සාම්ප්‍රදායික දේශීය කොළ කැඳ පානයට නව්‍යකරණය එක් කළ තරුණ ව්‍යාපාරිකයා

0
108


ඔහු මෙරට සාම්ප්‍රදායික කොළ කැඳ පානය නව්‍යකරණයට ලක් කරමින් එය දේශීය ආහාර සංස්කෘතියේ තවත් එක අංගයක් ලෙස ප්‍රවර්ධනය කරන්නට හා ප්‍රචලිත කරන්නට දායක වු තරුණ ව්‍යාපාරිකයෙකු ලෙසද හැඳින්විය හැකිය. එලෙසම තම ව්‍යාපාර සුළු පරිමාණයෙන් ආරම්භ කර සැලකිය යුතු ස්ථාවරත්වයකට ගෙන ඒමට සමත් වූ ව්‍යවසායකයෙකු ලෙසද ඔහුව හඳුන්වා දිය හැක .වසර 15 කට වැඩි කාලයක් මීගමුව නගරය තුළ ව්‍යාපාරිකයෙකු ලෙස කටයුතු කරන ඔහු අද වන විට සුවිශේෂී ලෙස සාර්ථකත්වයට පත් වූ ව්‍යාපාරිකයකු ලෙසද හඳුන්වා දිය හැක. ඔහුගේ ව්‍යාපාරික තොරතුරු සහ ඔහුගේ ව්‍යාපාරික ඥානය මෙන්ම ව්‍යාපාරික අත්දැකීම් ද පදනම් කරගනිමින් ඔහු සමගින් අප සිදු කළ කෙටි පිළිසඳර පහත පළවේ.

මුලින්ම ඔබේ පෞද්ගලික  විස්තර ටිකක් දැනගන්න කැමතියි ? .

          මම,  අධිකාරි මුදියන්සේලාගේ ප්‍රියා නිරොෂන් .මගේ උපන් ගම ආරච්චිකට්ටුව.   මගේ පියා ගොවියෙක්. කුඹුරු ගොවිතැන වගේම ගොඩ ගොවිතැනුත් කලා. මගේ මව නම් රැකියාවක් කෙරුවේ නැහැ. මගේ පවුලේ  හතර දෙනයි. මම පවුලේ දෙවනියා. මට වැඩිමල් සහෝදරියක් ඉන්නවා. ඒත් එක්කම මට බාල සහෝදරයෙකුයි සහෝදරියකුත් ඉන්නවා.
               මම විවාහකයි. මේ වෙද්දී මට පුතාලා දෙන්නෙක් ඉන්නවා. මගේ බිරිඳ කුමුදු ප්‍රියංකා. ඇය තමයි දැන් මගේ ව්‍යාපාරික වැඩකටයුතුවල සහයිකාව හැටියට ඉන්නේ.
                 මම පාසල් ගියේ,ආරච්චකට්ටුවේ කරුක්කුලිය, ජයපාල මහා විද්‍යාලයට. මම උසස් පෙළ දක්වා එතනින් ඉගෙන ගත්තේ. ඊට පස්සේ මම හලාවත, මෛත්‍රී හාර්ඩ් ලයින් කියන ආයතනයේ කළමනාකරුවෙක් විදිහට රැකියාවක් කෙරුවා.
        
            කළමනාකරුවෙක් විදිහට වෘත්තිය ජීවිතය ආරම්භ කරන ඔබ කොහොමද ව්‍යාපාරිකයකු බවට පත්වුණේ ?

           .  මම  කළමනාකාරුවෙක් විදිහට රැකියාව කරගෙන ඉන්න අතරතුරේදී ,ඇත්තටම මට හිතුනා, මගේම කියල ව්‍යාපාරයක් පටන් ගන්න ඕනේ කියලා. ඉතින් විශාල  මුදල් ප්‍රමාණයක් වැය කරලා ව්‍යාපාරයක් ආරම්භ නොකර මම කල්පනා කෙරුවේ  පොඩියට ආරම්භ කරලා , කරගෙන  පුළුවන් ව්‍යාපාරයක් . එහෙම හිතලා තමයි මම , බොහොම පොඩියට ” අග්‍රසර ”  කියලා කජු ව්‍යාපාරයක් පටන් ගත්තේ. ඒක මම ආරම්භ කෙරුවේ මීගමුවේ. 2009 වසරේ තමයි මම මුලින්ම මීගමුවට ආවෙි.

එතකොට ඔබේ පදිංචිය ආරච්චිකට්ටුව. පොඩියට පටන් ගත්තු ව්‍යාපාරයක්  කරගෙන යන්න ඔබ ආරච්චිකට්ටුවේ ඉඳලා මීගමුව නගරයටම එන්න තීරණය කළේ ඇයි ?.

