හෙට දිනයේ ඥානසාර නිකායේ පාහරයෙක් මාධ්‍යවේදියෙකු ඝාතනය කර, ඔහුගේ බිරිඳට ‘හිඟාකාපිය‘ යි කී විට මේ මාධ්‍යවේදීන් කරන්නේ කුමක් ද? රනිල්ගේ සටනට පාඨක සහායක්..!

0
175

හෙට දිනයේ ඥානසාර නිකායේ පාහරයෙක් මාධ්‍යවේදියෙකු ඝාතනය කර, ඔහුගේ බිරිඳට ‘හිඟාකාපිය‘ යි කී විට මේ මාධ්‍යවේදීන් කරන්නේ කුමක් ද? රනිල්ගේ සටනට පාඨක සහායක්..!

(ලංකා ඊ නිව්ස් -2016.ජන.31, පෙ.ව‍.11.25) පසු ගිය 28 වන දා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේ සිට අපේ රටේ ජන-සන්නිවේදන මාධ්‍ය ගැන යම් කිසි හෙලිදරව්වක් සහ අර්ථකථනයක් කරන්නට යෙදින. එහි විශේෂත්වයක් තිබිණ, එනම් අපේ රටේ ඇතැම් මාධ්‍ය ඔස්තාර්ලා කියා ගන්නා වල්-මාධ්‍ය කැලෑවේ දඩයම් කරන ගෙම්බන් සහ රීරි-යකුන් ගැන වික්‍රමසිංහ මහතා ඉතාම විවෘතව සිය අදහස් ප්‍රකාශ කිරීමයි. අප රටේ මධ්‍යස්ථ සහ අර්ථාන්විත මාධ්‍යයක් පිලිබඳව බලාපොරොත්තු තබා සිටින බොහෝ දෙනෙකු ප්‍රකාශ කර සිටියේ, එය  වික්‍රමසිංහ මහතාට පමණක් කළ හැකි කථාවක් බවත්, රටේ සිටින සැබැ මාධ්‍යවේදීන් අත ලොස්සට එයින් සහයෝගක් සහ අස්වැසිල්ලක් ලැබූ බවයි. එමෙන්ම, වික්‍රමසිංහ මහතා එවැනි කථාවක් කරයි කියා මාධ්‍යය මුදලිලා හෝ ඔවුන් ගේ මාධ්‍ය ගෝල-බාලයන් නොසිතන්නට ඇත. මන් ද බොහෝ මාධ්‍යය තවම සිටින්නේ මහජනතාව දෙවරක් ප්‍රතික්ෂේප කළ රාජපක්ෂලා සමග සහ ඔහු විසින් නිර්මාණය කළ පාදඩ දේශපාලනය පෝෂණය කරමින්ය. වික්‍රමසිංහ මහතා එම කථාවෙහි අද මාධ්‍ය භාවිතය පිලිබඳ අපුරු අර්ථ කථනයක් ලබා දෙමින් “දඩයමේ යන්න එපා“ යැයි අවධාරණය කලේය. ඊනියා මාධ්‍යවේදීන් ගොඩ නගාගෙන තිබු පුස්ස බිඳ දැම්මේය.

