අතට මුදල් සහ හිතට සතුට දෙන පිටිපන මහ පාලම..

0
529

IMG-20200921-WA0002ප්‍රියන්ත අවුරුදු 32 ක් තිස්සේ පිටිපන ලෙල්ලම අසල මහ පාලම උඩ මසුන් බිලී බෑම කරයි. මාළුවෙකු තම යොතේ ඇති ඇම ගිල දැමූ වහාම එකී මාළුවා ගොඩට ගෙන යොත සමඟ රැගෙන එන්නේ ලෙල්ලමටයි. ඔහු මේ සඳහා සාධාරණ මිලක් බලාපොරොත්තුවෙයි. ඒ සඳහා සාධාරණ මිලක් ලබාදෙන්නට මෙම ලෙල්ලමේ සිටින එකම පුද්ගලයා වන්නේ මීගමුව නගර සභාවේ නාගරික මන්ත්‍රී වරයෙකු වන සංගීත් පෙරේරා පමණි. ප්‍රියන්ත අප සමඟ ප්‍රකාශ කළේ ඔවුන්ට මෙම කටයුත්තට ප්‍රබල ශක්තියක් වී ඇත්තේ ඔහු බවය. ඒනිසා පන ගැහෙන මොදා සහ වෙනත් මාළු වර්ග සංගීත් මහතාගේ මාළු ලෑල්ලේ නිතර සුලභ දසුනක් වී ඇත. ප්‍රියන්ත පමණක් නොව පාලම උඩ සිට බිලීබාන තවත් අය මෙසේ සංගීත් මහතා ගෙන් සාධාරණ මිලක් අපේක්ෂාවෙන් එසේ අල්ලන මාළු රැගෙන එන්නේ ඉහතකී සාධාරණත්වය නිසාය.
මෙම රස්සාවේ දුෂ්කර බව ගැන කතා කරන ප්‍රියන්ත තවදුරටත් ප්‍රකාශ කළේ ඇම සඳහා ඉස්සන් ගැනීමට එක් ඉස්සෙකුට රු . 30 ක පමණ මුදලක් වැයවන බවයි.
සමහර අවස්ථාවල ඔරුවක නැගී කට්ටුදැල් රස්සාව කරන ධීවරයින්ගෙන් ඇමට ඉස්සන් රැගෙන එන බවත්, මේ රස්සාවේ ප්‍රධාන ගැටළුවක්වන්නේ මෙම ඇම සොයා ගැනීමේ ප්‍රශ්ණයබවත් , දැනට රස්සාවක් වශයෙන් බිලී බෑම කරන 14ක 15 ක පමණ පිරිසක් සිටින බවත් සංගීත් මහතා පවසයි.
කොහොම නමුත් මාළු බෑම විනෝද ජනක දෙයකි. එ් බව එසේ මසුන් බිලී බාන අය වුවද පවසයි.
කලපුව සහ මුහුද වෙන් කරන මෙම පිටිපන මහ පාලම මීගමුවේ පමණක් නොව වෙනත් ප්‍රදේශ වලින් පැමිණෙන පිරිසටද මෙම කටයුත්ත සඳහා ඉඩ ලබාදෙයි. කලපුව වටකරගත් කඩොලාන වනගහනය නිසාත්, අනෙක් පසින් මෝයකට හා එක්වන මුහුදේ සිරිය නිසාත්, පාලම යට රෑන් පිටින් පීනාගෙන යන විවිධ වර්ගයේ මසුන් නිසාත් , මෙම අපූරු ස්ථානය දක්ෂ සිත්තරෙකු විසින් අඳින ලද සිතුවමක් මෙන් දිස්වෙයි. ඒනිසා ⁣මෙහි කාලය ගත කරන ඕනෑම අයෙකුට ගතට සිතට පහසුවක් , සතුටක් දැනෙන අතර එතරම් වෙහෙසක් නොදැනෙන බව නොරහසකි. ඒනිසා ලෙල්ලම , මේ මහ පාලම ,කලපුව , මෙහි රස්සා කරන ධීවර ජනතාව මේසියල්ල විසින් මතුකෙරෙන්නේ මීගමු නගරයේ අනන්‍යතාවය බව කිව යුතුය.

සටහන -සැම්සන් ඥානසිරි