    මම කෙරුවේ, අපේ ආරච්චුකට්ටුව, ආනමඩුව වගේ ප්‍රදේශවල හැදෙන හොඳ කජු, ඉතාම පිරිසිදුවට, සෞඛ්‍යාරක්ෂිතව ,විශේෂයෙන්ම කුඩා පැකට් විදිහට ඇසුරුම් කරලා  අලෙවි කරන එක.ඉතින් අද වගේම, ඒ කාලෙත් කජු  කියන දේ මිල අධිකයි. ඉතින් මට අවශ්‍ය වුණා මේ මිල අධික දේ කිසිදු පැකිලීමක් නැතිව මිලදී අරගන්න පරිභෝජනයය කරන්න පුළුවන් අය ඉන්න ප්‍රදේශයක් තෝරා ගන්න එක. ඉතින් ඒකෙදි මම තෝරගත්තේ මීගමුව නගරය. මොකද මම රැකියාව කරන අතරතුරේදී ,සමහර අවස්ථාවලදී මීගමුවට යන්න එන්න වුණා.  සාමාන්‍යයෙන් මගේ ගතියක් තියෙනවා, මම යන එන තැන යම් විශේෂත්වයක් තියෙනවා නම්,  ඒ තැන  ගැන සොයන්න, නිරීක්ෂණය කරන්න මගේ ලොකු උනන්දුවක් තියෙනවා. එතනදි මම දැක්කේ මීගමුව නගරයත් හලාවත නගරයට බොහෝ දුරට සමානයි. හලාවත නගරයේ සිංහල දෙමළ මුස්ලිම් ජාතීන් තුනම කිසිම ගැටුමක් වාදයක් බේදයක් නැතුව ජීවත් වෙනවා. මීගමුව නගරයේත් සියලු ජාතීන් සියලු ආගමිකයින් වාද භේද නැතුව එකමුතුකමින් සහෝදරත්වයෙන් ජීවත් වෙනවා. ඒත් එක්කම මීගමුව නගරය ගැන මගේ නිරීක්ෂණයට ලක් වුණු ප්‍රධානතම කාරණාව තමයි, මීගමුවේ ජනතාව අතර තිබුණු මේ ආහාර සංස්කෘතිය. හොඳ ආහාරයක් එහෙම නැත්නම් ඔවුන්ගේ ප්‍රියතම ආහාරයක් ගන්න ලොකු මුදලක් ගියත්, ඒ මුදල වැය කරලා යම් දෙයක් මිලදී ගන්න කිසිදු පැකිලීමක් නැතුව ඉදිරිපත් වන පිරිසක්  තමයි මීගමුවේ වැඩිපුරම ඉන්නේ. කෙටියෙන් කිව්වොත් මීගමේ වැඩිපුරම ඉන්නේ කෑමට බීමට ලෝබ කමක් නැති පිරිසක්.  ඉතින් මම හිතුවා මගේ මේ ව්‍යාපාරය පටන් ගන්න හොඳම තැන මීගමුව නගරය කියලා. එහෙම හිතාගෙන තමයි මම මේ නගරයට ආරච්චකට්ටු ඉඳලා ආවේ. පළමු මාස තුන මම ආරච්චිකට්ටුවේ ඉඳලා හැමදාම මගේ යතුරුපැදියෙන් කජු පැකට් කරලා ගෙනල්ලා මීගමුව නගරයේ ජනතාවට අලෙවි කෙරුවා. මාස තුනක් විතර ගියාට පස්සේ තමයි මම තීරණය කෙරුවේ මගේ බිරිඳයි, දරුවො දෙන්නයි එක්කගෙන ඇවිල්ලා  මීගමුවේ පදිංචි වුනොත් හොඳයි කියලා. ඉතින් පසුව මම කුලී පදනමට ගෙයක් හොයා ගෙන මීගමුවේ පදිංචි වුණා. ක්‍රම ක්‍රමයෙන් මීගමුව  නගරයේ මගේ කජු ව්‍යාපාරය සාර්ථක වුණා.

දැන් එහෙම සාර්ථක වී ගෙන ආපු කජු ව්‍යාපාරය නවත්වලා ඔබ වෙනත් ව්‍යාපාරයක් සඳහා යොමු වෙනවා. ඇයි එහෙම වුනේ ?.
                     ඇත්තටම මම මේ කජු ව්‍යාපාරය කරන අතරේම තමයි  හර්බල් ප්ලස් ඖෂධීය කොළ කැඳ පානය මීගමුවේ ජනතාවට හඳුන්වා දෙන්නේ. කජු ව්‍යාපාරය මං මුලදි මගේ යතුරුපැදියේ තියාගෙන මම කෙරුවේ.  ඊට පස්සේ මම ඕක තීරෝද රථයක කෙරුවා. පස්සේ මම කුඩා වෑන් රථයක ඔය ව්‍යාපාරය කෙරුවා. එහෙම කරගෙන යද්දි මට අවශ්‍ය වුණා , මගේ මේ ව්‍යාපාරය හොඳ තැනක, ඒ කියන්නේ ස්ථිර ව්‍යාපාරික ස්ථානයක මේක කරගෙන යන්න.

