සත්ව ඝාතකයින්ට වසර දෙකක හෝ පහක බරපතල වැඩ සහිත සිර දඩුවම් !

0
242

Dog-Nigambo-copy-640x271සුරතල් සතුන් ඇතුලු සත්ත්ව ඝාතනයන් සඳහා වරදකරුවන් වන පුද්ගලයන්ට 1907 අංක 13 දරණ සත්ත්ව හිංසා වැළැක්වීමේ අඥා පනත අනුව අදට සාපේක්ෂව නියම කර ඇත්තේ ඉතා සුළු දඬුවමක් බව පැහැදිලි කරුණක්. මෙම පනත යාවත්කාලීන කිරීම සඳහා පනත් කෙටුම්පත් කිහිපයක්ම ඉදිරිපත්ව ඇතත් මේ දක්වා එම පනත් කෙටුම්පත් පාර්ලිමේන්තුව විසින් සම්මත කොට නොමැතිවීම නිසා ඒවායේ අඩංගු ප්‍රතිපාදන තවමත් අපේ රටේ නීතියක් බවට පත්ව නැහැ. එම නිසා බොහෝවිට එවන් ඝාතන සිදුකරන පුද්ගලයන් ඉතා සුලු දඩ මුදලක් ගෙවා නිදහස්ව ගොස් ඇති අයුරු පසුගිය කාළයේ සිදුවූ සිදුවීම් ආශ්‍රයෙන් දැකගැනීමට ලැබුණා.
මෙවන් සිදුවීම් පිළිබඳව අදාල පුද්ගලයාට එරෙහිව අපරාධ නඩුවක් ගොනුකරන්නේ පොලීසිය මගිනුයි. එහිදී ඔවුන් චෝදනා ගොනුකරන්නේ කවර පනතේ කවර ප්‍රතිපාදන උල්ලංගනය කිරීම පිළිබඳව ද යන්න, අදාල චෝදනා ද සමග අධිකරණයට දන්වා සිටිනවා. ඒ අනුව තමා අධිකරණය අදාල සාක්ෂි විභාග කොට වරදකරු බවට සාධාරණ සැකයකින් තොරව ඔප්පු කළහොත් එම චූදිතයා වැරදිකරු කොට අදාල පනතේ දක්වා ඇති දඬුවම නියම කරන්නේ.

සත්ත්ව හිංසාව සහ ඝාතනය සඳහා 1907 අංක 13 පනතට අමතරව අපේ රටේ දණ්ඩනීති සංග්‍රහයේ ද දඬුවම් නියම කොට තියෙනවා. මේ අනුව දණ්ඩනීති සංග්‍රහයේ 411 සහ 412 වගන්ති වල අදාල ප්‍රතිපාදන දක්වා තියෙනවා දණ්ඩනීති සංග්‍රහයේ 411 වගන්තියේ දැක්වෙන්නේ “රුපියල් දහයක හෝ ඊට වැඩි ගණනක වටිනාකම ඇති සතෙකු හෝ සතුන් මැරීමෙන් හෝ වස දීමෙන් හෝ අංගවිකල කිරීමෙන් හෝ අප්‍රයෝජනවත් කිරීමෙන් අනර්ථය සිදුකරන තැනැත්තෙකුට අවුරුදු දෙක දක්වා වූ කාලයක දෙයාකාරයෙන් එක් ආකාරයක බන්ධනාගාර ගතකිරීමකින් හෝ දඩයකින් හෝ එකී දඬුවම් දෙකින්ම දඬුවම් කළ යුතුය” ලෙසයි.
එහි 412 වගන්තියේ දැක්වෙන්නේ “වටිනාකම කුමක් වුවද ,යම් ඇතකු ඔටුවකු,අශ්වයකු,බූරුවෙකු,කොටළුවකු,මීහරකකු,ගොනෙකු, එළදෙනක හෝ ගවයෙකු හෝ රුපියල් පනහක හෝ ඊට වැඩි ගණනක වටිනාකම ඇති වෙනත් සතෙකු මැරීමෙන් හෝ වස දීමෙන් හෝ අංග විකල කිරීමෙන් හෝ අප්‍රයෝජනවත් කිරීමෙන් යමෙකු අනර්ථයක් කළහොත් ඔහුට අවුරුදු පහ දක්වා කාලයක,දෙයාකාරයෙන් එක් ආකාරයක බන්ධනාගාරගත කිරීමකින් හෝ දඩයකින් හෝ එකී දඬුවම් දෙකින්ම දඬුවම් කළ යුතුය” ලෙසයි.
මේ අනුව චෝදනා එල්ලකරන පනතේ ප්‍රතිපාදන අනුව දඬුවම වෙනස් වන බව පෙනී යනවා. යම් හෙයකින් පොලීසිය විසින් සුළු දඬුවමක් සහිත පනතක ප්‍රතිපාදන ඔස්සේ පමණක් එවන් චූදිතයෙකුට චෝදනා එල්ලකොට තිබේ නම් අගතියට පත්වූ පාර්ශවයට නඩු විභාගයේදී ඒ සම්බන්ධව ගරු අධිකරණයට කරුණු දැක්වීමේ හැකියාව පවතිනවා. මෙය අප රටේ සත්ත්ව ලෝලීන් අවිහිංසාවාදීන්, සත්ත්ව හිමිකම් ක්‍රියාධරයන්,විශේෂයෙන් සිහිතබාගත යුත්තක්.


නීතිඥ,වෛද්‍ය පාලිත බණ්ඩාර සුබසිංහ