අන් දේශපාලකයන්ට වඩා අග්‍රාමාත්‍ය වික්‍රමසිංහ මහතාට එම කථාව කිරිමට ඉතාම බලවත් සුදුසුකමක්  සහ අයිතියක් තිබේ. එනම්  වික්‍රමසිංහ මහතා සිය දේශපාලන පෞර්ෂය පුම්බා ගැනීමට මෙම  වල්-මාධ්‍ය කැලෑවේ තිබෙන රූපවාහිනී චැනල හෝ පත්තර කඩ-මාලු පිටුපස ගියේ නැත. වන්දිභට්ට කලාකරුවන් ලවා ප්‍රශස්ති ගායනා කරගත්තේ ද නැත. අනෙත් අතට ඔහුට මෙම මාධ්‍යය ලවා සිය ප්‍රතිරූපය පුම්බා ගැනීමට ද අවශ්‍ය නැත. ප්‍රතිරූප පුම්බා ගැනීමට අවශ්‍ය වන්නේ ප්‍රතිරූපයක් නැති එකාට ය. මෙම කැලෑ-රූප වාහිනී චැනලවල ඉතා පහත් සාකච්ඡාවලට ගොස්, ඒවායේ සිටින කැලෑ-මාධ්‍ය කුළු හරකුන්ගේ ගොන් ප්‍රශ්නවලට එවැනිම ගොන් උත්තර දෙන ඇතැම් දේශපාලකයින්ට ඉතා අපූරු ආදර්ශයක් දීමට වික්‍රමසිංහ මහතාගේ එදා හෙලිදරව්ව ඉවහල් වූ බව දැණුන නිසාම දෝ, වෙන දා පාර්ලිමේන්තුවේ බෙරිහන් දෙන කිසිවකුත් මෙම කථාව අතර තුර සිය වාචාල කටවල් ඇරියේ නැත. වික්‍රමසිංහ මහතාගේ අදහස් දැක්වීම තීව්ර විය, හෘදයාංගම විය. ඔහු ඔහු ගැන හෝ ඔහුගේ පක්ෂය ගැන කථා කලේ නැත. ඔහු සමස්ථ මාධ්‍යයම ආමන්ත්‍රණය කෙළේය.

මෙහි දී ඇතැම් දේශපාලකයින් සහ මෙම කැලෑ-රූප වාහිනී නාලිකාවල සම්බන්ධතාවය ද අවබෝධ කරගත යුතුයි. මෙම කැලෑ-රූප වාහිනි නාලිකාවල හෝ වෙනත් මාධ්‍යය ආයතන වල විවිධ සාකච්ඡාවලට ගොස් සිය ආත්ම ගෞරවය පාවා දෙන අශීලාචාර, කුපාඩි තත්ත්වයට දේශපාලකයින් වැටී ඇත. මෙම කැලෑ-රූප වාහිනි චැනලවල අරමුන තමන්ගේ චැනලය  ප්‍රසිද්ධ කර විකීනීමයි. ඒ සඳහා ඔවුන් තම චැනල නරඹනවාට අසනවාට ජනතාවට මුදල් අල්ලස් දීමේ සිට රටේ වෙන ඕනෑම දෙයක් කිසිම හිරිකිතකින් තොරව අමු අමුවේ සජවීව ප්‍රදර්ශනය කරයි. දේශපාලකයින් ද ඔවුන් ගේ වෙළඳ භාන්ඩයකි, ඒ  බව නොදන්නා ඇතැම් දේශපාලකයන් ඒවායේ ගොදුරු බවට පත්වේ. එහිදී, කැලෑ-මාධ්‍ය කුළු හරකුන් ජනතාව ගේ වීරයා වී දේශපාලකයා මැට්ටේකු බවට පත් කරයි. නමුත් මෙම දේශපාලකයන් සිතන්නේ තමන් ‘ඇට්ටි හැලෙන්නට‘ දුන් බවයි. නමුත් එම රූප වාහිනි බලන ජනතාව සමහර අවස්ථාවල අදහස් දක්වන්නේ  “මුං වගේ කාලකන්නින්ට නේ අපි ඡන්දය දුන්නේ“ කියාය. දැනට රටේ තිබෙන මෙම  කැලෑ-රූප වාහිනී නාලිකා ඇතුළු මාධ්‍යය ආයතන පොදුවේ කරන්නේ රටේ තිබෙන මෙම අසම තුලිත සමාජ-දේශපාලන තත්ත්වයන් විකෘති කර තමන් ගේ ව්‍යාපාරික අරමුණු ඉටුකර ගැනීමයි. එහි ප්‍රධානම ගොදුර දේශපාලකයා සහ මහජනතාවයි. මේ බව දේශපාලකයා මෙන්ම ජනතාව ද තේරුම් ගත යුතුය. වික්‍රමසිංහ මහතාගේ අදහස් දැක්වීම මෙම සරල සත්‍ය සියලුම දෙනාට මතක් කර දුන් එක් අවස්ථාවක් විය.