        ඔය අතරෙදි  මට තේරුන දෙයක් තමයි, අපි මේ අනුගමනය කරන අපේ මේ ආහාර රටාව ඇත්තටම වැරදියි කියන එක. ඒක අපිට ගැලපෙන්නේ නෑ කියන එක. මට ගොඩක් කල් ඉඳලා තේරුම් ගිහින් තිබුණේ. මොකද මම මේ මීගමුවට ආපු කාලය තුළ මට හමුවුණු සහ මට ඇසුරු කරන්න ලැබුණු  පිරිස් අතරේ ඒ යන ආහාර රටාවට අකමැති පිරිසක් ඉන්නවා කියන එක මට තේරුම් ගියා. ඒවාගේම ඒ  පිරිසට ලොකු අවශ්‍යතාවයක් තිබුණා, ශරීර සුවතාවය ආරක්ෂාවෙන  ආහාර රටාවකට,  නැඹුරු වෙන්න, එහෙම ආහාර පාන වර්ග මිලදී ගන්න . නමුත් ඒකට මේ මීගමුව ඇතුලේ අවස්ථාවක් තිබුණෙ   නෑ, කියලා මම තේරුම් ගත්තා .ඒ අනුව තමයි මම ” හර්බල්  ප්ලස් ” කියන ඖෂධීය කොළ කැඳ පානය මීගමුට හඳුන්වා දුන්නේ.

ඔබ මීගමුවට හඳුන්වා දුන් හර්බල් ප්ලස් ඖෂධීය කොළ කැඳ පානය  ,සාම්ප්‍රදායික කොළ කඳ පානයකට එහා ගිය එකක්. ඒ සඳහා අවශ්‍ය වුනු දැනුම සහ උපදෙස් ඔබට ලැබුණේ කොහොමද ?

            මං මුලිනුත් කිව්වනේ මම ” අග්‍රසර ” කජු ව්‍යාපාරය කරන අතරතුරේම තමයි මේ හර්බල් ප්ලස් කොළ කැඳ ව්‍යාපාරය පටන් ගත්තේ, ඒ කියන්නේ 2016 වසරේ. මම මීගමුවට ඇවිල්ලා කජු ව්‍යාපාරය කරගෙන යද්දී  මට ඇසුරු කරන්න ලැබුණු විශේෂිත කීහිප දෙනෙක් හිටියා. ඒ අතරින් කෙනෙක් ඔයා. තවත් කෙනෙක් චන්දික . තව කෙනෙක් තමයි සුමුදු පතිරාජ කියන ගුරු මහත්මයා.. සුමුදු සර් එක්ක මම ගනුදෙනු කරද්දී දැක්ක දෙයක් තමයි, එයා,  එයාගේ ශරීරය නඩත්තු කරන විදිහ. සීනි පාවිච්චි කරන්නේ නැහැ. බිස්කට් එකක් වත් කන්නේ නෑ . ඔහු වෙනස්ම විදිහකට තමයි ඔහුගේ ශරීරය නඩත්තු කෙරුවේ.  මම ඔහුගේ ක්‍රමවේදය යම් විදිහකට ආදර්ශයට ගත්තා.ඉතින් මම මුලින්ම ඔහුට කිව්වා මෙහෙම හර්බල්   ප්ලස් කියලා ව්‍යාපාරයක් පටන් ගන්න අදහසක් තියෙනවා කියලා. ඒ අවස්ථාවේදී ඔහු මට හඳුන්වා දුන්නා සුසිල් අයියා කියලා කෙනෙක්ව.
              සුසිල් අයියා කියන්නේ මේ ඖෂධීය ශාකයන් ගැන විශේෂ ආකාරයෙන් විශාල දැනුමක් තියෙන පුද්ගලයෙක්. දැනුම විතරක් නෙමෙයි ඔහු ඒ ශාක වලට පුදුමාකාර ලැදියාවක් ආදරයක් තියෙන කෙනෙක්. අපිට කොච්චර දැනුමක් අවබෝධයක් තිබුණත් වැඩක් නෑ, අපි ඒ දෙයට ආදරයක් දක්වන්නේ නැත්නම්. සුසිල් අය්යා කියන්නේ ඊට වඩා හාත්පසින්ම වෙනස් චරිතයක්. සුසිල් අයියගෙන් මම කොළ කැඳ ගැන, ඖෂධීය ශාකයන් ගැන විශාල දැනුමක් ලබා ගත්තා.ඒත් එක්කම ගමේ පාරම්පරික වෙද මහත්වරුන්ගෙන්, ආයුර්වේද වෛද්‍යවරුන්ගෙන්  මම විශාල දැනුමක් ලබා ගත්තා. සමහර අවස්ථාවලදී  හැප්පිලිත් තිබුණා.මොකද පාරම්පරික වෙද මහත්තයෙක් කියන දේවල් අයුරුවේද වෛද්‍යවරයෙක් පිළිගන්නේ නෑ.ඒත් එක්කම මම අන්තර්ජාලය තුළින් ද මේ සම්බන්ධව  විශේෂයෙන් මා නොදන්න දේවල් ගැන විශාල දැනුමක් ලබා ගත්තා. ඒත් එක්කම මං මේ ව්‍යාපාරය කරගෙන යද්දී මට හමුවෙන පාරිභෝගිකයන්ගෙනුත් මම සමහර දේවල් ගැන දැනුවක් වුනා. 



