“අච්චාරු මාමා”

0
84

හැමදේකටම වැඩ්ඩෝ ඉන්න මීගමුවේ ,දශක තුනකට අධික කාලයක් එනම් වසර 35ක පමණ කාලයක් තිස්සේ මීගමුව නගරයේ ජීවත් වෙන සහ මීගමුව නගරයට නිතර යන එන සහ දහස් සංඛ්‍යාත පිරිසකට රසම රස පලතුරු අච්චාරු සැපයූ එක්ස්පර්ට් කෙනෙක් ගැන කියන්නයි, මේ සටහන තැබෙන්නේ.

මීගමුව පිටිපන පාරේ අසිරිමත් දේව මාතා පාසල අසල තහඩු යොදා කුඩාවට හැදූ පුංචි කඩයක සිට වසර තිස් පහකට වැඩි කාලයක් රසම රස අච්චාරුවලින් අපේ කට දිව පිනවපු ටියුඩර් තිලකරත්න ගැන කියන්නයි මේ සැරසෙන්නේ.

ඔහුගේ නියම නම ටියුඩර් තිලකරත්න වුනාට , ඔහුව කුඩා දරුවන් සහ තරුණ පිරිස් වැඩිපුරම හඳුන්වන්නේ ඉස්කෝලේ ගාව අච්චාරු මාමා කියලා. ටියුඩර්  උපන්නේ 1956 අවුරුද්දේ . ඔහුගේ උපන් ගම තිඹිරිගස්කටුව. ඒත් දැන් ඔහු පදිංචි වෙලා ඉන්නේ කටාන, අක්කර පනහ ප්‍රදේශයේ. ඔහු පාසල් ගිහින් තියෙන්නේ තිඹිරිගස්කටුව මහා විද්‍යාලයට. පහ වසර වෙනකන් පාසල් ගිය ඔහු රැකියාවක් කරන්න හිතාගෙන කම්කරුවෙක් විදිහට තිමිරිගස්කටුවේම තිබුණු පොල්තෙල් මෝලකට ගිහිල්ලා තියෙනවා. ඉගෙන ගන්න පුළුවන්කම සහ කැමැත්ත ආශාව තිබුණත් තම පවුලේ ඒ වන විට තිබුණු කප්පරක් වූ ආර්ථික ප්‍රශ්න හේතුවෙන් තමයි ඔහු මේ තීරණය අකමැත්තෙන් වුණත් අරන් තියෙන්නේ.

මොකද ඔහුගේ පියා රැකියාව විදිහට කෙරුවේ මාළු වෙළඳාම. මව රැකියාවක් කරලා නැහැ. ඔහුගේ පවුලේ දරුවන් අට දෙනයි. ඔහු පවුලේ හතර වෙනියා. ආර්ථික ප්‍රශ්න එක පිට එක නොනැවතී එද්දි ඔහු කරමින් හිටිය පොල්තෙල් මොලේ රැකියාවට සමුදීලා තවත් විවිධාකාර තැන්වල කම්කරු රැකියාවන් වලට යොමු වෙලා තියෙනවා. එහෙම ඉන්න අතරේ තමයි ඔහු විවාහ වෙලා, බිරිඳගේ ගමට ඒ කියන්නේ මීගමුව මුන්නක්කරේ ප්‍රදේශයේ පදිංචියට ඇවිල්ලා තියෙන්නේ. මුන්නක්කරේට ඇවිල්ලත් විවිධ තැන් වල රැකියාව කරලා, ඔහු අවසානයේදී කලපුව ළඟ තොටුපොළ සමීපයේ අන්නාසි වෙළඳාමක් කරන්න පටන් අරගෙන තියෙනවා. ඒ කියන්නේ අන්නාසි කපලා අන්නාසි කෑලි වලට මිරිස්, ලුණු වගේ දේ දාලා අලෙවිකරණ ස්වයං රැකියාවක්. මේ වෙළඳාම සාමාන්‍ය විදිහට ගත්තහම ඒ කාලයේ ටිකක් සරුවට සිදුවෙලා තියෙනවා. මේක මෙහෙම අවුරුදු දෙකක් විතර කරගෙන යද්දී ඔහු වෙළඳාම් කරපු ස්ථානයේම ඉඳලා තියෙනවා, මිනුවන්ගොඩ ප්‍රදේශයේ ඉඳලා ආපු පලතුරු අච්චාරු විකුණන අම්මලා කිහිපදෙනෙක්. කාලයක් යද්දි ඒ අම්මලා උන් හිටි ගමන් මීගමුවේ වෙළඳාමට ඇවිල්ලා නෑ. හොයලා බලපුවහම ඒ අම්මලා කිහිපදෙනා , මීගමුවට ඇවිත් පලතුරු අච්චාරු විකුණන එක නතර කරලා. අන්න ඒ නිසා තමයි ටියුඩර් අච්චාරු වෙළඳාම කරන්න පටන් අරන් තියෙන්නේ.

