සංතෘෂ්ටියේ සන්ධ්‍යාවක්…

0
298


ස.බ. වෙල්ගම හෙවත්, අපගේ මීගොමු මිතුරන්ගේ ඇමතුමෙන් කියනවානම් වෙල්ගම සර්ගේ කවි එකතුවක් මුද්‍රණද්වාරයෙන් එළි දැකීම අපගේද සිහිනයක් සැබෑවීමක් බැවින්, මෙය සංතෘෂ්ටියේ සන්ධ්‍යාවකි. ඉතිං මේ සන්ධ්‍යාවේ ප්‍රහර්ෂය විඳිමින් වෙල්ගම සර්වත්, මේ කාර්යයට උරදුන් වෙල්ගම සර්ගේ න්‍යෂ්ටික පවුලේ හා සමාජ පවුලේ සැමවත්, ආදරයෙන් වැළඳ ගනිමින් අපගේ අදහස් දැක්වීමට අවසර පතමු.

කවි ද? ලිවීම් ද?
ස.බ. තම පොතට තමා ම කරන හැඳින්වීම නිම කරන්නේ මෙසේය.
“මම කවියෙක් නොවෙමි. ලියන්නෙක් වෙමි.”
එය, ඉතා අව්‍යාජ මෙන්ම නිරහංකාර ප්‍රකාශනයකි. ගැඹුරු අරුතින් “කවියා” බවට පත්වීම කවිය නැමැති මාධ්‍යයේදි අප මිතුරු මංජුල වෙඩිවර්ධනගේ බසින් කියන්නේ නම් “ බුද්ධවරය” “ක්‍රිස්තුවරය” ලැබීම වැනි තම ගමනේ පරිපාකයට පත්වීමකි.

නමුත්, ලියන්නන් වීම, කවියන් වීමේ මගෙහි ඉතා වැදගත් අත්‍යවශ්‍ය පියවරකි. ස.බ ඒ පියවර තබා ඇති නිසා කවියෙකු දක්වා වර්ධනය වීමට ඉදිරියට ගමන් කිරීමට හැකියාව ඇත්තෙකි.
ස.බ.ගේ කවි කුමන ප්‍රවර්ගයකට අයත්ද? කුමන ශානරයකට අයත්ද? යන්න ගැන කීමේදී මේ පොතට පෙරවදනක් ලියන අප මිතුරු සිංහල භාෂා ඇදුරු ජයන්තගේ, (ජයන්ත මෝදරගේ) අදහස් සමග අප එකඟ වෙමු. ස.බ. ගේ කවි වැඩිහරියක්ම ප්‍රවණතාමය කවි ය.

විචාරයද? කියවීමද?
අපට ලැබී ඇති පුංචි කාලය තුළ අපට පැවරී ඇත්තේ ස.බ ගේ ජීවිත භාවිතාව හෝ සමාජ භාවිතාව ගැන අදහස් පළ කිරීම නොව, ස.බ.ගේ “ඇත්තට ලියූ කවි” ගැන කෙටි විචාරයක නිරත වීමටයි. කවියක් කියවා ඒ කියවීමෙන් ලද අත්දැකීම්, හැඟීම් බෙදා ගැනීම කවිය ගැන තම කියවීම ප්‍රකාශ කිරීමකි. විචාරය ඊට වඩා බරසාර, ගැඹුරු වගකීම් සහගත ක්‍රියාවකි. එවැන්නකට ප්‍රමාණවත් ඉඩක් කාලයක් අපට ලැබී නැත. නමුත් යම් පමණකින් එකී කාර්යය කිරීමට උත්සුක වෙමු.

විචාරයේ, විකාරය හා අවිචාරය
ලංකාව තුළ විචාරය විකාරයක්, අප්‍රභංසයක් බවට පත් වු මෑත ඉතිහාසයක් අප පසුකර ඇත. පසුකරමින් සිටිමු. ඒ විචාර අවිචාරයේ එක් පැත්තක් වන්නේ “ පිට කැසීම්” හා “මුරුංගා අත්තේ තැබීම්” ය. අනිත් පැත්ත වන්නේ “දෙන්නම් බැටේ” විචාර හෙවත් “නැතිභංග කර දැමීමේ” ප්‍රහාරයන්ය.

අපගේ විචාර විධි ක්‍රමය
අපගේ විචාර විධි ක්‍රමය “ක්‍රිස්තියානි විචාර විධි ක්‍රමය” ලෙස හැඳින්වීමට අප කැමැතිය. එවැන්නක් ප්‍රචලිත නොවන නිසා එකවර මෙහි සිටින්නෝ විපිළිසර විය හැක. ඒ නිසා අපගේ විචාරය විධි ක්‍රමයට තදාසන්න අප ලේඛකයාගේ දෘෂ්ඨිවාදි හා මතවාදී පදනමට සමීප විචාර විධි ක්‍රමය වන මාක්ස්වාදි විචාර විධි ක්‍රමයේ බොහෝ මූල ධර්ම අපගේ විධි ක්‍රමයට අදාල බව කීමෙන් අවුල නිරවුල් කළ හැක.