හර්බල් ප්ලස් ඖෂධීය කොළ කැඳ පානය පාරිභෝගිකයාට පිළිගැන්වීමේදී යම් විශේෂයක් දකිනවා. ඒ ගැන කෙටියෙන් කිව්වොත්.

     කොලකැඳ කියන දේ සාම්ප්‍රදායික පානයක්.මං හිතන්නේ අපි ඉපදෙන්නත් කලින් සිට ඒක මේ ලංකාවේ තිබුණු දෙයක්. ඉතිං අපිට අවශ්‍ය වුණා හර්බල් ප්ලස් කියන මේ ඖෂධීය කොළ කඳ පානය පාරිභෝගිකයාට පිළිගන්වන ක්‍රමවේදය යම් නව්‍යකරණයකට ලක් කරන්න. මමයි මගේ බිරිඳ කුමුදු ප්‍රියංකායි , අපි දෙන්නා සාකච්ඡා කරලා තමයි.  හර්බප් ප්ලස් කොලකැඳ පානය පිළිගැන්වීම නව්‍යකරණයකට ලක් කරන්නේ. ඒ අනුව තමයි අපි විශේෂිත පරිසර හිතකාමී බඳුනක මේ හර්බල් ප්ලස් කොළ කඳ පානය පිළිගැන්වීම සිදුකරන්නේ. කැමතිනම් ඒක ඕන තැනකට අරන් ගිහින් පානය කරන්නත් පුළුවන්. සාමාන්‍යයෙන් මේ බඳුන එක වරක් පමණයි භාවිතා කරන්න පුළුවන්. මෙය දිරා යන සුළු නිසා මෙය පරිසර හිතකාමී බඳුනක්. ඒ වගේම හර්බල් ප්ලාස් කොලකැඳ පානය මෙවැනි බඳුනක පිළිගන්වන නිසා එහි පිරිසිදුකම හා සෞඛ්‍ය ආරක්ෂිත බව සම්පූර්ණයෙන්ම ආරක්ෂා වෙනවා .

දැන් මීගමුව නගරයේ සහ නගරය ආශ්‍රිතව ගත්තහම කොළ කැඳ අලෙවි කරන තැන් 20 කට අධික ප්‍රමාණයක් තියෙනවා.  ඒ තැනකින් කොළ කැඳ එකක් පානය කරනවාට වඩා ඔබ අලෙවි කරන හර්බල් ප්ලස් කොල කැඳ එකක තියෙන විශේෂතාවය මොකක්ද ?

