වෙරළ පල්ලියට අයිති නෑ.නඩු තීන්දුවක්.

0
273

මීගමුවේ සුන්දරම වෙරළ තීරය එදා හදුන්වනු ලැබුවේ මීගමුව වැල්ල නමිනි.මීගමුවේ පමණක් නොව අවට ජනයාද පවුල් පිටින් සමරවිටක තිරික්කල් වලින් වැල්ලට පැමිණියේ විවේකයෙන් මොහොතක් ගතකරන්නටය.

එහෙත් මීගමුවේ ඒ සුන්දර වැල්ලට දැන් වැල්ලවිදිය පල්ලිය අයිතිවාසිකම් කියන්නට පටන්ගෙන ඇත.මාළු ගන්නට පැමිණෙන අයෙකුට යතුරු පැදිය නවතා ලන්නටත් දැන් බදු ගෙවන්නට සිදුව ඇත.එහි ඇත්තේ ඒ බිම පල්ලියට අයිතියැයි කියාය. එහෙත් එහි ආදායම යන්නේ ටෙන්ඩර්කරුවෙක් හටය.ඔහු මීගමුවේ වෙරළවල් බදුගෙන ඇති අයෙකි.මීගමුවේ ප්‍රබල දේශපාලකයෙකුගේ පියෙකි.

මීගමු ජනයාගේ අවාසනාවට දොස්තර හේකටර් ප්‍රනාන්දු වැනි ප්‍රතිපත්ති ගරුක දේශපලකයන් නැත.

පහත උපුටාගැනිම හේක්ටර් ප්‍රනාන්දුගේ චරිතාපදන පොතෙනි.

 

හේක්ටර් ප‍්‍රනාන්දු  මහතාගේ  මහජන සේවයේ  බොහෝ සහන දිනා ගැනීමට ඉඩ ප‍්‍රස්ථා ලැබුණෙ  මීගමුවේ ධීවර ජනතාවටය. සමාජයේ වඩාත්ම අසරණභාවයට වැටී සිටියේ ධීවර ජනතාව වූ නිසාය.  වැල්ල තීරයේ දිගටම කතෝලික පල්ලිවල මීසම්භාර පූජකතුමන්ලා පෙනී සිටියේ වැඩවසම් ක‍්‍රමයේ ෂමින්දාර් බලතල ඇතිවය.

සෙසු පළාත්වල  වැඩවසම් ප‍්‍රදේශාධිපතීන්ට   හිමි බලතල හා සමාන බලතල ඔව්හු ක‍්‍රියාත්මක කළහ.  එබදු පූජක බලපුළුවන්කාරකම්  වලින් පීඩා විදි ධීවර ජනතාව සහන පතා පැමිණියේ හෙක්ටර් ප‍්‍රනාන්දු මහතා වෙතය.  මීගමුවෙන් ඉතිහාසගතවූ  එබදු සිද්ධියක් මෙසේය.

1953 මීගමුව මහවීදිය දේවස්ථානයේ ගරු සෙබස්තියන් ප‍්‍රනාන්දු පියතුමා මීසම් භාරව සිටි කාලයේය.  වැඩවසම් බලතල අනුව එතුමා  ක‍්‍රියාකළ හැටි සිද්ධියෙන් පැහැදිලිවේ.
මේ කාලයේ බඩුමිළ වැඩිවීමෙන්  රටපුරා  ආණ්ඩු  විරෝධී උද්ඝෝෂණ  පැන නැගී තිබුණේය.  මුළු රට පුරා ඇතිවූ  එම ජනතා නැගිටීම  ආදර්ශයට ගත් මීගමුව මහවීදිය ධීවර ජනතාව  එක්සත්ව නැගීසිට ධීවර කටයුතු කිරීම වෙනුවෙන් පල්ලිය අයකරන වෙරළ බද්ද හෙවත් ධීවර බද්ද නොගෙවීමට ගත් තීරණය එකහඩින්  ප‍්‍රකාශයට පත්කළහ.

පූජකතුමා තම මීසමට අයත් වෙරළ තීරයේ  ධීවර කටයුතු කිරීම තහනම් කිරීමෙන්  තම බලය ප‍්‍රකාශ කළේය.   මහවිදිය ධිවර ජනතාව  තහනම ඉවත්කර ගැනීමට පිහිට පතා  මීගමුවේ සමසමාජ නායක හෙක්ටර් ප‍්‍රනාන්දු මහතාට පැමිනිලි කළහ.  එතුමාගේ උපදේශය වූයේ  මෙම තහනම අධිකරණ නියෝගයකින්  ඉවත්කර ගතයුතු බවය. ධීවරයන්ට වූ අයුක්තිය පෙනී තිබුණත්  එය පල්ලියට එරෙහිවීමක් සේ සැලකූ  මීගමුවේ ධීවරයන්ට නිතිඥ සහය මිගමුවෙන් නැතිවූ බවද කිව යුතුය.

හෙක්ටර් සහෝදරයා නීතිඥ සහය ලබාදීමෙන් නඩුව විභාග විය. නීති උපදෙස් දීමෙන් හා මීගමු ධීවරයන් වෙනුවෙන් පෙනී සිටියේ  එවකට ලංකාවේ පිළිගත් ඉහළම නීති විශාරද සමසමාජ නායකයෙකු වූ අචාර්ය කොල්වින් ආර් ද සිල්වා මැතිතුමාය.
නඩුව විභාගයට ගත් දින උසාවි භූමිය හා ඒ අවට අතුරු සිදුරු නැතිව ජනතාව රොද බැඳ ගත්තේ නඩු විභාගය නැරඹීමටත් වඩා නීතිඥවරයාගේ වාග් හරඹය ඇසීමට බව පැමිණ සිටි අයගේ කතාබහ ඇසුවෝ කිහ.