විචාරය යනු කුමක්ද? විචාරයේ කාර්යභාරය කුමක්ද?
අපේ කාලයේ ප්‍රමුඛ මාක්ස්වාදි විචාරක ටෙරි ඊගල්ටන්ගේ “මාක්ස්වාදය හා සාහිත්‍ය විචාරය” යන කෘතියේ සිංහල පරිවර්තනයට හැඳින්වීමක් ලියන මහාචාර්ය ඩෙස්මන් මල්ලිකාරච්චිගේ පහත කියමන අපි යොදා ගනිමු.
සාහිත්‍ය නිර්මාණයට විචාරය ප්‍රදීපාගාරයක් හා උත්තේජනයක් වනුයේ විචාරය, විචක්ෂණශීලි මෙන්ම මානවවාදි ද වුවහොත් පමණි.

විචක්ෂණශීලි වීමට නම්, සාහිත්‍ය කරුණුවලට වඩා නිර්මාණයට පිටුදෙන දෘෂ්ඨිවාදය, සමාජ පසුබිම ආදි බාහිර කරුණු පිළිබඳවද විචාර පූර්වද විය යුතුය.
මානවවාදිවීමට නම් පෞද්ගලික කෝන්තර, ඊර්ෂ්‍යාව, පිට කැසීම ආදියෙන් තොර අවංක එකක් විය යුතුය.

ස.බ.ගේ කවියේ සමාජ පසුබිම
ස.බ. ම කියන පරිදි ඔහුගේ කවි ලියැවුණු දශකය වන 1980 දශකය යනු යටත් විජිත හා පශ්චාත් යටත් විජිත ශ්‍රී ලංකාව එතෙක් අනුගමනය කළ කුරිරු විකෘති ආර්ථික දේශපාලන ක්‍රමයේ විනාශකාරී අස්වැන්න මතු වූ දශකයයි.
ස.බ.ගේ කේන්ද්‍රීය ලෝක දැක්ම නිර්මාණය කළ වාමවාදය දේශීයව ද, ගෝලීයව ද අර්බුදයට ගිය දශකයයි. ශ්‍රී ලංකාවේ පැරණි වමේ අවසන් සුසුම් පොද ද නව වමෙහි උප්පැන්නේ ලියැවී තිබුණු ජාතිවාදි මඩ ගොහොරුවට කඩා වැටීමේ ආරම්භයද සටහන් වූ දශකයයි.

1980 ජූලි වර්ජනය තලා පෙළා ඇරඹි 1980 දශකයේ තීරණාත්මක සිදුවීම් කිහිපයක් සිහිපත් කරගමු. යාපනයේ පුස්තකාලය ගිනි තැබීම, ජනමත විචාරණයකින් ප්‍රජාතන්ත්‍රවාදය විධායක ඒකාධිපතිත්වයට යටත් කිරීම, 1983 කළු ජූලිය හෙවත් සිරිල් මැතිව් හා කීප දෙනෙකුගේ නොව සිංහල මහා සමාජයේ නිහඬ අනුමැතියෙන් රාජ්‍යයේ පූර්ණ අනුග්‍රහයෙන් ද සිදු කළ දෙමළ ජන සංහාරය, කඳුකර දෙමළ ජනයා ඇතුළුව උතුරු නැගෙනහිර දෙමළ ජනයා උතුරේ සන්නද්ධ ව්‍යාපාරය වෙත තල්ලු කර හැරීම, ජවිපෙ ඇතුළු පක්ෂ තුනක තහනම, උතුරු නැගෙනහිර තරුණ සංවිධාන වෙත විශාල ලෙස තරුණ තරුණියන් ඇදී යාම හා ඒ සංවිධාන වෙත උතුරේ සමාජයේ අනුග්‍රහය ලැබීම. 1987 ඉන්දු ලංකා ගිවිසුම. දකුණේ 1988-90 කාලය තුළ 60000 කට අධික තරුණ සංහාරය ඒවාය.

ස.බ.ගේ කවිය තුළ ඇත්තේ මේ පසුබිමයි. ඒ කවි එම පසුබිමෙන් වෙන්කොට කියවිය නොහැකිය. කවියාට තම පය ගසා සිටින සමාජයේ කඳුළ සුසුම මග හැරිය නොහැකිය. ඉයුනි නියුවුටුෂන්කෝ පැවසු පරිදි “කවියෙකුගේ නිර්මාණ සිය සමය පිළිබඳ සසල සුසුමින් යුතු පේකඩක් විය යුතුය.” යන කියමන අප කවියාගේ නිර්මාණවලටද අදාලය. ඔහුගේ ලිවීම් සියල්ලම පාහේ එකී ලක්ෂණයෙන් යුක්තය.

