ස. බ. වෙල්ගම

0
692

1945 අගෝ. 20 ගම්පහ, අඹන්විට ග්‍රාමයේදී ජයලත් බලගල්ලගේ එමලියානා ඩයස් හා වෙල්ගමගේ සිමියොන් පෙරේරාට දාව පුතෙක් බිහිවිය. ඔහු සරත් බර්නාඩ් වෙල්ගම ය: කෙටියෙන් ස.බ. වෙල්ගම ය. පියා කතෝලිකයකු වූ බැවින් කතෝලික වූව ද එවකට 99.9%ක් ම බෞද්ධ වූ අඹන්විට ග්‍රාමය තුළ මෙම දරුවා හැදුනේ වැඩුනේ පන්සලේ ආභාසය ලබමින් ය. පියා කතෝලික වූව ද පියා ඇතුළු පවුලේ සියල්ලෝ පන්සලේ දායකයෝ වූහ. පන්සලේ හාමුදුරුවන් කිවෙනුවෙනි නක් වඩින්නට නිවස අසල බස් නැවතුමේ රැඳී සිටින හැම විට ම පාහේ උන්වහන්සේ වාඩිවී සිටින්නට නිවසින් අසුනක් රැගෙන එන්නට සිමියොන් පෙරේරා අමතක නොකරයි. පන්සල කෙරෙහි සිමියොන්, එමලියානා ඇතූළු එම පවුලේ සෑම දරුවකු තුළ ම වූයේ දැඩි ලැදියාවක් හා භක්තියක් ය. ඔවුහූ පන්සලට අතීශයින් සමීප වූවෝ වූහ.

අධ්‍යාපනය:

මුලින් ම අකුරු කරන්නට සරත් බර්නාඩ් කුමරුවා ගියේ අඹන්විට පරම විඥානාර්ථ බෞද්ධ සමාගමේ බාලිකා විද්‍යාලයට ය. පළමු ශ්‍රේණියේ සිට 3වන ශ්‍රේණිය දක්වා ම ඔහු ඉගෙන ගත්තේ මේ ගමේ පාසලෙන් ය. එකල උගත් ගාථා ශ්ලෝක යනාදිය තවමත් කටපාඩම් වන්නට පන්සල ආශ්‍රිත ජීවිතය හා ගමේ බෞද්ධ පාසලේ ආභාසය ස. බ. ට මනා පිටිවහලක් වූ බව නිසැක ය.

අනතුරුව සාමාන්‍ය පෙළ විභාගය දක්වා ඔහු අධ්‍යාපනය ලැබුවේ මාකේවිට රෝමානු කතෝලික විදුහලෙන් ය. සාමාන්‍ය පෙළ හමාර වී වසරක පමණ කාලයක් ගම්පහ බණ්ඩාරනායක විදුහලෙන් අධ්‍යාපනය ලැබූ එතුමා 1963 දී ශිෂ්‍ය ගුරු විභාගය ලිවී ය. ගුරු පත්වීම් සඳහා ලංකාවෙන් ම 10,000ක් තෝරාගත් මේ විභාගය සාර්ථක ලෙස සමත් වූ ස. බ. මාබිම විද්‍යාකර විද්‍යාලයට සිය මුල් පත්වීම ලැබී ය. එකල ඔහුගේ දීමනාව රු.100ක් විය.

ගුරු ජීවිතය:

පසුව 1967 ජනවාරි 07 ගුරු පුහුණුව සඳහා බෝලවලාන ගුරු අභ්‍යාස විද්‍යාලයට ඇතුළත් විය. ජීවිතයේ තාරුණ්‍යයේ සුන්දරත්වය ද, කාර්යශූරත්වය ද, උද්‍යෝගය ද , නවමු අදහස් හා ක්‍රියාශීලී දැනුම් සම්භාරයක් ද කැටිකොට ගත් සාර්ථක ගුරු පුහුණුවකින් පසු වෙල්ගම සර් 1969 දී පුහුණු ගුරුවරයකු ලෙස සිය මුල් ම පත්වීම ලබන්නේ හම්බන්තොට දිස්ත්‍රික්කයේ මුල්කිරිගල ආසනයේ වලස්මුල්ලේ බෝවල විද්‍යාලයට ය. තරුණ කැරලිකාර ගුරුවරයකු වූ වෙල්ගම වැඩිකල් නොගොස් ම 1969 මැයි 01 සිට හිඟුරුමුලන වීරකැටිය මධ්‍ය මහා විද්‍යාලයට මාරුවක් ලැබී ය. එම විද්‍යාලයේ වසර ගණනාවක් සේවය කළ එතුමා 1972 දී බෝපිටිය ” පමුණුගම මහා විද්‍යාලයට ” පත්වීම ලැබී ය. මධ්‍ය මහා විද්‍යාලයක් වීමට ඔන්න මෙන්න තිබියදී ඇතැම් කතෝලික ප්‍රභූ පාන්තිකයන්ගේ කැපිලි කෙටිලි නිසාවෙන් එසේ නොවූ, අදාළ ප්‍රභූන් විසින් ” යකාගේ ඉස්කෝලේ ” ලෙස හැඳින් වූ මෙම විදුහලේ කතෝලික ධර්මය හා සිංහල භාෂාව ඉගැන්වීමට සිදුවූයේ වෙල්ගමට ය. එතෙක් ක්‍රිස්තියානි ආගම හෝ ධර්මය කෙරෙහි එතරම් හැඟීමක් නොතිබුණු වෙල්ගම සර්ට ලූක් සුබාරංචිය උගන්වන්නට නියමිත ව තිබිණි. දුප්පතුන්ගේ සුබාරංචිය මුල සිට අගට ද, අග සිට මුලට ද අකුරක් නෑර කියවූ ඔහුට එය ලාංකේය අපේ ජන ජීවිතයට ඉතා සමීප බව දැනෙන්නට විය. ස. බ. වෙල්ගමට කිතුදහම සමීප කළ ප්‍රධාන සාධකය ලූක් සුබාරංචිය බැව් මම හඟිමි.

අනතුරු ව කෝට්ටපිටිය කනිෂ්ඨ විද්‍යාලය, බොල්ලත සිරි සුමංගල විද්‍යාලය, මිනුවන්ගොඩ තම්මිට මහා විද්‍යාලය යන පාසල්වල සේවය කළ එතුමා මීගමුව ශා. ජෝෂප් විද්‍යාලයේ වසර 20 ක් පමණ සේවය කර විශ්‍රාම ගියේ ය. විශ්‍රාම යන විට වෙල්ගම සර්ගේ වයස 56ක් විය.

කැම්පස් සිහිනය හා සමාජ සේවය:

වෙල්ගම සර්ව විශ්ව විද්‍යාලයට තෝරගත්තා නම් මේ කතාව මීට වඩා වෙනස්වන්නට තිබිණි. ගුරු පුහුණුව නිම වූ විගස විශ්ව විද්‍යාල පළමුවන පරීක්ෂණයට පෙනී සිටීමට ඔහුට හැකි විය. ඔහු බාහිර උපාධි අපේක්ෂකයකු ලෙස පේරාදෙණිය ඉල්ලා සිටියේ ය. එහෙත් ඒ වන විට ගුරු විදුහල් සහතිකය ලැබී නො තිබූ බැවින් එම අයැදුම ප්‍රතික්ෂේප වී තිබිණි. දෙවන වතාවේදී සහතිකය ලැබී තිබුණ ද ඒ වනවිට අදාළ වයස් සීමාවට ඇතුළත් වී නොතිබූ බැවින් ප්‍රතික්ෂේප විය. එසේ නොවූයේ නම් ඇතැම් විට බොහෝ දේ වෙනස් විය හැකි ව තිබිණි.

විශ්ව විද්‍යාල අධ්‍යාපන සිහිනය බිඳ වැටුණු බැවින් හා යමක යෙදෙන්නට ඇති වූ අවශ්‍යතාවයත් නිසා වෙල්ගම සර් හිඟුරුමුල්ලේ ග්‍රාම සංවර්ධන සමිතියක් ආරම්භ කරන්නට පුරෝගාමි විය. එමෙන් ම “රුහුණු පුත්තු” නමින් තරුණ සමිතියක් ද ආරම්භ කළ අතර එහි මුල් සභාපති ධූරය දරන්නට සිදුවූයේ ද එකල තරුණ ස.බ. වෙල්ගමට ය. අනතුරුව ප්‍රාදේශීය ක්‍රියාකාරකම් රැසකට නායකත්වය දෙන්නට ඔහුට සිදුවිය.