වික්‍රමසිංහ මහතා සිය කථාව අද වන විට රටේ පවතින තත්ත්වය හමුවේ තිබෙන රීරි-මාංශ දඩයම තේරුම් ගැනීම යහ-පාලනයට යන ගමනේ ඉතා වැදගත්ම අවස්ථාවක් සහ රට ඉල්ලා සිටින වෙනස පටන් ගැන්මට අපූරු පියවරකි. ඔහු ප්‍රකාශ කළ පරිදි රටේ මාධ්‍යවේදීන් දෙපිරිසක් සිටිති. ඒ ජාතිවාදය වපුරන මාධ්‍යවේදීන් සහ රට නිදහස් කරගැනීමට උත්සාහ කරන  මාධ්‍යවේදීන්ය. සත්‍ය වශයෙන්ම අද සිදුවන්නේ ද එයම ය. රාජපක්ෂ සමග පරාද වූ සියලූම දෙනාට අද තිබෙන එකම මාර්ගය ජාතිවාදය පමණි. අලාභ ලබන මාධ්‍ය මුදලාලිලා ගේ ව්‍යපාර සරුවීමට නම් රාජපක්ෂම සිටිය යුතුය. ඇතැම් කැලෑ-රූප වාහිනී නාලිකා රාජපක්ෂලාගේ පස්සෙන් පන්නාගෙන ගොස් උත්තරය සමගම ප්‍රශ්නය ද අසමින් රාජපක්ෂ ලවා කුමක් හෝ කියවාගැනීමට උත්සාහ දරන්නේ මේ නිසාය. තම ආත්ම ගෞරවය ගැන අබමල් රේණුවක් හෝ හැඟීමක් නැති රාජපක්ෂ ද කුමක් හෝ කටට එන වාචාල කථාවක් කියා ජාම බේරාගනී. මෙම අශීලාචාර මාධ්‍ය කලාව වෙනස් කිරීමට වික්‍රමසිංහ මහතා හුදෙකලා සටනක යෙදී සිටින බව පෙනෙන්නට තිබේ. සත්‍ය වශයෙන්ම එය රටට අද දිනයේ අවශ්‍ය දෙයකි. එම හුදකලා සටන කළ හැකි අද දවසේ සිටින එකම මහජන නියෝජිතයා වන්නේ ද වික්‍රමසිංහ මහතා පමණි.

මෙකී මාධ්‍ය දඩයක්කාරයන්ට ගොදුරුවන්නේ රටේ සමාජ-සංස්කෘතික ආගමික ධර්මතා මත පදනම් වූ මනුෂ්‍ය වටිනාකම්ය. ආගම සහ ජාතිවාදය මුල් කරගෙන ඉතා පහසුවෙන් අප වැනි රටක ගැටුම් ඇති කළ හැක. ඥානසාර වැනි එක් උන්මත්තකයෙක් සහ එක් කැලෑ-රූප වාහිනි නාලිකාවක් ඊට ප්‍රමාණවත් වේ.  එහි දී වික්‍රමසිංහ මහතා එක් නිර්භීත පියවරක් ලෙස මාධ්‍ය රීරි-යකුන් සහ ගෙම්බන් ආමන්ත්‍රනය කිරිම කාලීන අවශ්‍යතාවයකි. ජන නායකයෙකු තුල තිබිය යුතු නායකත්වයේ ලක්ෂනයකි. සැබැවින්ම මෙම දඩයමේ යන්නන් කරන්නේ රටේ ප්‍රශ්න නිරාකරනය කරනවා වෙනුවට ඒවාට අශිෂ්ඨ සහ අශීලාචාර අර්ථකතන දෙමින් මිනිසුන් කුපිත කිරිමයි. ඔවුන්ට ස්ථාවරයක් නැත. ස්ථාවරයක් දැරීමට අවශ්‍ය දර්ශනයක් හෝ දර්ශනයක් දැරීමට අවශ්‍ය හරි හමන් අධ්‍යාපනයක් හෝ නැත. ඔවුන්ගේ ස්ථාවරය කුමක්දැයි වික්‍රමසිංහ මහතා විවෘතවම පුනා පුනා ඇසුවේ එබැවිනි. සැබැවින්ම ඔවුන්ට ස්ථාවරයක්, දැක්මක්, අරමුණක් නැත. ඇත්තේ මහ ජනතාවගේ රීරි මාංශ උරාබීම පමනි.

