හොරු අල්ලන ඇමැතිකමක් ලැබුණොත් ආසයි-රන්ජන්

0
103

දැන් ඔබ ඔබගේ රාජයෝගයට ලක ලෑස්ති වෙලාද?

ඔව්. ඔය රාජ යෝගය කතාව මට කිව්වේ ජ්‍යෝතිශය ගැන දන්න මිත්‍රයෙක්. ඔහු කිව්වෙ මම මේ රටේ ඉහළම තැනට යනවා කියන එක. ඒ වෙලාවේ මම ඇහුවා. පිදුරුතලාගල කන්දටද , සමනළ කන්දටද එහෙමත් නැත්නම් නෙළුම් පොකුනේ කණුව උඩටද කියලා. කොහොම වුනත් කිහිප වරක්ම මේ රටේ ජනප්‍රියම නළුවා මම. දේශපාලනයේදී කටාන ආසනයේ ප්‍රධාන සංවිධායක, සබරගමුව විපක්ෂ නායක, එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලය සහ නියෝජ්‍ය අමාත්‍යධූර දෙකක්. මේවෙනකොට දිවුලපිටිය ආසනයේ එක්සත් ජාතික පක්ෂ අපේක්ෂකයා.   පේස්බුක් ගිණුමේ පමණක් මේ වෙනකොට ලක්ෂ තුනකට කිට්ටු මිතුරු මිතුරියන් ප්‍රමාණයක් ඉන්නවා. මේ සියළු දේවල් ලැබුවේ කෙටි කාලයකින්. ඉතිං රාජ යෝගය කියන්නෙ  ජනතාව අතර විශ්වාසය දිනාගෙන කටයුතු කිරීම කියලයි මම හිතන්නෙ.

මේ වෙනකොට ජනතාවගෙන් ලැබෙන ප්‍රතිචාර කොහොමද?

එදා ඉඳළම ඉහල ප්‍රතිචාරයක් තියෙනවා. ජනතාව දන්නවා මම මහජන මුදලට අත තියලා නෑ. කුඩු එතනෝල් ගෙනහල්ලා නෑ. පාර්ලිමේන්තුවේ ගොලුවෙක් වගේ හිටියේ නෑ. මිනිස්සු කියන්නෙ කෙළින් කතා කරන, දූෂිතයන් හෙළි කරන එකම පුද්ගලයා මම කියලයි. මේ හින්ද මට තියෙන්නෙ ඉතා ඉහළ ප්‍රතිචාරයක්. ඒ ප්‍රතිචාර බොහොම අව්‍යාජයි. සෙට් කරපු ප්‍රතිචාර නෙමෙයි.

ඔය විදිහට දූෂණ හෙලි කිරීම ගැන තර්ජන ගර්ජන තියෙනවාද?

ඔව් . ඇත්තටම ඔව්. එක අවස්ථාවක හිරු බලය වැඩසටහනේදී 50 – 60 විතර විශාල පිරිසක් කඩාගෙන ආවා මට පහර දෙන්න.. ඇත්තටම එදා මට මරණය පෙනුනා.  2008 සබරගමුව ඡන්දෙදි රත්නපුරේදි වාහන කුඩුකළා.  2002 දි 460 ක ශ්‍රීලාංකික පිරිසක් ලෙබනනයේ හිර කරගෙන හිටපු වෙලාවෙ ‘ලෙබනන් වදකාගාරය තානාපති කාර්යාලයේ’ කියන හෙළිදරව්ව කළහම මට ලොකු ප්‍රහාරයක් සැලසුම් කරලා තිබුණා. කුඩු කාරයො එක්ක හැප්පුනේ මරණ වරෙන්තුව අතේ තියාගෙන. පාරෙ මරල දාල යන එක ඔවුන්ට සුලු දෙයක්. මම බොහොම අමාරුවෙන් ගැලවිලා තියෙන්නෙ. මැද පෙරදිග විෂයයත් අමාරු විෂයයක්. හැප්පෙන්න සිද්ධවෙන්නෙ හොර ඒජන්සි කාරයො එක්ක. ඔවුන් ධනවත්. මරණ කොන්ත්‍රාත්තුවක් දෙන එක ඔවුන්ට සුලු දෙයක්.  මේ හෙළිදරව් හින්ද දැනට නඩු 7ක් වැටිලා තියෙනවා. එහෙම බලනකොට මම වැඩිම නඩු ගණනක් තියෙන දේශපාලකයෙක්.

මොනවා ගැනද ඔබට ඔය තරම් නඩුදාලා තියෙන්නෙ?