විනිශ්්‍යකාරතුමා අසුන්ගැනීමෙන්  නඩු විභාගය ඇරඹිණි. නීතිඥවරයා  ගරු සෙබස්තියන් ප‍්‍රනාන්දු පූජකතුමාගෙන්  නඩු විභාගය ආරම්භයේ දීම ප‍්‍රශ්නයක් ඇසුවේය.
නීතිඥ: ඔබතුමා  පිළිතුරු දෙන්නේ  සිංහලෙන්ද ? ඉංග‍්‍රීසියෙන් ද
පූජකතුමා : ඉංග‍්‍රීසියෙනි.
නිතිඥ: එසේ නම් ඔබතුමාගේ අධ්‍යාපන දැනීම ගැන දැනගත යුතුය. ඔයතුමා අධ්‍යාපන සුදුසුකම් සදහා සමත්වී ඇති විභාග මොනවා ද?
පියතුමා:  ඉංග‍්‍රීසියෙන් ටීචර්ස් ෆයිනල් විභාගය සහ සිංහලෙන් ටේ‍්‍රනිං විභාගයෙන් සමත් වී ඇත්තෙමි.
නිතිඥ: ඔබතුමා සමත් වී ඇති විභාග අනුව ඔබතුමාගේ විභාග දැනුමට වඩා සිංහල දැනීම උසස් බව පෙනී  යන නිසා සිංහලෙන් අසන ප‍්‍රශ්න වලට සිංහලෙන් පිළිතුරු දිය හැකිය. (විනිශ්ච්‍යකාරතුමා ද එය පිළිගත්තෙන්  පූජකතුමා ද පිලිගත්තෙත්ය.
නීතිඥ: මම කතෝලිකයෙකු නොවුණත් පොත් පත් කියවීමෙන්  මා ලැබූ දැනුම අනුව  ඔබතුමාගෙන් අසා සිටින්නේ  දෙවියන් වහන්සේ අහස පොළොව හා එහි ඇති  සියලූ දේ මවා  දුන්නේ  මනුෂ්‍යයන්ගේ ප‍්‍රයෝජනය සදහා පරිහරණය කිරිමට නේ ද?
පූජකතුමා : එසේය
නිතීඥ: දෙවියන් වහන්සේ මනුෂ්‍යයාට මවා දුන්නාවූ සාගරයේ මසුන් අල්ලාගෙන ජීවිකාව ගෙනයන අහිංසක මනුෂ්‍යයන්ට තහංචි පැනවීමට  සම්මත නීතියෙන් පිටස්තරව වෙනත් බලයකට පුළුවන් ද?
පූජකතුමා : නුපුළුවන.
ප‍්‍රශ්න ඇසීම අවසන් විය. ධීවරයන්ට නිදහසේ ධිවර  කටයුතු  කිරීමට තින්දුව ලැබුණේය.  නීති පොතට ඇතුළත්වූ එම නඩු  තීන්දුව නිසා දිවයින වටේම  විසිරී ඇති  සියලූ ධිවරයන්ට  ධීවර කටයුතු කිරීමට  වැඩවසම් ප‍්‍රභූවරුන්ගේ  බලහත්කාර තහංචි පැනවීමෙන් නිදහස් විය. නීති පොතට ඇතුළත් වූ එම නීතිය රටේම ධීවර ජනතාවගේ වාසියට දායක වූ තවත් සිද්ධියක් ඇති විය.
එය පැනනැගුනේ 1970 ඇරඹුණු සමගි රජය කාලයේය. මිගමුව පලඟතුරේ  වැල්ලේ ධීවරයන්ට මෙවර වෙරළ තීරයට තහනම පැනවෙන්නේ  ඉඩම් හිමියන්ගෙනි.  එකල සංචාරක හෝටල්  වෙරළ දිගට පිහිටි ඉඩම්වල ඉදි වූවේය.  එම ඉඩම්වල බටහිර මායිම  මුහුදු කෑමට  භාජනය වී මුහුදේ  ගිලී ගොසිනි.  හෝටල් හිමි ඉඩම් හිමියන්  හෝටලය සහ  මුහුද අතර  වෙරළ තීරය  ඉඩමට අයිතිබව කියා එම කොටසේ  ධීවර කටයුතු වලට ඉඩදුන්නේ  නැතිකමින්  ආරවුල හටගත්තේය.  එම ප‍්‍රදේශයේ  ගම්සභා නියෝජිත ඩබ්.ජෝශප් ප‍්‍රනාන්දු මහතා ද සමසමාජ පක්ෂයේ අගසව්වෙකි. මෙම ගැටළුව විසඳගැනීමට මැම්බර් ජෝශප් මහතා  පළඟතුරේ ධීවරයන් පිරිවරාගෙන  හෙක්ටර් ප‍්‍රනාන්දු මහතා හමුවූහ.  හෙක්ටර් ප‍්‍රනාන්දු මහතාගේ උපදෙස්  අනුව එවකට මුදල් ඇමති ආචාර්්‍ය ඇන්.ඇම් පෙරේරා මහතා හරහා  ධීවර ඇමති ජෝ්ර්ජ් රාජපක්ෂ මහතා  ප‍්‍රශ්නය බාර ගත්තේය. එතුමා 1953 දී මීගමුවෙන්ම නීතිගත වූ නීතිය  පාර්ලිමේන්තු පනතකින්ද  ස්ථීර කර ගත්තේය.  වෙරළ තීරය ඉඩම් හිමියන්ට  අයිතිවාසිකමක් නැති  බවත්  එය ධීවරයන්ට  ධීවර කටයුතු කිරීමට  අයිති බවත් එදා සිට තහවුරු විය.