වෙබ් අඩවි තහනමට එරෙහිව එජාපයෙන් නිවේදනයක්

0
67

පසුගිය කාලයේ රජයේ විවිධ නොපනත්කම් වංචා දූෂණ, අයථා ක්‍රියා පිළිබදව ප්‍රසිද්ධියේ හෙළිදරව් කළ වෙබ් අඩවි තහනම් කිරීමට දැඩි අවශ්‍යතාවක් රජයට ඇති බව එක්සත් ජාතික පක්ෂය නිවේදයක් නිකුත් කරමින් කියා සිටී.
“ප්‍රජාතන්ත්‍රීය භාවිතාවන් පිළිබද සැලකිල්ල යොමු කිරිමට තමන් කිසිදු සූදානමක් නොමැති බව රාජපක්ෂ පාලනය යළිත් වරක් පෙන්නුම් කර තිබේ. ඒ රටේ ජනතාව අතර අතිශය ජනප්‍රියතාවක් සහිත ප්‍රසිද්ධ වෙබ් අඩවි පහක් තහනම් කරමිනි. එහිදී වත්මන් රජය කටයුතු කර ඇත්තේ රටේ මූලික නීතිය වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සදහන්ව ඇති හා සහතික කර ඇති තොරතුරු දැන ගැනීමට ඇති අයිතිය තඹයකට මායිම් නොකරමිනි.

රජයේ මෙම වාරණයට ලක්ව ඇත්තේ ලංකා නිව්ස් වෙබ්, ලංකා ඊ නිව්ස්, ලංකා ගාර්ඩියන්, කලම්බු ටෙලිග්‍රාෆ් හා ශ්‍රී ලංකන් මිරර් යන ජනප්‍රිය වෙබ් අඩවිය. පසුගිය කාලයේ රජයේ විවිධ නොපනත්කම් වංචා දූෂණ, අයථා ක්‍රියා පිළිබදව ප්‍රසිද්ධියේ හෙළි දරව් කළ මෙම වෙබ් අඩවි “තහනම” පිටුපස ඇති “දේශපාලනය” තේරුම් ගැනීම ඒ හැටි අසීරු නොවේ. එය ඉතා පැහැදිලිය. තමන්ගේ නොපනත්කම් වංචා දූෂණ, සමාජයට හෙළි දරව් වීම වළක්වා ගැනීමේ දැඩි අවශ්‍යතාවක් රජයට ඇති බව මේ සිදුවීමත් සමග පෙනෙන්නට තිබේ.
අනික් අතට මේ සිදුවීම හරහා ප්‍රදර්ශනය වනුයේ සැබෑ ජනමතය සම්බන්ධයෙන් රජයට ඇති බියය. ජනමාධ්‍යයේ මිතුරන් ලෙස පෙනී සිටිමට උත්සාහ දරන වත්මන් පාලනය ජනතාවට තොරතුරු දැන ගැනීමට ඇති අයිතිය සීමා කළ පළමු වතාව මෙය නොවේ. මාධ්‍ය ආයතන සෘජුවම තම මැදිහත්වීම යටතේ මිලට ගනිමින් හා තම ව්‍යාපාරික ගජ මිතුරන් හරහා ඒවායේ පාලනය සියතට ගනිමින් සත්‍ය තොරතුරු දැන ගැනීමට ඇති ජනතා අයිතිය කප්පාදුවට ලක්කළ මුත් ජන මතය මුදලට ගැනීමට වත්මන් පාලකයන්ට නොහැකි වී තිබේ.කිසි දිනෙක ජනමතය පොළව යට වැලලිය නොහැකි අතර, කොතරම් යටපත් කිරීමට උත්සාහ කළ ද එය මතු විම වැළැක්විය නොහැකිය. පැහැදිලිවම ජනමතයට බය වනුයේ යහපාලනයට ගරු නොකරන අකාර්යක්ෂම දූෂිත පාලනයන් හා පාලකයන් පමණි.

වත්මන් රජයේ මාධ්‍ය භාවිතාව සැබැවින්ම ඛේදජනකය. සෘජුව තමන් යටතේ ඇති රාජ්‍ය මාධ්‍ය හා තම අන්තේවාසිකයන්ගේ පාලනය යටතේ ඇති මාධ්‍යය භාවිතා කරමින් තම දේශපාලන ප්‍රතිවිරුද්ධ මතධාරීන්ට මඩ ගැසීමට කිසිදු මැලිකමක් නොදක්වන වත්මන් පාලනය සත්‍යයට, සැබෑ ජනමතයට ඇති බිය නිසාවෙන් තම මතය ප්‍රශ්න කරන ජනමාධ්‍ය දඩයම් කරමින් සිටිති. මෙහිදී පෙනෙන්නට ඇති වඩාත් කණගාටුදායක කාරණය වනුයේ පෞද්ගලික මාධ්‍යයන් ලෙස පෙනී සිටින ඇතැම් ඊනියා මාධ්‍ය ආයතන, වෙබ් අඩවි හා ස්වාධීන මාධ්‍යයන්ගේ ක්‍රියාකාරීත්වය ප්‍රශ්න කරමින් මාධ්‍ය මර්දනය සම්බන්ධයෙන් ඇති රජයේ උත්සාහයට තල්ලුවක් ලබා දීමය. මෙය කිසිසේත්ම ශිෂ්ඨ සම්පන්න ප්‍රජාතාන්ත්‍රීය සමාජයක නොවිය යුතු ක්‍රියාවකි. එබැවින් රටේ ප්‍රධාන විපක්ෂය ලෙස අප රජයට බල කර සිටිනුයේ මෙම වෙබ් අඩවි තහනම වහාම ඉවත් කර සත්‍යය වූත්, අවංක වූත්, නිවැරදි වූත්, තොරතුරු දැන ගැනීමට රට වැසියන්ට ඇති අයිතියට ගරු කරන ලෙසය.
දඉන්ඩිපෙන්ඩන්ට් ඇසුරෙනි