හැම දේශපාලන පක්ෂයක් ම බලය ලබා ගැනීම සඳහා ජනතාවට බොරු පොරොන්දු දෙයි – හඳගම

0
146

( 6.00 pm  ) හැම දේශපාලන පක්ෂයක් ම බලය ලබා ගැනීම සඳහා ජනතාවට බොරු පොරොන්දු දෙයි. NPP යත් ඒ අතින් වෙනස් නොවෙයි. ඉටු කිරීමට බැරි පොරොන්දු කප්පරත් දුන්නේය. ඒවා අසා පුරුදු පරණ ඒවාම නිසා ඒවා ඉටුකරතැයි ජනතාව බලාපොරොත්තු වූයේ නැත.

IMF එකෙන් අයින් වෙනවා යැයි පැවසීම එකකි. එසේ අයින් වුනා නම් හොම්බෙන් යනවාය. IMF එකෙන් අයින් විය යුතුය. ඉන්දියාව 1992 න් පසු එසේ කළේය. ඒත් අපට මේ ඊට වෙලාව නොවෙයි. අපේ ආර්ථිකය තවමත් දුර්වලය. ඒ නිසා, ඒ බව දන්නා කියන අයගෙන් දැනගෙන ආණ්ඩුව කරබාගෙන හිටියේය.

ඉන්දියාවෙන් හාල් රුපියල් 135 ට ගෙනත් දිය හැකි බව පැවසීම තව එකකි. ඉන්දියාවේ ගොවියන් නිකං හාල් දුන්නත් රුපියල් 135 ට දෙන්නට බැරිය. ආණ්ඩුව වගබලා ගත යුත්තේ හිඟයක් ඇති නොවන පරිදි සහල් වෙළඳපොළ පවත්වාගෙන යෑමය. ලංකාවේ වෙළඳ පොළට වඩා අඩු මිලට පාරිභෝගිකයාට සහල් ලබා දිය හැකි නම්, ආනයනය කර හෝ හාල් ලබා දීමට කටයුතු සැලැස්විය යුතුය. වෙළඳ පොළ මිලට වඩා අඩු මිලකට පාලන මිලක් නියම කිරීමෙන් වෙළඳපොලේ සහල් හිඟයක් ඇතිවීම නොවැළැක්විය හැකිය. ආණ්ඩුව අමාරුවේ වැටුනේ මේ පාලන මිල නිසාය.

බලය ලබා ගැනීම සඳහා බොරු කීම එකකි. ඒහෙත් බොරුවෙන්ම ආණ්ඩුවක් කරගෙන යා නොහැකිය.

ඒ කොහොම වුණත් මේ ආණ්ඩුව රැකගත යුතුය. මේ පරණ පුරුදු ආණ්ඩු පක්ෂයක් නොවේ. ආණ්ඩුවේ සාධනීය ලක්ෂණ බොහෝමයක් තිබේ. ජනාධිපතිවරණය ජයගත් අනුර කුමාර පෙන්වූ පශ්චාත් මැතිවරණ හැසිරීම මිනිසුන් තුළ අලුත් දේශපාලන සංස්කෘතියක් පිළිබඳ බලාපොරොත්තු දැල්වීය. ඒ නිසාම මහ මැතිවරණයෙන් NPP එක බලාපොරොත්තු වූවාටත් වඩා ශක්ති සම්පන්න ආණ්ඩුවක් පිහිටුවීමට හැකි විය.දැන් ආණ්ඩුව කෙරෙහි ජනතාව තැබූ විශ්වාසය රැකගෙන ඉදිරියට යෑම කළ යුතුය.

රංවල ප්‍රශ්නය වහා විසඳා ගත යුතු වන්නේ එබැවිනි. ඒ සඳහා ජනාධිපතිවරයාට කොන්දක් තිබිය යුතුය. කථානායක රංවලට හෘද සාක්ෂියක් තිබිය යුතුය.

ආණ්ඩුව යනු ගොවියන් ගේ පමණක් ආණ්ඩුවක් නොවේ.ගෝඨාභය එළවන්නට Galle Face එකේ අරගල කළේ ගොවියන් නෙවෙයි. ලයිට් නැතිව, gas නැතිව, පෙට්‍රල් ඩීසල් නැතිව පෝලිං වල හිටපු මිනිසුන් ය.
ලංකාවට විදේශ විනිමය ගෙන එන ප්‍රධාන අංශයක් වන්නේ සංචාරක කර්මාන්තයයි. සංචාරකයින් මෙහාට එන්නේ වන සතුන් ද ඇතුළත් ස්වභාවික සෞන්දර්යය විඳීමටය. ඝර්ම කලාපීය ( Tropical) වන සතුන් අපට සම්පතකි. උන්ගේ ප්‍රචාරණය කළමනාකරණය කිරීම රජයේ වගකීමකි. ලාල් ගේ රිලා විසඳුම, විසඳුමක් නොවන්නේ එබැවිනි.

ආණ්ඩුවක ජනප්‍රියතාවය කාලයක් යනකොට හීන වීම ස්වභාවිකය. ඒ හැම ජන කොටසක්ම එක විට සතුටු කිරීම ලෙහෙසි පහසු කටයුත්තක් නොවන බැවිනි. මේ ගමන පරිස්සමෙන් යා යුතුය. මෙය වැල් පාලමේ යනවාට වඩා දුෂ්කරය.

අශෝත හඳගම

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here