අකුරැස්ස ප්‍රාදේශීය සභා සභාපතිවරයා කන්‍යාවන් සීයක් දූෂණය කරල පාටියක් දැම්මයි කියන ප්‍රසිද්ධ කතාව එක අවස්ථාවක මමත් මතක් කළහම  මම ඒ කිව්ව ආකාරයෙන් එයාගෙ හිත හුඟක් රිදුනයි කියල කෝටි සීයක් වන්දි ඉල්ලල නඩු දැම්මා. මහින්දානන්ද නඩු දාල තියෙන්නෙ දෙරණ වාද පිටියට වෙන නොම්බරයකින් නඩුවක් ගැන ප්‍රශ්නයක්  ඇහුවා  කියල. ඒකත් කෝටි සීයක්. ස්වර්ණවාහිනියේ මමත් සහභාගිවෙච්ච සාකච්ඡාවකට කෝච්චි වලින් රත්ත්‍රන් මාල කඩන් පනිනවා කියල ප්‍රසිද්ධ කෙනෙකුත් එනවා කියල දැනගන්න ලැබුණා.ඉතිං ඒ වෙලාවෙ මං පැළඳගෙන හිටපු මාලයේ ආරක්ෂාව ගැන මට හිතන්න සිද්ධ වුණා. ඒ වෙලාවෙ සජීවිවම මම මගේ මාලය ගලවල නිෂ්පාදක කණ්ඩායමට දුන්නා.අර පුද්ගලයා එන්නෙ නෑ කියල ආයෙත් දැන ගන්න ලැබුණා. ඒ වෙලාවෙ මම මාලය ගෙන්වාගෙන ආයෙත් පැලඳ ගත්තා. ඒ වෙලාවෙ මං බයවීම මගේ අයිතියක්. ඒත් ඒකට ඔහු කෝටි සීයක් වන්දි ඉල්ලල නඩුවක් දාලා.

ඔබගේ ආසනය තුළ ඔබට තරඟයක් නැද්ද?

මරණ වෙරෙන්තු අතේ අරගෙන පිට ගම් වලට ගිහිල්ල සටන් කරපු කෙනෙක් මම. එදා රත්නපුරේට ගිහිල්ල මහීපාල පරාජය කරන්න ඒ අභියෝගය මං බාරගත්තා. එතකොට ආණ්ඩු පක්ෂය චෝදනා කළා මං පැරෂුට්කාරයෙක් කියලා. දැන් දිවුලපිටිය දිනවන අභියෝගය මං බාරගෙන තියෙන්නෙ. දිවුලපිටිය ජනතාව තුළ ලොකු ප්‍රබෝධයක් ඇතිවෙලා තියෙනවා. ඔවුන් මාව ආදරයෙන් පිළිගත්තා. 17 වැනිදා ඡන්දයේදි ඔවුන් ඔවුන්ගේ කැමැත්තෙන් මාව දිනවන බව මට විශ්වාසයි.

රන්ජන් රාමනායක කියන දේශපාලඥයාටද, රන්ජන් රාමනායක කියන සිනමා නළුවාටද ජනතාවගේ වැඩි කැමැත්ත?

නළුකම සහ ස්වරූපයට වඩා මිනිස්සු විශ්වාස කරන්නෙ ප්‍රතිපත්තිගරුක භාවය. ජනතාව වෙනුවෙන් මොනතරම් පෙනී සිටිනවාද කියන එක. ජනතාව වෙනුවෙන් මොනතරම් අවදානමක් ගන්නවාද කියන එක. ප්‍රියමනාපකම, කරුණාව, දයාව වගේ දේවල් ඒකට එකතු වෙන්න පුලුවන්. කොච්චර දක්ෂයෙක් වුණත් වාසියට එහාට මෙහාට පනිනවානම් , වචනය වෙනස් කරනවානම් මිනිස්සු එයාව ප්‍රතික්ෂේප කරනවා. එහෙම අය ගැන මිනිස්සුන්ට විශ්වාසයක් නෑ.

ඔබට ලැබුණු නියෝජ්‍ය අමාත්‍යධූර වලින් මොනවාද කරන්න පුලුවන් වුනේ?

මම වැඩ බාර ගත්තෙ සමාජසේවා සුබ සාධන හා පශු සම්පත් නියෝජ්‍ය අමාත්‍යවරයා විදිහට අසරණභාවයට පත් පුරවැසියන් තුන් ලක්ෂ අසූහයදාහකට රු. දෙදහස ගණනේ දීමනාවක් ලබා දෙන්න පුලුවන් වුණා. අවශ්‍යතා ඇති පුද්ගලයින්ට ඇස් කණ්නාඩි , කිහිලිකරු ආදිය ලබා දීමට කටයුතු කලා. වැඩිහිටි නිවාස ගැන සොයා බලා ඒවා වැඩි දියුණු කිරීමට කටයුතු සූදානම් කළා. පශු සම්පත් සංවර්ධනයට අදාල වැඩපිලිවෙලවල් කිහිපයක්ම සාකච්ඡාකොට සකස් කරල තියෙන්නෙ.මැතිවරණ නීති නිසා ඒවා මේ දවස්වල ක්‍රියාත්මක කරන්න පුලුවන් කමක් නෑ.

ඉදිරි රජයකදී මොනවගේ ඇමතිකමක් කරන්නද බලාපොරොත්තු වෙන්නෙ?