විවාහ ජීවිතය:

ස. බ.ගේ සෙවනැල්ල මෙන් පසු පසින් සිටින ප්‍රිය බිරිඳ ක්ලෙයාර් පද්මිණී බස්නායක ය. ඔවුන් අතර නෑදෑකමක් තිබිණි. මුලින් තිබූ නෑදෑකම සමීපතම බැඳීමක් බවට පත් ව වසර 7ක් පමණ වූ ඇසුරකින් හා මනා අන්‍යෝන්‍ය අවබෝධයකින් 1974දී දෙදෙනා මංගලාසිරි මැද අතිනත ගත්හ. මෙම විවාහයෙන් දූ වරුන් ම දෙපළක් ලබන්නට එම දෙපළ වාසනාවන්ත වූහ.

තමනට අහිමි වූ සරසවි වරම දියණියන් දෙදෙනාට ම ලැබීම දැකගැනීමේ වාසනාව ඔහු ලැබීය. වැඩිමහල් දියණිය මුදිතා නිමාලි වෙල්ගම කැලණිය විශ්ව විද්‍යාලයේ උපාධිධාරිණියක් වන අතර විවාහ ප්‍රාප්ත ව දරුවන් ලබන තෙක් ම කාලයක් මීගමුව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ විශ්‍රාම වැටුප් නිලධා‍රිණියක ලෙස සේවය කළා ය. කනිටු දියණිය වූ රුවිනි වෙල්ගම විශ්ව විද්‍යාලයේ නීති පීඨයේ උපාධිය සමත් ව ශ්‍රේෂ්ඨාධිකරණයේ නීතිඥවරියක වුව ද පසුව තමන්ගේ පමණක් නොව මීගමුව ආවේ මරියා කන්‍යාරාම බාලිකා විදුහලේ දියණියන්ගේ ද ආදරණීය ගුරු මවක ලෙස සේවය කරන්නී ය.

දේශපාලන බැඳීම:

මිනිසා යනු දේශපාලනික සත්ත්වයෙකි. දේශපාලන බැඳීම ගැන කතා කරන විට වෙල්ගම සර් ” මම වාමාංශිකයෙක්” යයි ඍජුව ම කියා සිටියේ ය. මම ඔහුගේ වාමාංශික ඉතිහාසය විමසා සිටියෙමි.

” ඒ කාලේ ගම්පහ හිටියා එස්. ඩී.බණ්ඩාරනායක කියලා කෙනෙක්. සැමුවෙල් ඩයස් බණ්ඩාරනායක. එයා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වුනාට එයාට තිබුණේ වාමාංශික ඔළුවක්. මාඕ සේතුං ගැන ලොකු ගෞරවයක් ආදරයක් එයාට තිබුණා. නිතර චීනයට ගියා. මාඕ සේතුං එක්ක පීනන්න යනවයි කියලත් ඒ කාලේ කතාවක් තිබුණා. ශ්‍රී ලංකා කාරයෙක් වුනාට ශ්‍රී ලංකා ආණ්ඩුව පට්ට ගහනවා. 71 කැරැල්ල නඩුවේ විත්තිකාරයෙක් හැටියටත් හිටියා. ඉස්සර එයා වේදිකාවේ කතාකරනවා අහන්න අපි හරි ආසයි. බණ්ඩාරනායක- චෙල්වනායම් ගිවිසුමට විරුද්ධව ජේ. ආර්ගේ පාගමන ඉඹුල්ගොඩ දී නැවැත්තුවේ එස්. ඩී.”

එස්. ඩී. ගේ කතා අහන්නට ගියාට වෙල්ගම සර් ශ්‍රී.ල.නි.ප.යට බැඳුනේ නැත. ඒ අතර ම පිලිප්ගේ මහජන එක්සත් පෙරමුණේ හා කොමියුනිස්ට් පක්ෂයේ රැස්වීම් බලන්නට ද ආශා කළ වෙල්ගම සර් ඒ වෙනුවෙන් සැතපුම් ගණන් පාපැදිය පැද්දේ ය.

පාසල් රජයට පවරා ගැනීමේදී වෙල්ගම සර් පමණක් නොව ගුරුවරුන් වූ ඔහුගේ සොහොයුරන් දෙදෙනා ද, සොයුරිය ද සිටියේ පාසල් රජයට පවරා ගත යුතු ය යන ස්ථාවරයේ ය. කතෝලික සභාවේ එකල ස්ථාවරයට අන්ධ භක්තිය හෝ බිය නිසා අනුකූලතාවය දැක්වූ අයට ප්‍රතිපක්ෂ ව වෙල්ගම සර් රැල්ලට එරෙහි ව පිහිනමින් තම ස්ථාවරයේ පිහිටියේ ය.

