සමබිම සම්මන්ත්‍රණය කඩාකප්පල් කිරිම පිටුපස අම්පාර නගරාධිපතිගේ හෙංචයියෝ

0
36

ganaya 1ganaya 2ජූලි මස 14 වන දින අම්පාර ටෙරල් ශාලාවේ පැවැත්වෙමින් තිබූ ‘උතුරට දුන්නොත් නැගෙනහිරට නැතිවෙන්නේ මොනවාද?’ යන සම්මන්ත්‍රණයට කඩා වැදී එය නවත්වන ලෙස බලකරමින් බාධාකාරී ලෙස හසිරුණු සංවිධානාත්මක පිරිස අම්පාර නගරාධිපති ඉන්දික නලින් ජයවික්‍රමගේ හෙංචයියන් පිරිසක් බව දැන් හෙළිදරව් වී තිබේ.

මෙම සම්මන්ත්‍රණය ‘සමබිම’ පුවත්පත විසින් දිස්ත්‍රික් මට්ටමෙන් පවත්වනු ලබන සම්මන්ත්‍රණ මාලාවක 11 වැන්න ලෙස අම්පාර නගරයේදී පැවැත්වීමට කටයුතු යොදා තිබිණි.

සම්මන්ත්‍රණය පිළිබඳ සංවිධාන කටයුතු කරන ලද්දෙ සමබිම ලේඛකයෙකු මෙන්ම ප්‍රකට සමාජ ක්‍රියාධරයෙකුද වන ඥානවීර දිසානායක මහතාය. ඔහු අම්පාර දිස්ත්‍රික්කයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රබලයෙකු මෙන්ම නැගෙනහිර පලාත් සභවේ අධ්‍යාපන සහ ප්‍රවාහන ඇමැති පදවිය හොබවන විමලවීර දිසානායක මහතාගේ වැඩිමහල් සොහොයුරාය.

මෙම සම්මන්ත්‍රණය පැවැත්වෙන දිනය සහ ස්ථානය පිළිබඳවත් සංවිධානය කරන්නේ ‘සමබිම’ පුවත්පත විසින් බව අම්පාර දිස්ත්‍රික්කය පුරාම පෝස්ටර් මගින් පුළුල් ප්‍රචාරයක් ලබා දී තිබුණු අතර ‘රාවය’ පුවත්පතේ පළ කරන ලද දැන්වීම් මගින්ද ඒ බව නිවේදනය කොට තිබිණි.

රැස්වීම සඳහා වෙන්කොට තිබූ ශාලාව ඒ සඳහා ලබාදීමට නොහැකි බව ශාලාවේ හිමිකරුවන් විසින් සංවිධාන කටයුතු සිදු කළ ඥානවීර දිසානායක මහතාට ජූලි 11 වනදා දුරකථන මගින් දැනුම් දී තිබුණු අතර දිසානායක මහතා ඒ පිළිබඳව විරෝධය පලකොට තිබේ. මෙහිදී මේ පිළිබඳව පොලිසිය විසින් විමසන බැවින් පොලිසිය දැනුම්වත් කොට අවසර ලබා ගන්නේ නම් රැස්වීම පවැත්වීම පිළිබඳව තමාගේ විරුද්ධත්වයක් නැති බව ශාලා හිමිකරු පවසා ඇත්තේ නැත්නම් තමන්ගේ ව්‍යාපාරික කටයුතු සඳහා දුෂ්කරතාවයන් ඇතිවන බව පවසමිනි. මහජන සම්මන්ත්‍රණයක් පැවැත්වීම පුරවැසි අයිතියක් බවත්, ඒ පිළිබඳව පොලිසියෙන් අවසර ගත යුතු නැති බවත් පවසා ඇති දිසානායක මහතා ඉන් අනතුරුව අම්පාර පොලිසියට කථා කොට සම්මන්ත්‍රනය පිළිබඳව දැනුවත් කොට ඇත.

සම්මන්ත්‍රණය ආරම්භවී පළමු කථිකයා ලෙස ඥානවීර දිසානායක මහතා කථා කිරීමට සූදානම් වත්ම සභාවේ සිටි අම්පාරේ සන්තින්ද්‍රිය නම් ස්වාමීන්වහන්සේ මෙම සම්මන්ත්‍රණය අම්පාරේ පැවැත්වීමට ඉඩදිය නොහැකි බව ප්‍රකාශ කොට ඇත. රැස්වීම සංවිධානය කරන ලද්දේ ‘සමබිම’ පුවත්පත විසින් බව එම ශාලාවේ තිබූ ප්‍රකාශන වලින්ද පැහැදිලිව පෙනෙද්දී ස්වාමීන්වහන්සේ දිගටම ප්‍රකාශ කොට ඇත්තේ මෙම සම්මන්ත්‍රණය සංවිධානය කොට ඇත්තේ ආචාර්ය පාක්‍යසෝති සරවනමුත්තු මහතාගේ සංවිධානය විසින් බවයි.