ලිබරල්වාදයේ නග්නත්වය
මානව ඉතිහාසයේ උණුසුම් ම මාසය වූ ගෙවුණු ජූලි මාසයේ අප කොළඹ ආනන්ද විදුහල පසු කරන විට මහා දහවල් මිනිසෙකු (හිඟන මිනිහෙක් යැයි කීම නුසුදුසුය.) පදික වේදිකාවේ වැටී නිදියනු දුටිමු. “මානව කසළ” බවට මිනිසුන් පත් කළේ ධනවාදයයි. ප්‍රැන්සිස් පාප් තුමන්ගේ කියමනකින් කියනවා නම් “කුසගින්නේ මිනිසුන් මිය යාම ප්‍රවෘත්තියක් නොවි, කොටස් වෙළඳපොළ දර්ශකය අංක කීපයකින් පහළ යෑම ප්‍රවෘත්තියක් බවට” පත් කළේ ලිබරල් ධනවාදයයි.

ස.බ.ගේ “පුරවරේ අසිරිය” කවිය කතා කරන්නේ හිඟන්නන් නගරයෙන් ඉවත් කිරීමේ පාලක වුවමනාවයි.
අපි වෙමු නගරයේ බදු ගෙවන්නෝ
එනිසා ම සම්භාවනීය පුරවැසියෝ
තිබිය යුතු ය ඉඩකඩ වීදිවල
අපේ අලුත් ම අලුත් වාහනවලට
වේගයෙන් දිව යන්නට
තිබිය යුතු ය ඉඩකඩ
ඇවිදින මංතීරුවල
හවස් වරුවේ නිස්කලංකව
බලු සුරතලා හා දරු පවුල් කැටිව
එකට සක්මන් කරන්නට
එසේ යද්දි නෙතට අමිහිරි
කනුන්, කොරුන්, බීරන්
ජරපත්ව ගිය මහලු මැහැලියන්
නෙරා ගිය බඩ ඇති
හැඩපලු ගෙතුණු කෙහෙ ඇති
ඇට සැකිලි සිහි ගන්වන
වීදියේ කොලු කෙල්ලන් හා
උන් දවසරින පැල් කොට
අස් කළ යුතු ය හනිකට
රැක පුරවරයෙහි අසිරිය
දෙසවන සනසවන්නට
දෙනයන සතපවන්නට

පීඩිතයාගේ පැත්තේ කවියෙක්
ක්‍රිස්තියානි විචාර විධි ක්‍රමය අනුව නිර්මාණකරුවා සමාජයේ යථාර්ථය, සත්‍ය පිළිඹිබු කරන්නේ නම්, පීඩිතයාගේ පැත්තේ සිට නිර්මාණකරණයේ යෙදිය යුතුය. මාක්ස්වාදි විචාරයේද එය මූලික පදනමක් යැයි හඟිමු. ස.බ.ගේ කවිවල ඒ ගුණය ඉතා ඉහළය. ඉන් තොර කවියක් ඇත්තේම නැති තරම්ය. මේ නිදසුනක් දෙකක්.