” මම ඒ කාලේ ඉගැන්නුවේ මාකේවිට රෝ. ක. විද්‍යාලයේ ය. එදා මම විතරයි ඉස්කෝලේ ගියේ.”

පාසල් රජයට පවරා ගැනීමට එරෙහි වර්ජන ඉල්ලීමට ප්‍රතිපත්ති ගරුක ව එරෙහි වීමේ ශක්තිය වෙල්ගම සර්ට නො අඩුව තිබිණි.

වෙල්ගම සර් එල්. ආරියවංශලා නායකත්වය දුන් ශ්‍රී ලංකා ජාතික සංගමයේ සමාජිකයෙක් විය. එතුමා EDCS හෙවත් අධ්‍යාපන වෘත්තිකයන්ගේ සමූපකාර සමිතියේ සමාජිකයෙක් විය. එතුමා එහි නියෝජිත මණ්ඩලයට මීගමුවෙන් දෙවරක් ම තේරී පත්විය. අධ්‍යාපන වෘත්තිකයන්ගේ පහසුව තකා මෙය විමධ්‍යගත කිරීම එකල වෙල්ගම සර්ගේ ප්‍රධාන යෝජනාවක් විය. මේ වන විට ලංකාවේ සියලුම දිස්ත්‍රික්ක නියෝජනය කරමින් අධ්‍යාපන සමූපකාර සමිති ජාලයක් තැනී ආසියාවේ විශාලතම සමූපකාර සමිතිය බවට පත්වනු පිණිස මුල් අඩිතාලම් සකස් කරන්නට ඒ අනුව වෙල්ගම සර් දායක වී ඇත.

වෙල්ගම සර් කූඩුවට:

වෙල්ගම සර් මීගමුවේ පදිංචියට පැමිණීම මීගමුවට නොමඳ ආශිර්වාදයක් විය. ආරම්භයෙදී වාමාංශික ආසනයක් ව තිබුණු මීගමුවේ එම තත්ත්වය ගිලිහී තිබිණි. එබැවින් මීගමුවේදී කොමියුනිස්ට් පක්ෂ සාමාජිකයන් ඔහුට හමු නොවිණි. එහෙත් මීගමුවේ ඉතා ක්‍රියාශීලී නව සම සමාජ පක්ෂ සාමාජිකයකු වූ බ්‍රිටෝ ප්‍රනාන්දු ව ඇසුරු කරන්නට අවස්ථාව ලැබීය.

” 80 ස්ට්‍රයික් එක මට හොඳට මතකයි. ඒ මම මීගමුවට ආපු මුල් කාලේ. දැනුවත් කිරීමේ රැස්වීමක් තිබුණා බෞද්ධ මන්දීරයේ. ඒකේ ප්‍රධාන කථිකයෙක් වුනේ ලීනස් සහෝදරයා. බ්‍රිටෝ , කුයින්ටස් ලියනගේ වගේ සහෝදරයන් එක්ක එකට වැඩ කරන්න ගත්තේ ඒ කාලෙ ඉඳන්.”

මේ සමග විවිධ උද්ඝෝෂණ හා පක්ෂ කටයුතුවලට ද වෙල්ගම සර් දායකත්වය දුන්නේ ය.

එකල ” මීගමුව සහයෝගිතා කමිටුව සක්‍රීයව සිටි වකවානුවක් විය. ඉද්දමල්ගොඩ පියතුමා ආරම්භ කළ ජනාවබෝධ කේන්ද්‍රය ඇතුළු සිවිල් සංවිධාන ගණනාවක් එහි ක්‍රියාකාරී විය. නව සමසමාජ පක්ෂයද ඒ තුළ ක්‍රියාකාරි විය. 80 වර්ජනයෙන් පාරට වැටුණු අය ගැන ඇතිවූ සහකම්පනය මේ හැමෝට ම බලපා තිබිණි. මීගමුව පුරා පෝස්ටරයක් වදින්නට විය.

