ශාන්ත පීතර විද්‍යාලයට නව විදුහල්පතිවරයෙක් ! 

0
690


සුදුසුකම්ලත්, පරිණත විදුහල්පතිවරයෙක් නොමැතිවීමේ ගැටලුව මුල් කරගනිමින් පසුගිය කාලය පුරාවට මහත් ආන්දෝලනයකට තුඩු දුන් මීගමුව ශාන්ත පීතර විද්‍යාලයට  නව විදුහල්පතිවරයෙක් පත්කර ඇත   එම විද්‍යාලයේ නව විදුහල්පතිවරයා ලෙස ආනන්ද ලේකම්ගේ මහතා පත් කර තිබේ. ඒ අනුව හෙට එනම් 2024/09/11 වැනි බදාදා දින ආනන්ද ලේකම්ගේ මහතා එම විද්‍යාලයේ නව විදුහල්පතිවරයා ලෙස රාජකාරි  ආරම්භ කිරීමට නියමිත බව වාර්තා වේ.   නව විදුහල්පති ලෙස පත් ව ඇති ආනන්ද ලේකම්ගේ මහතාව පාසල වෙත පිළිගැනීම වෙනුවෙන් හෙට පෙරවරු 7.30 ට ශාන්ත පීතර දේවස්ථානයේ  පිළිගැනීමේ සහ ආසිරි පැතිමේ දිව්‍ය පූජාවක් පැවැත්වීමටද  මේ වන විට  කටයුතු සංවිධානය කර තිබේ.
සාන්ත පීතර විද්‍යාලයේ නව විදුහල්පති ලෙස හෙට දවසේ රාජකාරි අරඹන ආනන්ද ලේකම්ගේ මහතා යනු 1994  සිට 2012 දක්වා වු වසර 18 ක කාලයක් තුළ මෙම විද්‍යාලයේම ආර්ථික විද්‍යාව විෂය ඉගැන්වූ දක්ෂ ගුරුවරයෙකු විය. එලෙසම වාර්තා වන පරිදි ඔහු ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ , කළමනාකරන හා වාණිජ විද්‍යා පීඨයේ වාණිජ විද්‍යා පිළිබඳ විශේෂ උපාධිධාරියෙකි. එමෙන්ම කොළඹ විශ්ව විද්‍යාලයේ පශ්චාත් උපාධි අධ්‍යාපන ඩිප්ලොමා ලාභියෙකි. තවද 2012 වසරේ සිට 2016  වසර දක්වා වූ කාලය තුළ ඔහු මීගමුව, කොට්ඨාස අධ්‍යාපන කාර්යාලයට අනුයුක්තව වාණිජ විෂය සඳහා වන ගුරු උපදේශකවරයෙකු ලෙසද කටයුතු කර ඇත. ඒවගේම ශ්‍රී ලංකා විදුහල්පති සේවා විභාග පරීක්ෂණයද  සමත් ව ඇති ආනන්ද ලේකම්ගේ මහතා 2016 වසරේ සිට මේ දක්වාම මීගමුව ශාන්ත මරියා විද්‍යාලයේ නියෝජ්‍ය විදුහල්පතිවරයා විය.

ශාන්ත පීතර විද්‍යාලයේ හිටපු  විදුහල්පතිවරයාට  දෙමව්පියන්ගේ සහ ආදි සිසුන්ගේ එල්ල වූ ප්‍රධානතම චෝදනාව වූයේ ශාන්ත පීතර විද්‍යාලය ” ඒ ” ශ්‍රේණියේ පාසලක් බැවින් එවැනි පාසලක් පරිපාලනය කිරීමට  ඔහුට විදුහල්පති පරිපාලන සේවයේ නිසි සුදුසුකම් නොමැති බවයි. එමෙන්ම ඔහු තාවකාලික පදනමින් ශාන්ත පීතර විද්‍යාලයේ විදුහල්පති ලෙසින් අනුයුක්ත කර තිබූ අතර ඔහු අඛණ්ඩව වසර 11ක් පාසලේ රැඳී සිටීම ද ඔහුට එල්ල වූ තවත් බරපතළ චෝදනාවකි. එමෙන්ම එම විරෝධතාවන් හී නිරත වූ වැඩි දෙනෙකු ප්‍රකාශ කළේ ඔහු පාසල පරිපාලනය කළ වසර 11ක කාලය තුළ එතෙක් පාසලේ සිසු දරුවන් ක්‍රීඩා කළ ක්‍රීඩාපිටියද අහිමි වී ගිය බවයි. එමෙන්ම ගෙවී ගිය වසර 11 ක කාලය තුළ පාසල සෑම අතින්ම එනම් අධ්‍යාපනයෙන්, ක්‍රීඩාවෙන්  පාසල ඇද වැටී ඇද ඇති බවත් පැවසු  විරෝධතාවයේ යෙදුනු පිරිස් පෙන්වා දුන්නේ පාසලේ පෙර තිබූ ජනප්‍රියත්වය මේ වන විට පහත් තත්ත්වයකට ඇද වැටී ඇති බවයි. මේ සියලු කරුණු කාරණා සැලකිල්ලට ගෙන එම විරෝධතාකරුවන් වගකිවයුතු අධ්‍යාපන බලධාරීන්ගෙන් ඉල්ලා සිටියේ  හිටපු විදුහල්පතිවරයාව මෙම පාසලෙන් මාරු කර යවා සුදුසුකම් ලත් පරිණත  විදුහල්පතිවරයෙක් ඉක්මනින්ම පාසල වෙත ලබා දෙන ලෙසයි.

මෙවන්  වාතාවරණයක් තුළ මීගමුව, ශාන්ත පීතර විද්‍යාලයේ නව විදුහල්පතිවරයා ලෙස හෙට දවසේ රාජකාරී ආරඹන ආනන්ද ලේකම්ගේ මහතාට  සුවිශාල් අභියෝග රැසකටම ඉදිරි කාලයේදී මුහුණ දීමට සිදුවනු ඇත.