රටේ තිබෙන රූපවාහිනි නාලිකා සහ ගුවන් විදුලි නාලිකා බහුතරය අයත් වන්නේ මුදලාලිලාටය. මුද්‍රිත මාධ්‍යය ද එසේමය. ඔවුන්ගේ අරමුණ හැකි සෑම අයුරකින්ම මුදල් හම්බකිරිම ය. නැතිනම් තම මාධ්‍යය තමාගේ අනෙකුත් මුදල් හම්බ කරන ව්‍යාපාර වල ලාභ ඉපැයිමේ ප්‍රචාරක අවිය ලෙස භාවිතා කිරීම ය. මාධ්‍යය නාමයෙන් පෙනී සිටිමින්, රට පුරා විෂ පතුරුවන කිසිදු මාධ්‍යයකට මෙම ප්‍රශ්නයට ඍජු පිලිතුරක් දීමට හෙට දවසේ ඉදිරිපත් වන්නේ ද නැත. ඒ අන් කිසිවක් නිසා නොව ඔවුන්ට  දීමට උත්තරයක් නැති නිසාවෙනි. නමුත් ඔවුන් නිසැකවම එක දෙයක් කරනු ඇත. අද මාධ්‍යය භාවිතයේ පවතින ශිල්ප ක්‍රම දෙකින් එකක් වන ‘මඩ ගැසීම‘ තෝරාගෙන වික්‍රමසිංහ මහතාට මඩ කප්පරක් ගසනු ඇත. අනෙක් ශිල්ප ක්‍රමය වූ ‘පිම්බීම‘ යොදාගෙන ඥානසාර වැනි උන්මත්තකයින් විරයන් කරනු ඇත. රාජපක්ෂ වැනි ජනතාව ප්‍රතික්ෂේප කළ දේශපාලන අඳ-බාලයෙකු දේශපාලන කරලියේ තබා ගැනීමට ඔහු පසු පස පන්න පන්නා ඔහුව පුම්බනු ඇත.

පාදඩයාට මුල අමතක වීම පාදඩකමේම ලක්ෂනයකි. ඔවුන්ට එක දෙයක් සිහිපත් කළ යුතුව ඇත. හෙට දිනයේ ඥානසාර නිකායේ එකෙකු මාධ්‍යවේදියෙකු ඝාතනය කර, ඔහු ගේ බිරිඳට “හිඟාකාපිය“ යැයි කී විට මේ මාධ්‍යවේදීන් කරන්නේ කුමක් දැයි ඔවුන් සිහියේ තබාගත යුතුව ඇත. එක්නැලිගොඩ නැවත පැමිනේ දැයි සැක සහිතයෙ. ලසන්ත නැවත නොඑන බව පැහැදිලිය. රාජපක්ෂලා ගිනි තබා විනාශ කළ මාධ්‍ය ආයතනවලට සාධාරණය  සහ යුක්තිය ඉටුකිරිම කළ යුතුව ඇත. ඊට අදාල සත්‍ය සොයාගැනීම අවශ්‍ය වේ. අනාගතයේ එවැනි දේ සිදුනොවීමට වග බලා ගත යුතුය. මිට වසරකට පෙර මාධ්‍යයට තිබු කෙනෙහිලිකම් සහ බය අද නැත. ඊනියා නිදහසින් ඔබ්බට ගිය සීමාවන් ද අද මාධ්‍යයට විවර ව ඇත. නිර්මානශීලි අවස්ථාවන්ට ඉඩ ඇත. එහෙත් මාධ්‍ය-රීරි යකුන් ප්‍රසිද්ධියේම දඩයමේ යන්නේ ඔවුන් ගේ සුපුරුදු දොල-පිදේනි සොයාගෙනය. ඊනියා දේශප්‍රේමි මාධ්‍ය ගෙම්බන් බඩ පිනුම් ගසන්නේ ජාතිවාදී මඩ වලටම ය.

