Saturday, September 21, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

Home Editor's Choice සජිත් ,ගෝඨා එකට තියලා ,මහින්දගෙන් සැර ටොක්කක් !

සජිත් ,ගෝඨා එකට තියලා ,මහින්දගෙන් සැර ටොක්කක් !

0
88
MRප්‍රේමදාස යුගයකට රට නැවතත් ගෙනයන්න ඕනෑ යැයි ඇතැමුන් කියන බවත් ඒ තත්වෙට ගියොත් රට ‘සුදුවෑන්’ නොව ටයර් සෑයවල් සංස්කෘතියක් ඇති වනු ඇතැයි විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ පවසයි.ඔහු මේ බව සඳහන් කර සිටියේ මුල්කිරිගල පැවති ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ආසන බල මණ්ඩලය අමතමිනි.

තමන් බලයට පැමිණි විට ප්‍රේමදාස වැඩපිලිවෙල ක්‍රියාත්මක කරන්නේ යැයි කිසිවකු කියන්නේ නම් තමනට මතක් වෙන්නෙ දකුණේ තරුණ තරුණියන් ටයර් සෑ මත දැවී ගිය යුගයක් බවත් විපක්ෂ නායකවරයා එහිදී සඳහන් කළේය.

88 89 කාලයේ එක්තරා දිනයක 150ක් සිරුරු ටයර් සෑයවල් දැවී යද්දී තමන් ඒ ගැන ඇමතිවරයකුට දැන්වූ බවත් තවත් සුළු වේලාවකින් නැවත තමන්ට ආපසු අමතා එම ඇමතිවරයා 150ක් නොව 250 දැවෙන බව කිවුවේ යයිද ඔහු මෙහිදී පැවසීය.

විපක්ෂ නායකවරයා මෙම ප්‍රකාශය කළේ, තමා බලයට පත්වූ පසු ශ්‍රී ලංකාව යලි ප්‍රේමදාස යුගයකට ගෙනයන බවට එජාපයෙන් මෙවර ජනාධිපති අපේක්ෂකයා ලෙස ඉදිරිපත්වීමට අපේක්ෂාවෙන් සිටින අමාත්‍ය සජිත් ප්‍රේමදාස විසින් පසුගියදා කළ ප්‍රකාශයට ප්‍රතිචාර දක්වමිනි.

88-89 පැවති භීෂණ යුගය ගැන සජීවී අත්දැකීම් සහිත පුද්ගලයෙක් වන මහින්ද රාජපක්ෂ, ඊට එරෙහිව මංගල සමරවීර සමග එක්වී ‘මව්වරුන්ගේ පෙරමුණ’ බිහිකරමින් එකල ප්‍රබල හඬක් නැගු දේශපාලනඥයෙකි.

ගෝඨාභයට මහින්දගෙන් ටොක්කක් !

විපක්ෂ නායකයා 88-89 යුගය සිහිපත්කරමින් සිදුකළ ප්‍රකාශයට විමල් විරවංශ මන්ත්‍රීවරයා විසින් පවත්වා ගෙන යන සමාජ මාධ්‍ය හරහා පුළුල් ප්‍රචාරයක් ලබාදී ඇති අතර ඇතැම් සමාජ මාධ්‍ය එය විග්‍රහකර ඇත්තේ පොහොට්ටුවේ ජනාධිපති අපේක්ෂකයා ලෙස ඉදිරිපත් කිරීමට බලකෙරෙන ගෝඨාභය රාජපක්ෂද ඉලක්ක කරගනිමින් කළ ‘ටොකු ඇනීමක්’ ලෙසය.

විපක්ෂ නායකවරයා සිහිපත් කරන 88-89 වකවානුවේ තරුණ තරුණියන් දහස් ගණනක් කුරිරු වඳ බන්දනයට ලක්කර ටයර් සැයේ දවා අලුකළ මාතලේ වදකාගාර බාරව ක්‍රියාකළේ, එකල ගජබා රෙජිමේන්තුවේ ලුතිනන් කර්නල්වරයකුව සිටි ගෝඨාභය රාජපක්ෂ වීම එවැනි විග්‍රහයන්ට හේතුවී ඇත.