හර්බල් ප්ලස් කොළ කැඳ එකක් බොන්න එන කෙනෙකුට ලැබෙන පළමුවැනිම දේ තමයි විශ්වාසය. ඒ කියන්නේ මම මේ බොන්නේ නියම කොළ කැඳ එකක් කියන විශ්වාසය. මොකද මම කජු නිෂ්පාදන අලෙවි කරන කාලෙත් මම මීගමුවේ  ජනතාවත් එක්ක ලොකු විශ්වාසයක් ගොඩනගාගෙන තිබුණා, මම දෙන්නේ හොඳ දෙයක් කියලා. ඉතින් මේ නගරයේ බොහෝ දෙනෙකුට ඒ විශ්වාසය තාම තියෙනවා මම ගැන. ඒ නිසා ඒ විශ්වාසය මම රකින බවත් මීගමුවේ බොහෝ දෙනෙකු දන්නවා.
          දැන් නිදසුනක් විදිහට ගත්තොත් මම ළඟ තියෙන කොල්ලු කැඳ එක, ඒකේ තියෙන්නේ කොල්ලු පමණයි. කොල්ලු කියන දේ කොතරම් මිල අධික වුණත් ,මම ඒ සඳහා හාල් පිටි වගේ ආදේශක යොදන්නේ නෑ. වැල්පෙනෙල කැඳ එක ගත්තොත්, ඒකේ තියෙන්නෙ වැල්පෙනෙල විතරමයි. කෘතිම රසකාරක, වර්ණක මම කවදාවත් යොදාගන්නේ නෑ. ඒ වෙනුවට මම වෙනත් ආදේශක යොදා ගන්නෙත් නෑ. ඉතින්  මෙන්න මේ නිසා හර්බල් ප්ලස් කොළ කැඳ පානයක ගුණාත්මක භාවය ඉතා ඉහළයි.
        අනිත් එක තමයි මගේ පිරිසිදුභාවය සහ සෞංඛ්‍යාරක්ෂිතභාවය.  හර්බල් ප්ලස් කොළ කැඳ පානයට ඖෂධීය ශාක ශාර සැකසීමේ සිට , එය පාරිභෝගිකයාට පිළිගැන්වීම දක්වාම මම පුදුමාකාර විදිහට මේ නිෂ්පාදනයේ පිරිසිදුභාවය ආරක්ෂා කිරීමට කටයුතු කරනවා. මේ පිරිසිදුභාවය ආරක්ෂා කර ගැනීමට  මම මගේ ගෙදර අයත් එක්කත් විශේෂයෙන්ම සේවක සේවිකාවන් එක්කත් විවිධ විදිහට  ගැටෙන අවස්ථා තියෙනවා. ඉතින් මම, මේ නිෂ්පාදන ක්‍රියාවලියේදී  මේ පිරිසිදුභාවය  ආරක්ෂා කරගන්න අනුගමනය කරන සමහර ක්‍රිමවේදයන් නිසා බොහෝ සේවකයන් මා සමග දීර්ඝ කාලයක් රැඳෙන්නේ නෑ. ඒ නිසා මගේ මේ ව්‍යාපාරය තුළ පිරිසිදුකම සහ සෞඛ්‍යාරක්ෂිත බව කියන්නේ ප්‍රධාන අංගයක්. ඉතින් ඒක පාරිභෝගිකයාට ද ලැබෙන විශේෂිත දෙයක්.
               අනිත් දේ තමයි සාමාන්‍යයෙන් අපි මෙතෙක් කොළ කැඳ කියලා පානය කරන්නේ, වැල් පෙනෙල එහෙම නැත්නම් තවත් ශාකසාර දෙකක් තුනක් පමණයි. නමුත් මේ herbal plus කොළ කඳ පානයක් ගත්තොත් වර්ග හත අටක්ම සහ ඊටත්  වැඩිය තියෙනවා,කැමති ශාකසාරයන් කිහිපක්ම හෝ මිශ්‍ර කරගෙන, එහෙම නැත්නම් තමන්ගේ රුචිකත්වය අනුව එක් ශාක ශාරයකින් සමන්විත වන කොල කැඳ පානයක් වුනත් පාරිභෝගිකයාට ලබාගන්න පුළුවන්.  අනික තමයි මම කලිනුත් කියපු විදිහට මේ හර්බල් ප්ලස් කොළ කැඳ පානය පාරිභෝගිකයාට ආරක්ෂිතව  පිරිසිදුව හා පරිසර හිතකාමීව පිළිගැන්වීමේ ක්‍රමවේදය.
        මෙන්න මේ හේතු නිසා තමයි, හර්බර්ල් ප්ලස්  කොළ කැඳ පානයට බොහෝ දෙනෙක් ආකර්ෂණය වෙන්නේ, කියන එකයි මගේ අදහස.

 
ඔබ ළඟට එන පාරිභෝගිකයාට මේ හර්බල් ප්ලාස් කොල කැඳ පානයට අමතරව ඖෂධීය ශාක පිළිබඳව, කොළ කැඳ පිළිබඳව සහ ලෙඩ රෝග ගැන ඇතුළු බොහෝ දේ පිළිබඳව  දැනුවත් කිරීමේ ක්‍රමවේදයකුත් ඔබ විසින් මේ සමඟම කරගෙන යනවා. ඒ පිළිබඳව ටිකක් විස්තර කළොත් ?.