අද වන විට මාධ්‍ය-සාකච්ඡා පැවැත්වීම ඉතා සුලබ දෙය. ඕනෑම කෙනෙකුට ඕනෑම දෙයක් ගැන මාධ්‍යය සාකච්ඡා තැබිය හැක. මිනීමරුවාගේ මල්ලී ද, මිනීමරුවාගේ බිරිඳ ද මාධ්‍ය සාකච්ඡා පවත්වති. ඒවාට සහභාගී වන ගොබ්බ නීතිඥයෝද,  රීරි-යක් කුලයේ මාධ්‍ය කාරයෝද සිටිති.  රටේ සිදුවන ඕනෑම දෙයක් සජීවි මෙගා ටෙලි නාටකයක් බවට හැරවිය හැක (සෙව්මිනි දැරියගේ ඝාතනය සියලුම කැලෑ-රූප වාහිනී වල මෙගා ටෙලියක් කර පෙන්වා රටම කුපිත කරවීය) අවශ්‍ය නම් රීරි-යක් කුලයේ මාධ්‍ය කාරයන් ගෙදරටම ගෙන්වා සාකච්ඡා පැවැත්වීම ද කළ හැක. නැති නම් බලෙන් ඇවිත් සාකච්ඡා පවත්වති. රාජපක්ෂලා රටට හඳුන්වා දුන් අශීලාචාර දේශපාලනය අභිබවා යන ජඩ-මාධ්‍ය සංස්කෘතියක් රටේ රෝපනය වී අතු ඉති ලා ඇති බව පැහැදිලිය.

වික්‍රමසිංහ මහතා කී ආකාරයට විද්‍යුත් මාධ්‍ය සැලකෙන්නේ පොදු දේපල ලෙසය. ඒ ප්‍රධාන වශයෙන් විද්‍යුත් තරංග යනු මහජන දේපොල වන බැවිනි. ඊටත් එහා ගොස් සමහර විද්‍යුත් මාධ්‍ය යැපෙන්නේ මහජනතාවගේ බදු මුදල් මතය. රටේ ජනතාව බහුතරයක් රුපවාහිනිය සහ ගුවන් විදුලියට ඇබ්බැහි වී ඇත. මුද්‍රිත මාධ්‍ය භාවිතයට ගැනෙන්නේ අල්ප වශයෙනි. අන්තර්ජාලය භාවිත වන්නේ ඊටත් අඩුවෙනි. එබැවින් විද්‍යුත් මාධ්‍යයට සුවිශේෂ තැනක් හිමිවේ. මේ පිලිබඳ වඩාත් පුළුල්ව විග්‍රකිරිම අවශ්‍ය වන්නේ අද රටේ තිබෙන සියළුම රුපවාහිනී නාලිකා එකම ආකාරයේ මාධ්‍යය භාවිතයක යෙදීම සහ එකම ආකාරයේ මාධ්‍යය සංස්කෘතියක් නියෝජන කිරිමත් එයින් රටට සිදුවන්නේ කුමක් දැයි අවබෝධ කරගැනීමට ය. මේ අශීලාචාර සමාජ-දේශපාලන ක්‍රමය ඒ විසින්ම එහි පැවැත්ම සඳහා ගොඩනගන ලද මාධ්‍යය තුල කිසියම් ගුණාත්මක වෙනසකට අවශ්‍ය කාලය ද මෙය වේ. පෙර කී සේ අග්‍රාමාත්‍ය වික්‍රමසිංහ මහතා මේ වෙනුවෙන් ඉතා හුදෙකලා සටනක් යෙදෙන බව පෙනේ. ඔහු විවෘතව ආයාචනක් කරමින් කියා සිටියේ අප සියලුම දෙනා එක්ව වැඩකරමු කියාය. ඔහු මාධ්‍ය ආයතන වලින් ප්‍රශ්න කෙළේ නුඔලා සිටින්නේ කොහේද? කියාය.

අගමැතිවරයා ඉන් නොනැවතී අද පවතින සමාජ-දේශපාලන-සංස්කෘතිය වෙනස් කිරීමට දේශපාලන නායකත්වය දෙන අතරේ, ඒ සඳහා යහපාලන සිද්ධාන්ත මත පදනම්ව ප්‍රායෝගික වූත් ජාතික වූත් මහජනතාව දැනුවත් කිරීමේ සැලස්මක් නිර්මාණය කිරීමටත් යාන්ත්‍රණයක් සැකසීමටත් ඒ වටා මහජනතාව පෙළ ගැස්වීමත් කළ යුතුය. එසේ නොමැතිව යහපාලනය රටේ ස්ථාපනය කිරීම අසීරුය.

-ලංකා ඊ නිව්ස් පාඨක -එම්.ඒ.ජේ.ආර් – 

http://www.lankaenews.com