ගසින් සරු කිරි කපන
මෑණි කෙනෙකුගේ දෙතනැ
එල්ලිලා මොරගසන
සප්පයෙකුගේ හඬ
නොවැටෙන්න සවන….
(“උඩ යට” කවියේ කොටසක්)
මේ පීඩිත කඳුකර, වතුකර ජනයාගේ ජීවිත යථාර්ථයයි. නූතන වහල් ජනතාවක් බවට පත් කළ, රටට ඩොලර් පවුම් උපයා වැඩිම මන්දපෝෂණය, වැඩිම කුරු ළමයි, වැඩිම ළදරු මරණ උරුම කරගත් ජාතියකගේ හඬ යටපත් කිරීම ගැනය. වම ජාතිවාදි දේශපාලනයේ ගිලී අත්හැරගත්, පාවා දුන් මෙරට වමට යෝධ ශක්තිය සැපයු කම්කරු පංතියකගේ ජීවිත යථාර්ථයයි.
මට ඇති එක ම සොම්නස
අට දෙක අතර ඇති
ඔබේ හෙවනේ පහස පමණය.
දයාබර ගුරු මෑණියනි
(“තක්සලාවට ආදරයෙන්” කවියේ කොටසකි)
අද ඇතැම් දරුවන්ට පාසල් යාම පැය 5 ක සැනසීමකි. ඇතැම් ඉතා දුප්පත් නාගරික දරුවන් පාසලට යන්නේ වැසිකිලි පහසුකම් සඳහාය. ගෙදර අපායක් වූ ඇතැම් දරුවන් පාසලට එන්නේ ඉගෙනීමට නොව, යම් සහනයක් ලබනු රිසියෙනි. මේ කවිය තුළ නිම්නාද වන්නේ, ඒ පීඩිත දරුවන්ගේ හඬයි.
බඩගිනි වෙලා මා ගිය කල පුතුගේ ගෙට
මැනලා වගේ දුන්නා බත් කටක් මට
කම්දෝ නොකම්දෝ කියලා සිතිණි මට
කොහොමද බඩගින්නේ නුඹ යන්නේ වැඩට
(“මවකගේ යැදුමක්” කවියේ කොටසකි)
මෙම කවියෙන් දැක්වෙන්නේ පවත්නා ක්‍රමය විසින් නිර්මාණය කරන ලද අලුත් ම පීඩිත සමාජ තීරුවක් වන වයෝවෘද්ධයන්ගේ ඛේදවාචකයයි. අද ශ්‍රී ලංකාවේ වැඩියෙන්ම දිවි නසා ගන්නා වයස් කාණ්ඩය වන්නේ, අවුරුදු 70 ට වැඩි පිරිසයි. මේ කවියේ කථකයා වන මව තම කම්කරු පුතණුවන්ගේ ආහාර වේලක් අනුභව කිරීමට නොහැකිව කම්පාවට පත් වේ. ආර්ථීක දුෂ්කරතා හමුවේ පවුලට, දරුවන්ට බරක් වෙවි ඉන්නවාට වඩා ජීවිතය හැර යාම තෝරා ගන්නා වැඩිහිටියෝ දුලබ නැත. අප දන්නා පැරණි කවියක එක් පදයක් වෙනස් කරමින් “කම්දෝ නොකම්දෝ කියලා සිතුණි මට” ස.බ මේ පීඩිත ජන පිරිසගේ ඉරණම ගැන අප ව කම්පනයට පත් කරයි.
කෙටි කවි
ස.බ.ගේ නිර්මාණ සමුච්චයේ අප දකින ප්‍රබල ම ලක්ෂණය හයිකුමය නොවන කෙටි කවිය. සංක්ෂිප්ත ගුණය රඳවා ගන්නා ඒ කවිවල අප රට ට උරුම විරිත්ද පවතී, ඔහු එළිවැටෙන් මුදවා ගන්නා එවන් කවි කාව්‍යමය බවින්ද යුක්තය. මේ බලන්න.
පසු තැවිල්ලක්
වතක් නැති කයැ රැඳුණු දූවිලි
දෙකන් වැසෙනා පොකුටු කෙහෙරැළි
සුදහ ගින්නෙන් මිළින නෙත් පොඩි
මඟ තොටේ නෙත ගැටෙන විටකදි
මහා මැතියන් ඉදිරියේදි
හඬ නැගෙන්නට පොළවේ ගස්සන
කැටපතක් බදු සපත්තුව ගැන
මහා අභිමානයෙන් යුක්තව
සිතු සැටි ගැන හදවතින් මම
සිය දහස්වර හඬා වැළපෙමි.
කවියාගේ අව්‍යාජ හෘද සාක්ෂිය මේ කවිය තුළ තිබෙනවා. ස.බ යනු පසුතැවිලි හදකින් තමා දෙස වුව බලන්නට හැකි මිනිසෙක්. එවන් මිනිසෙකුට පමණයි මෙවැනි ලිවීමක් කළ හැක්කේ.
මේ, කෙටි කාව්‍යයම ගූණය ගැන තව නිදර්ශනයක්.
කුඩා දරුවෙක්, නොපිරි දසවිය
යොදා ගත සිත දෙකේ දහිරිය
අදියි ම.න.ස.ක කුණු බාල්දිය
පියා පෙරාටුව පිරුණු හැට විය.
හුරු වෙයන් පොඩි පුතේ හරියට
කුණු කරත්තෙන් තල්ලු කරනට
තාත්තාගේ බර අදින්නට
උඹට පැවරෙයි. හෙට අනිද්දාට
මෙහි දෙවන කොට “හුරුවෙයන් කුණු කරත්තේ අදින්න” යන්න එසේ නොලියවුණා නම් හොඳයි කියලයි අපට හිතෙන්නේ.
“රිදි ඉර තාම නෑ” වගේ කවියකත් අපි පතන සමාජය බිහි නොවීමේ ඉච්ඡාභංගත්වය අවිඥානිකව සැඟවි තිබෙනවා. මෙය අද වන විට විශේෂයෙන් දිගු කලක් සමාජ වෙනසක් වෙනුවෙන් වැඩ කළ මිනිසුන් පෙළෙන අවිඥානික ගැටලුවක්. මේ නිසාම ඇතැමුන් තම හෘද සාක්ෂිය විවිධ ව්‍යාජ තර්ක මත වසා ගනිමින් පවා තම පිහිටාගත් සත්‍යයන්ට පිටුපා දේශපාලන අස්ථානයන් හී සිට ගන්නවා. ස.බ. තවම එතැනට විතැන් වී නෑ.