                  මම කලිනුත් කිව්වනේ මම සුසිල් අය්යාගෙන් එතකොට ගමේ ඉන්න වෙද  මහත්වරුන්ගෙන් , ඒ වගේම සමහර ආයුර්වේද වෛද්‍යවරුන්ගෙන්,  අන්තර්ජාලයෙන්, එත් එක්කම මේ හර්බල් ප්ලස් ගන්න එන , දැනුවත්භාවයෙන් යුත් සමහර පාරිභෝගිකයන්ගෙන්,  මම දැනගත් කරුණු, කාරණා සියල්ල මම අනිත් අය සමග මම බෙදා හදා ගන්නවා. මේ වෙද්දි මගේ ව්‍යාපාරික ස්ථාන 02 දෙකක් තියෙනවා. ඒ ව්‍යාපාරික ස්ථානවලට  එන පාරිභෝගිකයන්ට කොළ කැඳවල තියෙන වටිනාකම, ඖෂධීය ශාකයන් පිළිබඳව ලෙඩ රෝග සම්බන්ධව දැනුවත් කිරීම සඳහා මම කටවුට්ස්, බැනර් වගේ දේවල් ප්‍රදර්ශනය කරලා තියෙනවා. ඒත් එක්කම මා ළඟට එන පාරිභෝගිකයන් සමග මම කතා කරනවා, එයාලට තියෙන ලෙඩ රෝග සම්බන්ධව, එයාලා ඇයි මේ කොළ කැඳ බොන්නේ, ඒ මොන වගේ අවශ්‍යතාවයකටද කියලා මම ඒ අය සමග කතා කරනවා. දැන් හිතන්නකෝ ව්‍යායාම් කරන කෙනෙකුට අවශ්‍ය කොලකැඳ වර්ගය මොකක්ද කියන එක මම දැනුවත් කරනවා .ඒ වගේම සෙම රෝග, තියෙන අයට මොකක්ද හොඳ කොළ කැඳ කියන එක සම්බන්ධයෙන් මම දැනුවත් කරනවා. ශරීර ශක්තිය වගේම ප්‍රතිශක්තිකරණය අවශ්‍ය අයට සරිලන කොළ කැඳ වර්ගය ගැන මම එයාලව දැනුවත් කරනවා.  නිතරම මා ළඟට එන අය ගැන නම් මම හොඳාකාරවම දන්න නිසා නිතරම එයාලාව දැනුවත් කරන්න අවශ්‍යතාවයක් නැහැ. නමුත් පලමුවෙන්ම හෝ ඉඳහිටලා එන කෙනෙක් සමග මම වැඩිපුර කතා කරනවා, මොකද ඒ අය ගැන මම හොඳින් දැනුවත් වීම අවශ්‍ය නිසා. ඉන් පසුව තමයි මම ඒ අයව දැනුවත් කරන්නේ. ඒ වගේමයි මම මුල් කාලෙදි නම් මේ නගරයේ අයව අත්පත්‍රිකා බෙදා හැරීමෙන් දැනුවත් කෙරුවා. මේ විදිහට මම ළඟට එන අයව මම දැනුවත් කරන එක  මම දිගටම කරගෙන යනවා. ඉතින් සමහර අයව දැනුවත් කරද්දි මම නොදන්න, මෙතෙක් දැනගෙන හිටියේ නැති කරුණු කාරණා පවා මටත් දැනගන්න ලැබෙනවා.ඔය  ආකාරයට තමයි මම  මේ දැනුවත් කිරීමේ ක්‍රියාවලිය කරගෙන යන්නේ. මම හිතන්නේ ඒක අපි විසින් කළ යුතුම අත්‍යවශ්‍ය දෙයක් කියලයි.

  මීගමුව වැනි සුපිරි නගරයක ඔබේ නිෂ්පාදනය සඳහා අවශ්‍ය දේවල්, විශේෂයෙන්ම ඖෂධීය ශාකයන් වගේ දේවල් සොයා ගැනීම දුෂ්කරයි නේද ,. ඒත් එක්කම මේ වගේ ව්‍යාපාරයකට සේවකයන් සොයා ගැනීමත් අමාරු කාරයයක් නේද ?

    අවශ්‍ය ඖෂධීය ශාකයන් වගේ දේවල්  සොයා ගැනීම් එතරම් දුෂ්කර නැහැ .මොකද මේ වෙද්දි මට සම්බන්ධවෙලා සිටිනවා හොඳ සැපයුම්කරුවන් ජාලයක්. ඒ අය නිතරම මා සමග සම්බන්ධ වෙලා සිටින්නේ. එක දුරකථන ඇමතුමක් දීපු ගමන් මට අවශ්‍ය සියලු දේ සැපයීමට ඔවුන් කටයුතු කරනවා. දැන් මගේ සැපයුම්කරුවන් ඉන්නවා මතුගම, කුලියාපිටිය, කටාන- ගොඩිගමුව, අත්තනගල්ල, රුවන්වැල්ල, සහ දාගොන්න වැනි ප්‍රදේශවලත් . ඉතින් ඔවුන් හරහා මට අවශ්‍ය දේවල් සපයා ගන්න පුළුවන්.
         මගේ මේ නිෂ්පාදන කාර්යයේදී මම මුහුණ දෙන ප්‍රධානතම ප්‍රශ්නය තමයි, සේවක ප්‍රශ්නය. මගේ ක්‍රමවේදයට සේවකයා අනුගත වෙන්නැති  ප්‍රශ්නයක් තමයි මට තියෙන්නේ. සේවකයෝ කැමති නෑ මගේ ක්‍රමයට වැඩ කරන්න. මම මේ කතා බහේ මුලදිත් කිව්වා , මගේ මේ නිෂ්පාදනයේ ප්‍රධානතම අංගයක් තමයි පිරිසිදුකම කියලා. ඔන්න ඔය ප්‍රශ්නය නිසා තමයි හුඟාක් සේවකයෝ මාත් එක්ක ඉන්න අකමැති. අපි මේ හර්බල් ප්ලස් ඖෂධීය පානය සකස් කරද්දී ඒ සඳහා විවිධ කොළ ජාති කපන කරන කාර්යයේ සිට මේ පානය පිළියෙල කරගන්න කාර්යය දක්වාම අපේ දෙඅත් හොඳ පිරිසිදුවට තියෙන්න ඕනේ. ඉතින් අපි කුමන දෙයක් කෙරුවත් සෑම විටම දෙයක් හොඳින් සබන් ගා පිරිසුදුව තියාගන්න ඕන. ඕක මේ කාලසීමාවේදී සමහර වෙලාවට විසි වාරයක්, තිස් වාරයක් විතර සබන් යොදා අත්සෝදන්න සිදු වෙන්න පුළුවන්. ඉතින් ඔය ක්‍රමවේදයට,  වැටුපට එන සේවකයෝ කැමති නෑ. ඒ නිසා මගේ මේ ව්‍යාපාරය තුළ සේවකයෝ රඳවා ගැනීම සහ සේවකයන් සොයා ගැනීමත් ඉතාම අමාරු කාර්යයක් බවට පත්ව තියෙනවා


