සජිත් පැරදුනේ ඇයි?

0
387

 

sajithtසජිත් පැරදුනේ ඇයි? යන පැනය ඇසීම ඉතාම අවශ්‍යය. මන්දයත් දිනන්න පහසුම ඉලක්කය තිබුණේ සජිත්ටය. ගෝඨාභයට තිබුණේ බරපතළ ඉලක්කයකි. එනම් එක්කෝ දෙමළ මුස්ලිම් ඡන්ද සෑහෙන ප්‍රමාණයක් ලබාගැනීම නැතහොත් සිංහල ඡන්ද තුළින්ම සියයට පණහ ඉක්මවා ලබාගැනීමයි.

දෙවන මනාපයයක් ගණින්නට ඉඩ නොතබා දිනන්න අවශ්‍ය ඡන්ද ලබාගැනීමට ගෝඨාභයට සිදුව තිබිණි. මන්ද යත් දෙවන මනාපයකට ගියොත් එහි වාසිය හිමිවන්නේ සජිත්ට නිසාය.

දෙමළ මුස්ලිම් ඡන්ද බහුතරය සජිත්ට ලැබෙන බව කල් තබාම පෙනෙන්නට තිබිණි. ඔහුට දිනන්නට කළ යුතුව තිබුණේ සිංහල බහුතර ප්‍රදේශවල ඡන්ද පදනම ඉහළ දමා ගැනීම පමණකි. එජාපයේ සම්ප්‍රදායික ඡන්ද පදනම රැකගැනීමත් ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් පෙනීසිටින බලවේගවල සහය ගොනු කරගැනීමත් එයට ප්‍රමාණවත්ව තිබිණි.

සජිත් වෙනුවෙන් කැරලි ගැසී මැති ඇමැතිවරුන් කීවේ ඔහුට ගම්මට්ටමෙන් බිම් මට්ටමෙන් සහය ඇති බවයි. ඔහු ගෙන ආවේ දිනන්න හැකි නායකායා වශයෙනි එසේ වුවද එය නිකම් පිම්බීමක් බව දැන් පෙනෙන කාරණයයි.

සමහරු දැන් කියන්නේ සජිත්ට කාලය මදි වු බවයි. නමුත් ඔහුම කියන පරිදි රටපුරා රැස්වීම් 154ක් ඇමතීමට ඔහුට කාලය තිබිණි. එනම් සම්පූර්ණ මැතිවරණ ප්‍රචාරක ව්‍යාපාරයක් කිරීමට කාලය තිබිණි. එබැවින් කාලය ප්‍රශ්නයක් වු බව කිව නොහැකිය.

අනෙක් අතට රනිල් පක්ෂය අපකීර්තියට පත්කොට තිබුණා කීවද එයද හේතුවක් නොවන්නේ රනිල්ගේ පව් භාරගන්නේ නැති බව සජිත් ජනතාවට දුන් පණිවිඩය නිසාය. තමන් බලයට පත්වු විට අලුත් අගමැති කෙනෙකු පත් කරන බව ඔහු කීවේ, එයින්ද ඡන්ද වැඩිවෙන බව සිතාගෙන විය හැකිය. නමුත් දැන් ප්‍රශ්න කළ යුතු වන්නේ එජාප පාක්ෂිකයින් අතරම යම් පිරිසක් සජිත්ගෙන් ඉවත් වන්නට එබඳු ප්‍රකාශ හේතුවුවාද යන්නයි.

සජිත් වෙනුවෙන් කැරලි ගැසූ කණ්ඩායම ඉදිරියට එන අවස්ථාව වනවිට එජා පෙරමුණ පැත්තෙන් ජනාධිපතිවරණයට එන අපේක්ෂකයා ලෙස පෙනෙන්නට තිබුණේ එක්කෝ රනිල් වික්‍රමසිංහ මහතාය. නැත්නම් කරු ජ යසූරිය මහතා වැනි වෙනත් අයෙකි. එලෙස කවුරු ආවත් එන්නේ යම් පෙරමුණක පොදු අපේක්ෂකයා වශ‌ෙයනි. ඒ සඳහා ප්‍රජාතන්ත්‍රවාදි ජනතා පෙරමුණ පිහිටුවන්නට සියල්ල සැලසුම් කොට තිබු අතර විරෝධය මතුවුයේ ඒ සඳහා ගිවිසුමට අත්සන් කිරීමට ගිය මොහොතේදීය.

එක්සත් ජාතික පක්ෂයේ රනිල් වික්‍රමසිංහ මහතා හා වෙනත් නායකයින් එක්ව ගොඩ නැගූ එම වැඩ පිළිවෙළ තුළින් බලාපොරොත්තු වුයේ කවුරුන් ඉදිරිපත් වුවත් ඔහු ප්‍රජාතන්ත්‍රවාදය සඳහා වු පෙරමුණක අපේක්ෂකයා වන බව හා එම පොදු වැඩපිළිවෙල නියෝජනය කරන්නෙකු වන බවයි. එම පොදු පෙරමුණට ශ්‍රී ලංනිපයේ කණ්ඩායමක් ද එක්වීමට නියමිතව තිබිණි.

සජිත් ප්‍රේමදාස මහතා ජනාධිපති අපේක්ෂකත්වය ගත් විට අනෙක් පක්ෂ ඔහුට සහය දුන්නද ඔහු කිසිවිටෙක තමා එම පෙරමුණක අපේක්ෂකයා ලෙස හෝ පොදු වැඩ පිළිවෙළක් වෙනුවෙන් කැපවුවකු ලෙස හෝ පෙනී සිටියේ නැත.  