ස.බ.ගේ සුබවාදය
අප පෙර කී තත්ත්වයට එරෙහිව සමාජ විපර්යාකාරක බව උදෙසා වන පැහැදුල් දැක්මක, දර්ශනයක ආභාෂය ස.බ. සතු වෙනවා. ඒ දැක්මද නිරාසයෙන් මතුවන නිමැවුම් රැසක් අපට මේ පොත තුළ හමු වෙනවා.
නතර කළ යුතු ය වැඩ
ඇරඹෙද්දි නොනගතය
ගෙවල දොරවල නොව
මුළු රට පුරා එක විට
දැල්විය යුතු ය ගිනි
නිසි නැකත ආ විට
පිසින්නට නොව කිරිබත්
එළි කරන්නට දැවෙන හදවත්
(“ලබන අවුරුද්ද” කවියේ කොටසකි)
කඳ පමණින් ඇදි මහ මුල් තැන තැන
අවට වසා පැතිරූ බිය සැක දෙක
ගහ පෙරළන්නට කල ළං වී ඇත
නව මඟකට මඟ හෙළි කළ යුතු ලෙස
පරම්පරාවෙන් පරම්පරාවට
වැඳුම් පිදුම් කළ සුවිසල් නුගරුක
ගලවාලන්නට වේ යයි කිසි දින
නොසිතු අපි නොදතිමු ගලවන මග
(“නුගය වැටුනු” විට කවියේ කොටසකි)
මෙය කවි පොතේ ඇති ඉතා හොඳ කවියක්. මිත්‍යාව හා පවතින ක්‍රමය වෙනස් කළ විට ලැබෙන ආලෝකය මෙහි සංඛේතවත් වෙනවා.
එපා අම්මේ නැගිටින්නට
පුංචි මල්ලි හොඳටම නිදි
පිටුපස ඇති ආසනයේ
ඉඳ ගන්නට පිළිවනි මට
ඉදිරි දොරින් බස් රියකට
ගොඩ වුණු පොඩි හිමි නමකගේ
වදන් ඇසී මගේ දෙකන්
මොහොතක් බිහිරිවැ ගියේ ය
(“සිහිනයක් නොවේ” කවියේ කොටසකි)

සම්මත වැඩවසම්වාදි පැවැතුම්වලින් මිදුණු පොඩි හිමිනමකගේ ක්‍රියාව තුළ ස.බ අනාගතය පිළිබඳ විශාල අපේක්ෂාවක් දල්වාලයි. මේ කවිය කියවද්දි අපගේ සිහියට නැගුණේ දිනපතා පොළේ එළවළු විකූණා රෑ හතට ගෙදර යන වයසක අම්මා කෙනෙකුට හිමි නමක් බසයට නැගුණු නිසා ආසනය ලබා දීමට සිදුවූ සිදුවීමකි. ඇය බෞද්ධ කාන්තාවක් වූවද එදා දිගින් දිගටම හිමි නමට බැණ වැදුණු ආකාරය අපට අමතක නොවෙයි.

ජාතික ප්‍රශ්නය වස්තු විෂය වෙද්දි
ස.බ. සිය ජීවිත කාලය පුරා යුද්ධයකට ප්‍රතිපක්ෂව සිටගත් බවයි අපේ මතකය. ඒ ඔහුගේ හෘද සාක්ෂියයි. ඔහුගේ වැඩ දේශපාලන ස්ථාවරය වූයේ යුද්ධයට දේශපාලන විසඳුමක් දිය යුතුය යන්නයි. නමුත් ස.බ. ගේ කවියේ දෘෂ්ඨිවාදි සීමාව බරපතළව ලියැවෙන්නේ ජාතික ප්‍රශ්නය ඇසුරුකරගෙන ලියන ලිවීම්වලදි බව කිව යුතුය.