   ඔබ මිගමුවේ අරගලයට ඔබට හැකි විදියට සහෝදරාත්මකව දායකත්වය දුන්නා.
ඒ කාලේ අත්විඳි අත්දැකිම් සහ මුහුණ දුන්න අපහසුතා පිළිබඳව යළිත් මතක් කලොත්?

       ඒක ඉතින් මට කියලා විශේෂ විදිහකට බලපෑවේ නෑ . මටත් ඒ කාලවකවනුවේ අත්විඳින්න සිදුවුනේ අනිත් ව්‍යාපාරිකයන්ට වගේම අත්විඳි අත්දැකීම් වලටම තමයි. ඉතින් ඒ කාලේ ඉන්ධන ගෑස් විදුලිය වගේ දේවල් තිබුණෙ නැහැ. ඉතින් බොහොම අමාරුවෙන් තමයි මගේ ව්‍යාපාරික කටයුතු කරගෙන ගියේ
    නමුත් මම ව්‍යාපාරික කටයුතු මුළුමනින්ම නතර කෙරුවේ නෑ. හැබැයි ඒ කාලේ අපි ගාවට වෙනදට එන  පාරිභෝගිකයන් ප්‍රමාණයේ අඩුවීමකුත් තිබුණා . වෙනදා මට්ටමට නැති වුනත් කොහොමහරි මම ව්‍යාපාරය අරගලය තිබුණු දවස්වලත් කරගෙන ගියා.

      ගෑස් සපයා ගැනීම අමාරු කාර්යයක් වුණා. විදුලියත් වෙලාවකට ලැබුණේ. එනිසා වෙනදා මුළුමනින්ම භාවිතා කරපු ගෑස් උදුන් භාවිතා කරන්න බැරි වුනා.සමහර වෙලාවට කැඳ එක පිළියෙල කරගන්න හොට් ප්ලේට් වගේ දේවල් භාවිතා කරන්න වුණා. අර වෙනදා තරම් ආදායමක් ලැබුනෙත් නෑ. ඉතින් මම කොහොම හරි ඒ කාලෙත් මේ ව්‍යාපාරය දුෂ්කරතා මැද වුනත් කරගෙන ගියා. රටේ අනෙකුත් ව්‍යාපාරිකයන්ට බලපාපු පොදු ප්‍රශ්න වලට ඒ කාලේ මටත් මුහුණ දෙන්න සිදුවුණා.


  ව්‍යාපාරික කටයුතු වල නිරත නොවිච්ච අලුතින්ම ව්‍යාපාරයක් ආරම්භ කරන්න ඉන්න කෙනෙකුට ඔබට දෙන්න පුළුවන් උපදේශනය මොකද්ද ?