ඔහු හිටපු ඒ ස්ථානය මාරු කරලා , ඒ අනුව තමයි දැන් ඉන්න අසිරිමත් දේව මාතා පාසල ළඟට මේ පුංචි කඩේ හදාගෙන ඇවිල්ලා තියෙන්නේ.

" මහත්තයෝ මගේ  වයස අවුරුදු 68යි. මගේ තාත්තා මාළු වෙළදම කෙරුවත්, ඒ රස්සාවට මගේ කිසිම කැමැත්තක් තිබුණේ නෑ. ඒ නිසයි මම වෙන වෙන විදිහේ එක එක තැන්වල රැකියාවන් කරන්න පටන් ගත්තේ. ඒත් මට තේරුණා අනුන් යටතේ රස්සාවක් කරනවාට වඩා, මගේම කියලා පොඩි බිස්නස් එකක් පටන් ගත්තොත් හොඳයි කියලා, එහෙම හිතලා තමයි මම අන්නාසි කපන වැඩේ පටන් ගත්තේ. ඒත් ඒක අවුරුදු දෙකක් විතර කරගෙන යද්දි, මට තේරුම් ගියා, අන්නාසි වගේම වෙනත් පලතුරුත් එකතු කරලා හදන අච්චාරු වලට කවුරුත් කැමති වෙයි කියලා. ඒත් මට ඒ වැඩෙි එක පාරටම පටන් ගන්න පුළුවන්කමක් තිබුණේ නෑ. මොකද ඒ වෙද්දිත් මම අන්නාසි වෙළඳාම් කරන තැනම මිනුවන්ගොඩින් ඇවිත් අච්චාරු වෙළඳාම් කරන අම්මලා කීපදෙනෙක් හිටියා . තවත් කෙනෙකුගේ වෙළඳාමක් මම කරන එක මනුස්සකමට හරි නැති හන්දා මම ඒක කරන්න ගියේ නෑ. හැබැයි ඔහොම අවුරුදු දෙකක් විතර යද්දී. ඒ අච්චාරු වෙළඳාම් කරපු අම්මලා මීගමුවට එන එක නතර කෙරුවා. ආන්න ඒ වෙලාවේ තමයි මම මේ අච්චාරු හදලා විකුණන වැඩේ පටන් ගත්තේ. එතන ඉඳලා මම මේ වෙද්දි අවුරුදු 35 ක් විතර කාලයක් මේ ඉස්කෝලේ ගාව ඉඳලා මම තවමත් මේ වෙළඳාම කරගෙන යනවා" ටියුඩර් අංකල් ගාව වැඩිපුරම තියෙන්නේ අන්නාසි අච්චාරු . ඒත් එක්කම අඹ, වෙරළු, අඹරැල්ල , ලොවි , පේර, ජම්බු , ඒ වගේම දිවුල් තියෙන කාලෙට ඒවායින් හදන දිවුල් කුඩු එහෙම ටියුඩර් අංකල් ගාව තියෙනවා . කොහොම වුණත් ටියුඩර් අංකල් දවසකට අඩුම තරමින් අන්නාසි ඇතුළු පලතුරු ජාති තුනක් වත් මේ අච්චාරු  වලට එක් කරනවා.