සමාජ සේවා සුබසාධන අමාත්‍යාංශයට මම කැමතියි. ඒත් අපේ රටට ලොකු ආදායමක් ලැබෙනවා  පසුගිය රජය හොරකම් කරල තියෙන ත්‍රිලියන ගණනක විතර මුදල් ප්‍රමාණය නැවත ලබා ගත්තොත්. ඒක හින්ද ‘හොරු අල්ලන ඇමතිකමක්’ ලැබුණොත් ආසයි.ත්‍රිලියන ගණනක් කියන්නෙ ලේසි පහසු මුදලක් නෙමෙයිනෙ.2015 වෙනකම් හිටිය මේ කණ්ඩායම අධික විදිහට ධනවත් වෙලා.

 හැම කලාකරුවොම පාර්ලිමේන්තුවට යන්නෙ කලාව, සිනමාව වෙනුවෙන් කතා කරනවා කියලා. ඔබට ඒ ගැන විධිමත් වැඩපිලිවෙලක් තියෙනවාද?

මට ඒ ‍චෝදනාව කවුරුවත් කරල නෑ.ජනතා විමුක්ති පෙරමුණේ ලාල්කාන්ත සහෝදරයා ඔය ගැන කතා කරල තියෙනවා. ඒත් ඔහු මගේ නම කියල නෑ. කලාකරුවන්ට කාර් එකක් මිලදී ගන්න ලක්ෂ 12ක් මදි. ඒක ලක්ෂ 16ක් කරන්න කියල කිව්වෙ මම. ඒ සඳහා සාක්ෂිකරුවන් අයින්කරන්න කියල කිව්වෙත් මම.විශ්‍රාම වැටුපක් හා ඉඩම් ව්‍යාපෘතියක් සඳහාත් වැඩකටයුතු සූදානම් කළා.සමහරු යෝජනා කරන්නෙ කලාකරුවන්ට නිවාඩුනිකේතන. ඒත් නිවාඩු නිකේතන වලට යන්න කලාකරුවන්ට සල්ලි කෝ. ඒවාට ගිහින් කන්න බොන්න සල්ලි කෝ. කලාකරුවන් වෙනුවෙන් කතා කරන්න ගිය කලාකරුවො කතා කළේ තම තමන් ගැන විතරයි. හරි හම්බ කරගත්තෙ ඔවුන් විතරයි. පොදුවේ කලාවට මොනවත් වුණේ නෑ.

කලාකරුවන් වෙනුවෙන් කරන සුබසාධන වැඩ වලට අමතරව කර්මාන්තය සඳහා විධිමත් වැඩ පිළිවෙලක් තියෙනවාද?

කලාකරුවන්ට කරන්න පුලුවන් ලොකුම සේවාව තමයි ඔවුන්ට කලාකෘති කරන්න පුලුවන් නිදහස් වාතාවරණයක් හදල දෙන එක.ගජ මිතුරු සංකල්පය නැති කළා. වාරණ මණ්ඩලයේ දංගෙඩියෙන් කලාකරුවා නිදහස් කළා. සිනමා ශාලා ඩිජිටෙල් කරණය කරනවා කියල රතු සුදු වයින් බීලා ලොකු සද්දයක් දාලා කලාකරුවො රවට්ටපු කාලයක්නෙ තිබුණෙ.

සිනමා ශාලා ඩිජිටල් කරණය කරන්න පසුගිය රජය ලොකු සද්දයක් දැම්මත් ඒක වුනේ නෑ. හොඳයි ඔබලා බලයට පත්වූවොත් සිනමා කර්මාන්තය වෙනුවෙන් පලමුව කරවා ගන්න ඕනෑ කාර්යය ඒක නෙමෙයිද?

ඒක කළයුතුමයි. දැනට පෞද්ගලික අංශයෙන් ඇතැම් සිනමා ශාලා ඩිජිටල් කරණය කරල තියෙන්නෙ. ඒකට ඔවුන්ට ණය පහසුකම් දිය යුතුයි. ඔවුන් දිරිමත් කලයුතුයි. ඒ සඳහා විධිමත් වැඩපිළිවෙලක් සකස් කලයුතුමයි. ඒ සඳහා බලපෑම් කරන පැත්තේ මම ඉන්නවා.

අවසාන වශයෙන් මොකද හිතෙන්නෙ?

පසුගිය ජනවාරියේ මේ රටේ ජනතාව කළේ දේශපාලන වශයෙන් ‍‍ෛඑතිහාසික විප්ලවයක් . ඒ ව්‍යායාමය තවදුරටත් ගෙනියන්න ස්ථාවර රජයකට බලය ලබා දෙන්න දැන් අවස්ථාව එලැඹිලා. එදා ජනවාරියේ ගත් ඒ නිවැරදි තීන්දුව ශක්තිමත් කරන්න කියන ඉල්ලීම මම ජනතාව හමුවේ තබනවා.එදා අපි ඒ ‍ෛඑතිහාසික ජයග්‍රහණය ලැබුවේ 2/3ක විධායක ජනාධිපති බලයක් තුළ. එහෙව් එකේ කුරුණෑගල මන්ත්‍රීධූර අපේක්ෂකයෙක් පරද්දන්න බැරිද? ජනතාව නිවැරදි තීරණය ගනීවි.

Dhammika akmeemana

www.lankalivestar.com

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here