” රුපියල් දහයක් ඉල්ලූ වරදට
වර්ජකයන් දැක්කූ අමු සොහොනට
බණ ම කියන ජේ.ආර්ට ප්‍රේමෙට
කපුටො කොටන්නේ කවද්ද ඔළුවට “

මෙය වෙල්ගමගේ නිර්මාණයක් විය. පෝස්ටර් ගහමින් සිටියදී ම වෙල්ගම සර් ඇතුළු කණ්ඩායම පොලීසියට කුදලාගෙන යනු ලැබිණි. පෝස්ටරයේ නිර්මාතෘ වූ වෙල්ගම සර් ඇතුළු පිරිසට පුරා දවසක් කූඩුවේ ලගින්නට සිදු විය. වැඩිහිටි ගුරුතුමෙකු වූ එතුමා තුරුණු වියේ පසු වූ අනෙක් අය නිදහස් කරන ලෙස ඉල්ලා අධිකරණයට මුහුණ දීමේ වගකීම තනිවම බාර ගත්තේ ය.

මෙහි සඳහන් කළ යුතු තවත් වැදගත් කරුණෙකි. එකල මීගමුවේ නගර සභාවේ බලය තිබුණේ ද පාලක යූ ඇන්පීයට ය. එහි නගරාධිපති වූයේ සරත්චන්ද්‍ර ගුණරත්න ය. ඔහු වෘත්තියෙන් නීතිඥයෙක් විය. වෙල්ගම සර්ට ඇප ලබාගැනීම සඳහා උසාවියේ ඔහු වෙනුවෙන් කතා කළේ නීතිඥ සරත්චන්ද්‍ර ගුණරත්න ය. ජෙයරාජ් ඇතුළු අනෙකුත් නීතිඥයෝ ද ඔහු වෙනුවෙන් නැගී සිටියහ. ඒ එදා මීගමුවේ හැටි ය. අද බොහෝ දෑ වෙනස් ය.

න.ස.ස.ප.ය ,වෙල්ගම සර් හා ඇත්ත

“වතාවක් මරු වැඩක් වුනා. මම වාමාංශික නායකයෝ කතා කරනවා අහන්න ආසයි. ඉතිං,මම සමසමාජ මැයි රැළියට ගියා හයිඩ් පාක් එකට. ඇන්.ඇම්. තමයි කතා කරකර හිටියේ. හදිසියේ ම මහා ඝෝෂා කරගෙන මහා සෙනගක් එනවා රැළියට වාසුත් එක්ක. ඒ සෙනග කන්දරාවට මැදිවෙලා එදා ගෙදර එන්න වුනේ දාගෙන හිටපු සෙරෙප්පු දෙකත් නැතිව. ඕවයින් මේවයින් කොහොමහරි බ්‍රිටෝ එක්ක එකතු වුණා. මීගමුවේ වැඩ සෙට් වුනා. බ්‍රිටෝ සහෝදරයා නගර සභාවටත්
පත්වුණා.”

“ඇත්ත”ට ලියන්න ගත්තේ කවදා ඉඳන්ද? මම අතුරු ප්‍රශ්නයක් විමසුවෙමි: වෙල්ගම සර් සඟවා ගෙන සිටි දැනුම මඳක් ලිහෙන්නට විය:
” රුසියාවේ ‘ප්‍රෞඩා’ තමයි ලංකාවෙදි ‘ඇත්ත’ වුනේ. රත්නවීරලා, සිරිවර්ධනලා ඒක හොඳට ම කළා. හොඳ ම කතුවැකි ඒ කාලේ ලිව්වේ ඇත්තේ සිරා.”

” මමත් ඉතිං ඔය මීගමුවේ ප්‍රශ්න වගේ ම භාෂා භාවිතයේ වැරදි ගැනත් කෙටි ලිපි ලිව්වා.”

පක්ෂෙ වෙනස් වුනත් වෙල්ගම සර් ඇත්තට ලියන එක නැවැත්තුවේ නැත. ඔහු බොහෝ කවි ලිවීය.
” නගර සභාවේ පාර අතුගාන ගෑනු අය ගැන තමයි මුලින් ම කවියක් විදියට ඇත්තට ලිව්වේ”.
එතැන ඉඳන් දිගට ම ඇත්තට හා නව සම සමාජේ හරයට අපේ සර් කවි ලිවීය.

මේ කවි එකතුව ” ඇත්තට ලියූ පැදි ” නමින් 2023.අගෝස්තු මස 12. දා සවස මීගමුව මාරිස්ස්ටෙල්ලා විදුහල් ශාලාවේදී එළි දැක්වීමට නියමිත ය. වෙල්ගම සර්ට ආදර ගෞරව පූර්වක ව සුභාශිංසනය කරමු.

අජිත් හැඩ්ලි පෙරේරා