනීය ලෙස කළේය. හත් දවසින් දානමය පින් කටයුත්තක්ද කළේය.
මේ සුනඛයකු හා හාම්පතකු අතර වූ බැඳීමේ තරමය. ඒ බැඳීම ඇතිවන්නේ සුරේෂ් හා ඩැක්ස් අතරේ පමණක් නොවේ. හැම සුනඛයෙක් හා ස්වාමියා අතරමත්, හැම ස්වාමියෙක් හා සුනඛයෙක් අතරමත් මෙවන් බැඳීමක් ඇත.
Copied from -බියංකා නානායක්කාර-
@Kenji-