“විචාරය නිර්මාණකරුවාට මෙන්ම රසිකායාටද තමා යා යුතු දිශාව පෙන්වන ඇත්ත මාලිමාවක් විය යුතු හෙයින්” මේ කාරණය සඳහන් කළ යුතුය. මන්දයත් පැවරි ඇත්තේ ස.බ. ගැන විචාරයක යෙදිමට නොව ස.බගේ කවිය ගැන විචාරය කිරීමයි. ලංකාවේ සම්ප්‍රදායික වම්මුන් බහුතරයක් මෙන්ම නව වම්මුන් බහුතරයක් ඇඳ වැටෙන දෘෂ්ඨිවාදි අවුල ස.බ කෙරෙහිද බලපා තිබෙන බව මෙම කවි තුළින් විශද වේ. එනම් අවිඥානික මහජාතිවාදය තුළ සිරවීමයි. බලන්න.
නිදහස ඇද්ද කුළියක්වත් කරන්නට?
පොඩි උන් එක්ක දෙපැයක්වත් නිදන්නට
උන් ගැන මතක් වෙද්දි මට විටින් විට
බැහැ බත් කටක් දිය උගුරක් ගිලින්නට
වියළි මිරිස් කරලක් රතු ළුෑණු බිකක්
කුණු ලේ පාට මිදි පොකුරක ගෙඩියක්
වැවෙන නුඹ බිමේ රතු පැහැ ගැහුණු පසක්
තව රතු කරනව ද මුහුකර රුහිරු කඳක්?
(“විරසක වුණු මලේ” කවියේ කොටසකි)
අයියා මල්ලිට කියනවා ඔයා විරසක වෙලා. අයියාගේ ඇමතුම බැලු බැල්මට ආදරණීයයි. මානුෂීකයි. “උතුරු කොනේ නුඹ හිනැහෙන් නඩරාජා මල්ලියේ” වගේ ආදරණීය ඇමතුමක්. ඒත් ඇත්ත ඒකද? ඇයි මල්ලි විරසක වුණේ?
අයියලා විසින් දශක ගාණක් කොන් කරලා. අයියලා විසින් පහර දීලා, අයියලා විසින් දූෂණය කරලා, අයියලා විසින් සැලසුම් සහගතව යටපත් කරලා, අයියලා විසින් දිවි හිමියෙන් රකින්නට කැපවු රාජ්‍ය විසින් පළවා හැරලයි මේ මල්ලි විරසක වුණේ. මේ අයියා මල්ලි මතුපිට මානුෂිකවාදය නිමා වුණේ කොහොමද? උතුරු කොනේ නඩරාජා මල්ලිව ජන සංහාරයකට බඳුන් කරලා. දකුණු කොනේ සුමනසිරි මල්ලිලා කිරිබත් කාලා.
යුද්ධයේ කළු දුමාරය තුළ
හමුදා වෙඩි පහරකින්
මිය ගියේ ය සිවරාසන්
සතුරනට අත් නොවුණු දේහය භාරගත්
ඔහුගේ මෑණියෝ හඬා වැටුණාහ
වාවා ගත නොහැකි දරු සොවින්
සිහළුනට සාප කරමින්
යුද්ධයේ කළු දුමාරය තුළ ම
බෝම්බ පහරකින්
මිය ගියේ ය කෝප්‍රල් වීරසිරි
උත්තමාචාර සහිතව දේශය භාරගත්
ඔහුගේ මෑණියෝ හඬා වැටුණාහ
වාවා ගත නොහැකි දරු සොවින්
දෙමළුනට සාප කරමින්
මේ කවිය තුළ ද ඇත්තේ දෙපැත්තේම මිය ගිය කෙනා එක සමාන වන අදහසකි. නමුත් දකුණේ හමුදා සෙබලා ට රාජ්‍ය ගෞරවය, රාජ්‍ය වරප්‍රසාද ඔහුගේ පවුලේ අයට වන්දි, වැටුප, විශ්‍රාම වැටුප හිමි වන අතර උතුරේ සටන්කරුවාට රාජ්‍ය විසින් ඔහුගේ සොහොන පවා අහිමි කරයි. ඒවාද ඩෝසර් කර ඒ පවුල්වල අයට තම නෑසියා සිහි කිරීමට පවා ඉඩක් ලබා නොදෙයි.