එවකට මාතලේ තනායමේ හා මාතලේ විජය විද්‍යාලයෙහි පවත්වාගෙන ගිය යුධ හමුදා වදකාගාර දෙක ක්‍රියාත්මක වුයේ ලුතිනන් කර්නල් ගෝඨාභයගේ මෙහෙයවීම යටතේය.

88 -89 අවධියෙහි සිදුවූ පැහැර ගෙන යෑම් සහ අතුරුදහන් කිරීම් සොයා බැලීමට චන්ද්‍රිකා කුමාරතුංග ජනාධිපතිවරිය විසින් පත් කරන ලද කොමිෂන් සභා වාර්තාවන්හි මාතලේ ප්‍රදේශය සම්බන්ධයෙන් ද වැදගත් සාක්ෂි සටහන්ව තිබේ.

‘සුදු වැන්’ සංස්කෘතිය ගෝඨාගේ නිර්මාණයක් !

එසේම, මිනීමරු ‘සුදු වැන්’ සංස්කෘතිය 88-89 යුගයට අදාල නොමැති අතර උතුරේ එල්.ටී.ටී.ඊ. සංවිධානය යුධමය වශයෙන් සංහාරය කිරීමෙන් පසු දකුණේ ආණ්ඩු විරෝධීන් පැහැර ගේනයාමට ක්‍රියාත්මක වූ ගෝඨාභය රාජපක්ෂගේ හමුදා ක්‍රියාන්විතයක් බව සමාජ මාධ්‍ය වාර්තා කරයි.

‘සුදු වෑන් උවදුර’ යනුවෙන් ඇතැම් මාධ්‍ය නිර්වචනය කරන්නට යෙදුණු දේශපාලන හා පුද්ගලික හේතු නිසා ඇතැම් අය එක්වරම අතුරුදන්වූ ‘දකුණේ භීතිකාව’ පැහැදිලි ලෙසම රාජපක්ෂ යුගයේ නිර්මාණයකි.

කෙසේවුවද මේ වසරේ මාර්තු 02දා දවුලගල එළමල්දෙණියේ පැවැති ‘එළිය’ විශේෂ වැඩසටහනට සහභාගි වෙමින් අදහස් දැක්වු ගෝඨාභය රාජපක්ෂ කියා සිටියේ, තමන්ට එකම සුදු වෑන් එකක්වත් නොමැති බවයි.

”ඇත්ත වශයෙන් හාමුදුරුවනේ මට එකම සුදු වෑන් එකක්වත් නැ. නමුත් මේ රටට සුදු වැන් වලින් උස්සන සංකල්පය මේ රටට හදුන්වාදිපු මේ රටේ 87,88,89 කාලයේ තිබු තත්ත්වය තරුණයන් දන්නෙ නැ.” ඔහු එහිදී සඳහන් කළේය.

එහෙත්, 88-89 යුගයේදී තරුණ තරුණියන් පැහැරගෙන ගියේ ආණ්ඩුවේ ‘පැජරෝ’ ජීප් රථවලිනි. ‘සුදු වැන්’ වලින් නොවේ.

රාජපක්ෂ කඳවුරේ විනයක් ඇති අපේක්ෂකයා?

කෙසේවුවද ගෝඨාභය රාජපක්ෂටද එසේ සියුම් ආකාරයෙන් පහරදෙමින් මීළඟ ජනාධිපතිවරණයට විනයක් ඇති අපේක්ෂකයකු ඉදිරිපත් කරනවා යයි මහින්ද රාජපක්ෂ විපක්ෂ නායකවරයා මුල්කිරිගලදී කල සඳහන සම්බන්ධයෙන් ද සමාජ මාධ්‍ය ඔස්සේ විවිධ මත පලවෙමින් තිබේ.

එය දිනේෂ් ගුණවර්ධන ජනාධිපති අපේක්ෂකයා කිරීමට මහින්ද රාජපක්ෂ තුල ඇති ආශාව ප්‍රකාශය වීමක් ලෙස සමාජ මාධ්‍ය ඉඟි පළකරති.
newstube.lk

Exit mobile version