   පළමුවැනිම දේ තමයි තමන් කරන්න යන ව්‍යාපාරය ගැන තමන් හොඳින් දැනුවත් වෙන්න ඕන. තමන්ගෙන් ඒ සේවාව ලබන්න එන එහෙම නැත්නම් තමන්ගෙන් ඒ නිෂ්පාදනය මිලදී ගන්ඩ එන පාරිභෝගිකයාව දැනුවත් කරන්න පුළුවන් මට්ටමට ව්‍යාපාර⁣ය කරන කෙනා දැනුවත්ව ඉන්න ඕන. එතනදි තමන් ඒ ගැන ඉගෙන ගන්න ඕන. මම මේ ඉගෙන ගන්නවා කියන්නේ මේ උපාධි මට්ටමට වගේ යන්න අවශ්‍යතාවයක් නෑ. අපිට පුළුවන්  අපි දන්නැති දැනුමක්  හොයාගන්න. අද එකට අවශ්‍ය ඕනතරම් පහසුකම් තියෙනවා. අපිට, අපි ගාවට එන පාරිභෝගිකයාව හොඳින් දැනුවත් කරන්න පුළුවන් නම් ,ඒක තමයි ව්‍යාපාරය සාර්ථක වෙන්න තියෙන එක ප්‍රධාන කරුණක් .
   අනික තමයි අපි කරන්න යන ව්‍යාපාරයට අපි ඇප කැපවෙලා වැඩ කරන්න ඕනා. ඒ ව්‍යාපාරයට අපි ආදරය දක්වන්න ඔනේ. අර කවුරුවත් කියන පලියට, නිකන් කරන්නම් වාලේ කරන්නේ නැතුව, ව්‍යාපාරයට බොහොම ලැදියාවෙන්, ඇප කැප වෙලා වැඩ කෙරුවොත් ව්‍යාපාරය සාර්ථක වෙනවා.
     අනෙක් කාරණාව තමයි අපි අපේ පාරිභෝගිකයාගේ විශ්වාසය දිනා ගැනීම වැදගත්,. පාරිභෝගිකයාට අපි විශ්වාසවන්ත වෙන්නට  ඔනේ මේ ව්‍යාපාරිකයා අපිට බොරුවක් නොකරන බවට. ඒක නිසා ව්‍යාපාරයකදී පාරිභෝගිකයාට කවදාක්වත් බොරු කියන්න  බොරු කරන්න යන්න හොඳ නෑ.  පාරිභෝගිකයා අපි ගැන අවිශ්වාස කළොත් අපේ ව්‍යාපාරය කඩා වැටෙනවා. එනිසා පාරිභෝගික විශ්වාසය තමයි ව්‍යාපාරයක් සාර්ථක වෙන්න බලපාන ප්‍රධානතම කරුණක් වෙන්නේ..
   අනිත් දේ තමයි අපි ව්‍යාපාරය තුළින් ලබා දෙන්නේ සාම්ප්‍රදායික නිෂ්පාදනයක් වෙන්න පුළුවන්. නමුත් ඒක පාරිභෝගිකයාට ආකර්ෂණය වෙන විදිහට, නව්‍යකරණයට ලක් කරලා, විශ්වාසනීයත්වයෙන් දෙන්න පුළුවන්නම්, ඒකත් ව්‍යාපාරයක් සාර්ථක වෙන්න ප්‍රධාන වශයෙන් බලපානවා.
  මෙන්න මේ වගේ කරුණු කාරණා ගැන සැලකිලිමත් වෙලා ආරම්භ කරන ව්‍යාපාරයක් කවදාවත් අසාර්ථක වෙන්නෙ නෑ කියලයි මම නම්  හිතන්නේ. ඒ වගේම ව්‍යාපාරයක් සාර්ථකව අඛණ්ඩව පවත්වාගෙන යන්නත් මේ කරුණු කාරණා හේතුපාද වෙනවා කියලයි මට හිතෙන්නේ.

අවසාන වශයෙන් මම ඔබෙන් දැනගන්න කැමතියි ඔබේ ව්‍යාපාරය සම්බන්ධයෙන් අනාගත සැලසුම් ගැන ?

       ඇත්තටම මගේ බලාපොරොත්තුවක් තියනවා මේ මීගමුව නගරයේ තවත් තැන් කීහිපයකම හර්බල් ප්ලස් ඖෂධීය කොළ කැඳ පානය අලෙවි කරන ස්ථාන කීපයක් ආරම්භ කරන්න. මොකද සමහර පාරිභෝගික ජනතාව මගෙන් මේ වෙද්දි  ගොඩක් ඉල්ලීම් කරලා තියෙනවා. මට තියෙන ප්‍රශ්නේ තමයි මේ සේවක ප්‍රශ්නය. ඇත්තට මේ සේවක ප්‍රශ්නය විසඳගන්න පුළුවන් වුනොත් මගේ ව්‍යාපාරය එහෙම නගරය තුළ පුළුල් කරන්න අනාගත සැලැස්මක් තියෙනවා.
     තවත් මම කැමතියි මීගමුවේ ජනතාවට විශේෂයෙන්ම පාසල් දරුවන්ට අපි ගන්න ආහාර වල තිබෙන හොඳ නරක කියල දෙන වැඩසටහන් පවත්වන්න පුළුවන්නම්, මමත් ඒ සඳහා දායකත්වය ලබා දෙනවා. ඒ සඳහා වෛද්‍යවරුන් හෝ පෝෂණවේදීන් සම්බන්ධ වෙලා ඒ වගේ පෝෂණ වැඩසටහන් පවත්වනවා නම් අනාගතයේ මම ඒ සඳහා දායක වෙන්නත් බොහොම කැමැත්තෙන් ඉන්නවා.