එම බාධා කිරීම් මධ්‍යයේ සම්මන්ත්‍රණය ඉදිරියට ගෙන යාමට සංවිධායකයන් කටයුතු කරගෙන යන අතරතුර දුරකථන පණිවිඩ මගින් ඒ ස්ථානයට කැඳවනු ලැබූ සංවිධානාත්මක පිරිසක් විසින් අම්පාර නගරයේ ‘බලය බෙදීම’ ගැන කතා කිරීමට ඉඩ නොදෙන බව ප්‍රකාශ කරමින් සම්මන්ත්‍රණය නවතන ලෙස බලපෑම් කොට ඇත. සම්මන්ත්‍රණයට සහභාගිව සිටි කාන්තාවක ඇතුළු අසන්නන් තිදෙනෙක් සම්මන්ත්‍රණ පවත්වාගෙන යාමට අවශ්‍ය බව කියා සිටියද ස්වාමීන්වහන්සේ ඇතුළු මැර කණ්ඩායම ඔවුන්ට තර්ජනාත්මක සහ අපහාසාත්මක ලෙස අමතමින් මෙම සම්මන්ත්‍රණයට සවන්දීමෙන් ඔවුන් නොමග යාහැකි බැවින් තමන් මෙම සම්මන්ත්‍රණය වළක්වන බව ප්‍රකාශ කොට ඇත.

මෙම රැස්වීම කඩාවැදුණු පිරිස පිළිබඳව බලවත් අප්‍රසාදයෙන් කථා කළ අම්පාර නගර වැසියන් පිරිසක් ප්‍රකාශ කළේ මෙම පිරිස පාලක එක්සත් ජනතා නිදහස් සන්ධානයේ අම්පාර නගරාධිපති ඉන්දික නලින් ජයවික්‍රමගේ හෙංචයියන් පිරිසක් බවයි.

සම්මන්ත්‍රණයට බාධාකිරීම පැයක පමණ කාලයක් පැවතුණද ශාලාව තුළ සිටි පොලිසියේ රහස් ඔත්තු සේවා නිලධාරීන්ද, ශාලාව අසල රැඳී සිටි පොලිස් නිලධාරීන් හෝ තත්ත්වය පාලනය කොට රැස්වීමට ආරක්ෂාව සැපයීමට කිසිදු මැදිහත්වීමක් නොකිරීම වනාහි මෙම මැර කණ්ඩායම විසින් අදහස් ප්‍රකාශ කිරීමේ නිදහසට සහ රැස්වීමේ නිදහසට කරන ලද බාධාකිරීම් දේශපාලන තන්ත්‍රයේ සහ රාජ්‍ය අනුග්‍රහය ඇතිව සිදුවූ ක්‍රියා බවට පැහැදිලි සාක්ෂි වන බවත් සංවිධායකයෝ පවසති.

මෙම කඩාකප්පල්කාරී ක්‍රියාවට ආණ්ඩුවේ ඇති සබඳතාවය හොඳින් පැහැදිලි කරන ප්‍රවෘත්තියක් එදින රාත්‍රියේ ස්වාධීන රූපවාහිනී සේවයේ හෙවත් අයි ටී එන් චැනලයේ ප්‍රවෘත්ති ප්‍රකාශයේදී දක්නට ලැබිණි. එහිදී තම ප්‍රධාන සිරස්තලය ලෙස ඔවුන් වාර්තා කළේ මෙම සිදුවීම වන අතර පාක්‍යසෝති සරවනමුත්තුගේ විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රය විසින් සංවිධානය කළ සම්මන්ත්‍රණයක් ස්වාමීන්වහන්සේ නමකගේ සහ ප්‍රදේශවාසීන්ගේ විරෝධය නිසා නවත්වා දැමීමට සිදුවූ බව එම ප්‍රවෘත්ති මගින් විකාශය කරන ලදී.

මෙවැනි බියගුළු ප්‍රහාර මගින් තම නොසැලෙන බවත් මෙම සම්මන්ත්‍රණය කඩා කප්පල් කිරීම පිළිබඳව අම්පාර නගරාධිපත් වගකිවයුතු බවත් ප්‍රකාශ කරන ‘සමබිම’ සංස්කාරක මණ්ඩලයේ නීතිඥ සුදර්ශන ගුණවර්ධන තම සම්මන්ත්‍රණ මාලාව දිගටම පවත්වන බව ප්‍රකාශ කළේය.

උපුටා ගැනිම- සමබිම වෙබ් අඩවියෙනි