මේ දෘෂ්ඨිවාදි අවුල ස.බ.ගේ පෞද්ගලික අවුලක් නොවෙයි. අද ද ඕගොල්ලන්ටත් රිදුණා. අපිටත් රිදුණා. ඕගොල්ලන්ගෙත් මැරුණා. අපෙත් මැරුණා. ඕගොල්ලන් අනිනුත් වැරදි වුණා. අපේ අතිනුත් වැරදි වුණා. වැනි හරීම ලස්සන භාවතශීය, සංවේදි කතාවලින් වසා දමන මූලික පීඩනය වු ආර්ථික පීඩාව පමණක් නොව වර්ගවාදි රාජ්‍යයන් තුළ ප්‍රමාණාත්මක සුළුතරයන්ට ජාතික පීඩාවක් පවතිනවාය යන්නත්, ඒ නිසා ඔවුන්ට ස්වයං තීරණ අයිතියක් ඇති බවත් පිළිගන්නා ක්‍රිස්තියානි දැක්ම වෙනුවෙන් පෙනී සිටීමේ ජනප්‍රිය නොවන ස්ථාවරය ගැනීමට නොහැකි දෘෂ්ඨිවාදයක කොටසකි. ස.බ ප්‍රායෝගිකව සිටියේ ඒ දෘෂ්ඨිවාදයේ නොවේ. නමුත් ජාතික ප්‍රශ්නය ගැන ලංකාවේ ජනප්‍රිය ප්‍රගතිශීලි සාහිත්‍ය පැවැතුණේ එතැනය.
සැකවින් ක්‍රිස්තියානි ලක්ෂණ
ස.බ.ගේ නිමැවුම් අතර තව බොහෝ දෑ කතා කළ හැකිය. ජයන්ත ද ලියා ඇති පරිසර විනාශය දෙස බලා ස.බ ලියන “ මිනිස් පුතුට ලියුමක්” හා තවත් කවිවල ඇති පරිසර ප්‍රශ්නය හා වැඩිමහල්ලන්ගේ අතීත කාමයේ ස්වභාවය හා ස.බගේ අතීතකාමයේ ස්වභාවයත් ඉන් එකක්. නමුත් අපට ඇති කාල සීමාව සලකා තව එක් කරුණක් ගැන පමණක් කියන්නම්. ස.බ.ගේ කිතුනු සංස්කෘතික පසුබිම මතුවන කවියක් තිබෙනවා. එය ස.බ. ගේ දැක්ම කෙරෙහි බලපෑ ක්‍රිස්තියානි විමුක්ති දේව ධාර්මික පදනම් මත ලියවුණු කවියක්.
දේශනාවෙන් පසු යැදුමක්
ශු. බයිබලයේ මෙසේ ලියා තිබේ
“අහසෙහි පියාසර කරන කුරුල්ලන් දෙස බලන්න.
උන් වපුරන්නේවත්, කපන්නේවත්, රැස් කරන්නේවත් නැත.
කෙතේ වැවෙන මානෙල් දෙස බලන්න,
ඒවා වෙහෙසෙන්නේවත්, නූල් කටින්නේවත් නැත.
එහෙයින් කුමක් කමුද? බොමුද? අඳිමුද?
කියමින් කරදර නොවන්න.”
දේව වාක්‍ය මෙසේය.
පියාණනී,
එක්තරා යුගයක එය සත්‍යයක් වී ය.
පසු යුගයක – ගත සිත සවිය ඇත්තෝ
අපේ පියවරුන් කොල්ල කෑවෝය.
අපේ පියවරුන්ට ඉතිරි වූයේ හාමත හා අවිද්‍යාව ය.
ඉන් මිදෙන්නට අපේ පියවරු යැද්දෝය.
අපේ යුගයේ සවිය ඇත්තෝ අපව ද කොල්ලකෑවෝය.
අපට ද ඉතිරි වූයේ හාමත හා අවිද්‍යාව ය.
අපේ දරුවෝ ද හාමතින් පෙළෙමින්
අකුරු පිපාසාවෙන් ද පීඩා වූවෝ ය.
පියාණෙනී, අප ඉවසුව ද දරුවෝ නොඉවසති.
ගත සවි ඇත්තෝ මෙසේ මොර දුන්නෝය.
“මුඩුක්කු පැල්පත් නිසා පරිසරය දූෂණය වේ.
සාගින්නේ මොර දෙන්නන් නිසා සාමය පළුදු වේ.
සතුරු බිය වැඩි වේ.
මුඩුක්කු ඉවත් කර, පරිසරය රැකගෙන
සාමය කඩකරන්නන් දඟ ගෙයි ලෑ යුතු ය”
පියාණෙනී, කුරුල්ලන් පිළිබඳ උපමාව කියා දී
දෙවිඳුන් යදින්නැයි අප කියන විට
අපේ දරුවෝ මෙසේ පවසති.
“කුරුල්ලන් අනුන්ගේ දේ කොල්ල කා
අටු කොටු නොපුරවන නිසා උන් හැමට අහර ඇත.
කෙතේ ජලය සමව බෙදෙන නිසා
මානෙල් සියල්ල අලංකාරව දිලෙනු ඇත.
එබැවින් දුබලව සිට යැදුමෙන්
කිසිදා පලක් නැත”