ඉතින් තමන්ගේ කැමැත්ත අනුව මෙතැන තියෙන පලතුරු වෙන වෙනම තනි අච්චාරුවක් විදිහට ගන්නත් පුළුවන්. එහෙම නැත්නම් තමන්ට කැමති පලතුරු මිශ්‍ර කරලා මිශ්‍ර කරපු අච්චාරුවක් විදිහට ගන්නත් පුළුවන්. " දැන් අද දවසට මම අන්නාසි කිලෝ 50 ක් ගෙනාවා , මේක සමහර දවස්වලට කිලෝ 100, 150 , 200 වෙන්නත් පුළුවන්. ඒත් එක්ක මම අද අඹ කිලෝ 35 ගෙනාවා, වෙරළු කිලෝ 10 ක් විතර වගේ ප්‍රමාණයකුත් අද මම ගෙනාවා. දවසට ගේන පලතුරු ප්‍රමාණය මට හරියටම කියන්න බෑ. මොකද දවසේ මිල ගණන් බලලා තමයි, මම තීරණය කරන්නේ, එදා දවසට ගන්න ප්‍රමාණය. වැඩිපුර ගෙනාවොත් මම අනිත් දවස්වලට ගන්න ඒවා අරන් තියනවා. මට අච්චාරු වලට ඕන කරන පලතුරු තොග මිලට ගෙනත් දෙන මගේ හිතවත් කෙනෙක් ඉන්නවා . එයා මට පලතුරු ගෙනත් දෙන්නේ හොඳ පිරිසිදු , කුණු වෙලා නැති ඒ වගේම පණුවෝ ගහලා නැති හොඳම එිවා. එයාගෙන් තමයි මම මේ අච්චාරු වෙළඳාම කරන්න ඕනෑ වෙන පලතුරු අර ගන්නේ. මේකෙන් මට සැලකිය යුතු මුදලක් ලැබෙනවා. ඒකෙන් මටයි බිරිඳටයි ජීවත් වෙන්න තරම් මුදලක් ලැබෙනවා.

මට දරුවො දෙන්නෙක් ඉන්නවා. ඒ දුවයි , පුතයි. දුව නම් දැන් කසාද බැඳලා, එයාට දරුවොත් ඉන්නවා. පුතා නම් තවම කසාද බැඳලා නෑ. එයා ඉතින් එක දෙයක් කියලා නෑ රස්සාව හැටියට එක එක දේ කරනවා. මගේ දරුවෝ නම් , විශේෂයෙන්ම මගේ පුතා නම් කවදාක්වත් මගෙන් පස්සේ මේ වෙළඳාම කරන්න එන එකක් නැහැ. හැබැයි සමහර වෙලාවට මගේ බිරිඳ මේ වෙළඳාම කරගෙන යන්න පුළුවන්. ඒක මට කියන්න බෑ. දැන් ඉතින් අපි වයසයි. මට මේ වෙද්දි දියවැඩියාව ප්‍රෙෂර් වගේ පොඩි පොඩි අසනීප ටිකකුත් තියෙනවා. ඒවා වලට බෙහෙත් ගන්න යන වියදමත් කරගන්නෙත් මේ වෙළඳාමෙන් තමයි." ටියුඩර් අන්කල් කියන විදිහට එයා ගාවට එන අය වැඩිපුරම ඉල්ලන්නේ අන්නාසි ආච්චාරුලු . පිට රටවල ඉඳල එන සුදු නෝනාලා වගේම සුදු මහත්තුරුත් වැඩිපුරම ඉල්ලන්නේ අන්නාසිලු. එයාලා බොහෝ වෙලාවට මිරිස් ගම්මිරිස් දාන්නත් එපා කියනවලු. ඒත් අපේ ලංකාවේ අය විශේෂයෙන්ම මීගමුවේ අයත් වැඩිපුරම ඉල්ලන්නේ අන්නාසිලු. හැබැයි අපේ ලංකාවේ අය නම් විශේෂයෙන්ම මීගමුවේ උදවිය හොඳට මිරිස් දාලා ගම්මිරිස් දාලා ලුණු දාලා තමයිලු මේ අච්චාරු අරගෙන යන්නේ. ටියුඩර් අංකල් කියන විදිහට එයා මේ වෙද්දි මේ වැඩේට සහායට එයාගේ යාළුවෙක්වත් එක්කගෙන ඇවිල්ලා තියෙනවා. අච්චාරු වලට මේ පලතුරු කපන්න කරන්න ඔහු ටියුටර් අංකල්ට ගොඩක් සහය වෙනවා. ඔහුගේ නම ජොයිනස් ලීමා, 55 හැවිරිදි ඔහු ඉන්නේ මුන්නක්කරේ. ටියුඩර් අංකල් කියන විදිහට එයාගේ වැඩ වලට සහය දෙන මේ ජොයිනස් කියන එයාගේ යාලුවටත් වෙන කරන්න රස්සාවක් නැති නිසා ඔහු යැපෙන්නෙත් මේ වෙළඳාමෙන් ලැබෙන මුදලින්ලු.