සජිත්ගේ ජනාධිපතිවරණ ප්‍රචාරක ව්‍යාපාරය පුරා ඇසුනේ ‘සජිත්’ ‘සජිත්’ ‘සජිත්’ යන්නයි. ඔහු කතා කළේ ‘මගේ පියානෝ’ සහ ‘මම’ ගැනයි. හැම විටම කීවේ ‘මම’ ‘මම’ යන්නයි. අපි හෝ පක්ෂයක් හෝ පෙරමුණක් හෝ ඔහුට අදාළ වුයේ නැත.

මම පාසල් දරුවන්ට සපත්තු කුට්ටම් දෙක දෙක දෙනවා. දිවා ආහාරය දෙනවා. ගොවීන්ට පොහොර නොමිලේ දෙනවා. වතුකම්කරුවන්ට රුපියල් 1500ක දිනක වැටුප දෙනවා. ආදී මෙකී නොකී කතා බොහොමයක් ඔහු කීවේය. එලෙස ඔහු ගෙනගියේ තනි පුද්ගල ප්‍රතිරූපයක් ගොඩ නගන මැතිවරණ ව්‍යාපාරයකි.

මෙය සංස‍‍‍‍න්ධනය කළ යුත්තේ 2015 මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ඡන්ද ව්‍යාපාරය සමගිනි. එදා සිටියේ පොදු අපේක්ෂකයකි. ඔහුවටා පක්ෂ ගණනාවක පෙරමුණකි. දින සියයේ වැඩ පිළිවෙළ තිබිණි. එය පොදු වැඩ පිළිවෙළකි. එය මෛත්‍රීගේ සටනක් නොවීය. පොදු සටනක් වීය.

මෙවරද රනිල් ජනාධිපතිවරණය සඳහා සකස් කරගනිමින් සිටියේ එබඳු පොදු පෙරමුණකි. සජිත් කළේ එයට පයින් ගසා වොක්ෂ්වොල් වීදියේ තමන්ගේ කාර්යාලයක සිට තමන්ගේ මැතිවරණ ව්‍යාපාරයක් ගෙනයාමයි. අනෙක් පක්ෂවලට මෙන්ම සිවිල් සංවිධානවලයට ද සිදුව තිබුණේ සජිත්ගේ බස් එකේ ෆුට් බෝඩ් එකේ යන්නටය. සමහරුන්ට එහෙමත් ඉඩක් ලැබුණේ නැත.

අනෙක් අතට මහා රැස්වීම්, පුවත්පත් දැන්වීම් ආදිය මගින් ඉහළින් ගිය මැතිවරණ ප්‍රචාරයක් තිබුණද ජනතාව සමග සංවාදයක් මෙම මැතිවරණ ව්‍යාපාරය තුළ දක්නට ලැබුණේ නැත. ඒ නිසා සජිත්ට ඡන්දය දිය යුතු හේතුවක් මහජනයාට ඒත්තු ගන්නවන්නට නොහැකි වී ඇති බව ඡන්ද ප්‍රතිඵල මගින් හොඳින්ම පෙන්නුම් කරයි.

මෙම මැතිවරණයේදී පොදු පෙරමුණක් ලෙස කටයුතු කළේ ගොටාභය – මහින්ද කණ්ඩායමයි . ගෝටා තනිවම ගියේ නැත . මහින්දවද මාකට් කළේ ය . මගේ මැතිවරණ ප්‍රකාශනයක් ගැන ඔහු කිවේ නැත . ඔහු කිවේ විද්වතුන් එකතු වී හැදු අපගේ මැතිවරණ ප්‍රකාශනයක් ගැනයි . ඔවුන්ට දැන් එම සාමුහික උත්සාහයේ ප්‍රතිපල ලැබී ඇත්තේ බොහෝදෙනා නොසිතු මට්ටමකිනි .

ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ජයග්‍රහණයට යුද වීරයා ලෙස ගොඩ නැගූ ප්‍රතිරූපය, ආරක්ෂාව පිළිබඳ ජනතාවගේ හැඟීම මෙන්ම ජාතිවාදය ඇවිස්සීම ද ඇතුළු තවත් බොහෝ හේතු ඇත. ඒ කිසිවක් අඩු තක්සේරු කළ යුතු නැත. එසේ වුවද එජාපෙ පාර්ශවයේ මැතිවරණ ප්‍රචාරක ව්‍යාපාරය තුළින් එම ප්‍රශ්න බොහෝමයකට හොඳින් මුහුණදිය හැකිව තිබිණි. අඩු තරමින් මීට වඩා හොඳින් මුහුණදිය හැකිව තිබිණි. සිංහල බහුතරය සිටින පළාත්වල වුවද සියයට 26ට 28ට වැටෙන්නට ඉඩ නොදෙන්නට නොහැකිවීම ප්‍රශ්නයකි.

සජිත් හැර වෙනත් අයකු ආවානම් එජාපයට මෙම මැතිවරණය දිනන්නට ඉඩ තිබුණාද? නැද්ද, යන්න ස්ථිරව කීමට කිසිවකුට හැකියාවක් නැත. එසේ වුවද සජිත් කණ්ඩායම ගෙනගිය මැතිවරණ ප්‍රචාරක ව්‍යාපාරයෙන් වැඩේ ඉතාම නරක තත්ත්වයට පත් කරගත් බව නම් පැහැදිලි කරුණකි.

අවසානයේ දැන් සිදුව තිබෙන්නේ සජිතුත් විනාශ වී එජාපයත් විනාශවීමයි. එසේ වුවද මේ සිදුවු වරද හරියට තේරුම් ගතහොත් ඉදිරි මහ වැතිවරණයේ දී වන විනාශය අවම කරගත හැකිවනු ඇත.

සී.ජේ. අමරතුංග – යුක්තිය