පියාණෙනී,
හාමතින් මිරිකී – මුදු බවින් වෙන්වී
සිරුර මෙන්ම හදවත ද කර්කශව ගිය අපේ දරුවෝ
දැන් අපට ද ආඩපාලි කියන ඇට්ටරයෝය.
සාගින්න, අයුතුකම, කොන්වීම නිසා ම
උන්ගේ හදවත් මෙන් ම – සිහින ද හීන වී ඇත.
කමා කළ මැනව,
උදහස් නොවි උන්ගේ බස්වලට
දුන මැනව මන්නාවන් සමග
විදු දිය බිඳක්
හැකිළුණු හිස් කුස් තුළට
ආමෙන්…

ඒ තමයි අවසාන කවිය. ජේසුස්ගේ සුප්‍රකට දේශනයක් මත පිහිටා ලියුවකී. මෙය ක්‍රමය පවත්වා ගැනීම සඳහා බහුතර පූජක පක්ෂය විසින් අවභාවිත කළ ජේසු භාෂිතයක්. වැඩිහිටි පරපුරට තරුණයෝ කියනවා ජේසු කිව්ව කතාව කුරුල්ලන් ගැන සාධාරණයි. ඒත්, මිනිස්සුන් විෂයෙහි සාධාරණ නෑ. මන්ද කුරුල්ලෝ පරම්පරා ගණනකට අටුකොටු පුරවන්නේ නැති නිසා ඔවුන්ට ආහාර ප්‍රශ්නයක් නෑ. නමුත් මිනිස්සු එහෙම කරන නිසා මිනිසුන්ට ආහාර ප්‍රශ්නයක් තිබෙනවා. ජේසු කියන ජීවිතය සහතික වෙන්නේ තණ්හාව ප්‍රහීන කළ, සූරාකෑම නැති සමාජ ක්‍රමයක් ස්ථාපිත කළ විට, ඉන් තොරව එදිනෙදා භෝජනයට කරදර නොවන ජීවිතයක් සහතික වෙන්නේ නෑ.

ස.බ. මේක ලියන්නේ 2002. අප මේ කවි ගැන වැිමිඑදා්හ වෙබ් අඩවියට විවරණයක් ලියා තිබෙනවා.
අද ඊට වසර 20 කට පසු තත්ත්වය කුමක්ද? කුරුල්ලන්ටත් මානෙල්වලටත් පවතින්න බැරි වෙලා කුරුල්ලන් විෂයෙහිද ජේසු භාෂිතය සාධාරණ නැති තත්ත්වයක් ඇති වෙලා ඒ ඇයි? තණ්හාධික ක්‍රමය තවත් ලාභ ගොඩගැසීම නිසා කුරුල්ලන්, සත්තු ආදින්ගේද ජීවිත පැවැත්ම නැති වෙලා.

අවසානය වෙත
අපේ පෙරගමන්කාර සටන් සගය, ස.බ වෙනුවෙන්, මීගමු ව්‍යවහාරයෙන් වෙල්ගම සර් වෙනුවෙන් කරන යුතු යුතුකමක් ලෙස මේ පොත නම් කරලා මේ සන්ධ්‍යාව නිමා කළාත් අප හිතන්නේ එය ඔහුට කරන ගෞරවයට වඩා අගෞරවයක් බවයි.

අපි ස.බ තුළ ඉන්න පීතෘ, මාතෘ, සහෝදර වැඩිහිටියා කරන ඉල්ලීම ඉටු කිරීමට නිවැරදි අස්ථානයක සිටගෙන වැඩ කළ යුතුයි.
“මවකගෙන්” කවිය තුළ ඔහු මෙහෙම ඉල්ලනවා.
ලේ කිරි කර පොවා ඇති දැඩි කළ ප්‍රේමෙන්
නුඹේ ගත ඇත සවිය පුත කවදවක් මෙන්
යුක්තිය වල් වදින්නට තව ඉඩ දීමෙන්
ඇයි දුක් විඳින්නේ නුඹ තව වැහැරීමෙන්
ඇත්තට යුක්තියට මග හෙළි කරාපන්
අදැහැමි පවිටු පලුවන් පලු ගසාපන්
නුඹේ දරුවනට සුරපුර මෙහි මවාපන්
මගේ කිරිවලට ණය ඒ ලෙස ගෙවාපන්
දවද්දී අයෙක් මිනිසත් බව
(“ගින්න හා තෙල” කවියෙහි ඔහු මෙසේ පවසනවා)
නැගිට සිට හනිකට
නොනිවුවොතින් ගිනි වැට
වැගිරී ගින්න පිට
තෙල මිනිස් බව දවයි අළු කොට
ස.බ කරන මේ ඇරයුම ස.බගේ දරුවන්ටත් අපේ දරුවන්ටත්, රටේ දරුවන්ටත්, ලොවේ දරුවන්ටත්, මිනිසුන්ටත් ඇසේවා..!
(ඇත්තට ලියූ පැදි එළි දැක්වීමේ අවස්ථාවේ සිදු කළ දේශනයේ සටහන)

(මහින්ද නාමල්ගේ ෆේස්බුක් බුක් පිටුවෙනි)