https://youtu.be/6eNn1rk_auY?t=8

. ඒ වගේම ටියුඩර් අංකල් කියනවා, එයා මේ අච්චාරු වෙළඳාම පටන් අරගෙන අවුරුදු 35 ක් විතර ගත වුණත් , මෙතෙක් එයාට විරුද්ධව කිසිම කෙනෙක් මේ අච්චාරු වෙළඳාම සම්බන්ධව දෝෂාරෝපණයක් හෝ පැමිණිල්ලක් හෝ මෙතෙක් කාගෙන්වත් ලැබිල නෑලු .

මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ නිරන්තර අවධානයට ලක්වෙන ටියුඩර් අංකල්ගේ ආච්චාරු වෙළඳාමට හැම දවසකම වාගේ දවල් 11.00 සිට දවල් 1.00 පමණ වනතෙක් වැඩි පිරිසක් අච්චාරු අරන් යන්න එනවා කියලා ඔහු කියනවා. කොහොමත් දවසකට 150 කට විතර වැඩි පිරිසක් ටියුඩර් අංකල් හදන මේ රසවත් පළතුරු අච්චාරු අරන් යන්න එනවාලු ඉතින් කටට රස ගෙනෙන, රසවත් පලතුරු අච්චාරු කන්න අපි වගේම ඔයාලත් කැමති ඇති. එහෙම රසවත් සහ නැවුම් පලතුරු අච්චාරු කන්න ආසාවක් ඇති වුනොත් මීගමුවේ අවුරුදු 35 කට වැඩි කාලයක් රසවත් පලතුරු අච්චාරු අලෙවි කරන ටියුඩර් අංකල්ව මතකයේ තියාගන්න. සතියේ සෑම දවසකම විශේෂයෙන්ම ඉරිදා දවසේත් , ටියුඩර් අංකල් මීගමුව පිටිපන පාරේ අසිරිමත් දේව මාතා පාසල ළඟ උදේ 9.00 ඉඳලා සවස 3.30, 4.00 වෙනකම්ම ඔයාලට රසම රස නැවුම් පලතුරු අච්චාරු ලබා දෙන්න සැදී පැහැදී ඉන්නවා. ඉතිං අපි නැවතත් කියනවා පවුලේ අයත් එක්ක හරි,නෑදෑයෝ එක්ක හරි ,එහෙමත් නැත්නම් යාළුවෝ ටිකක් එක්ක සෙට් වුනාම හරි, විනෝදයට, ආසාවට, අතුරු පසක් විදිහට, එහෙමත්ම නැත්නම් බයිට් එකක් විදියට හරි රසවත්, නැවුම් පලතුරු අච්චාරු ටිකක් කන්න හිතුණොත් අපි අර මුලින් කිව්ව වගේ අවුරුදු 35 ක් පුරා මීගමුවේ සැමටම රසවත් පලතුරු අච්චාරු රස ගෙන ආ ටියුඩර් අංකල්ට කතා කරන්න,. ....

දුරකතන අංකය.
0729149911