අතුරුදහන් දෙමළ පිරිස් සොයන අම්මලා දවස් 1500ක් මහපාරේ

0
160

 බලහත්කාරයෙන් අතුරුදහන් කරන ලද සිය සමීපතමයන් සොයා ගැනීමේ අඛණ්ඩ අරගලයට දින 1500 ක් පිරෙන මොහොතේ මව්වරුන් පෙරටු කොටගත් දෙමළ ඥාතීන් වව්නියාව නගරයේදී උද්ඝෝෂණයක් දියත් කර තිබේ.   ශ්‍රී ලංකාවේ සංහිඳියාව, වගවීම සහ මානව හිමිකම් නගා සිටුවීම සඳහා එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මණ්ඩලයේ 46 වැනි සැසිවාරයේදී සභාගත කරන ලද යෝජනාව බහුතර ඡන්දයෙන් සභා සම්මත වීමෙන් පසු අතුරුදහන්වුවන්ට යුක්තිය ඉල්ලමින් උතුරේ දියත් කළ පළමු උද්ඝෝෂණය මෙයයි.  

වව්නියාව කන්දසාමි කෝවිල ඉදිරිපිටින් ආරම්භ කළ විරෝධතා පා ගමන නගරයේ පිහිටි  ඔරලෝසුකනුව තෙක් ගමන් කර  ආපසු කන්දසාමි කොවිල තෙක් පැමිණ  මාර්තු 28 ඉරිදා විරෝධතාවය  දියත් කළ බව පළාත් බද වාර්තාකරුවෝ පවසති.   “කෝ අපේ ළමයි, අපිට යුක්තිය ඉටු කරන්න,  හමුදාවට භාර දුන්න අපේ ළමයි කෝ ” ආදී සටන්පාඨ ප්‍රදර්ශනය කරමින් මව්වරුන් විරෝධතාවය දියත් කර තිබේ.         Missing Persons Relation Protest in Vavuniya 4 750x423 1       බලහත්කාරයෙන් අතුරුදහන් කරන ලද සිය සමීපතමයන් සොයා ගැනීම වෙනුවෙන් වසර ගණනාවක් තිස්සේ අරගලයක යෙදී සිටින උතුරු නැගෙනහිර සංවිධානවලවලට නායකත්වය දෙන අම්මාවරුන් අගනගරයට ගෙන්වා හිරිහැර කරන බවට ආරක්ෂක අංශ වෙත පසුගියදා චෝදනා එල්ල වී තිබුනි.  

ජිනීවා යෝජනාව සම්මත වීමට පෙර මානව හිමිකම් පිළිබඳ එක්සත් ජාතීන්ගේ මහකොමසාරිස් මිචෙල් බැෂලේ වෙත යවන ලිපියකින් 2021 පෙබරවාරි මාසයේදී  උතුරු හා නැගෙනහිර බලහත්කාරයෙන් අතුරුදහන් කරන ලද්දවුන්ගේ ඥාතීන්ගේ සංගමය පෙන්වා දී තිබුනේ, කොළඹ සිට ක්‍රියාත්මක වන ත්‍රස්ත විරෝධී ඒකක කිසිදු පැහැදිලි හේතු දැක්වීමකින් තොරව තමන් පරීක්ෂණ සදහා යැයි කියමින් කොළඹට කැඳවන බවයි.

  “කිසිදු දෘෂ්‍යමාන හේතුවක් නොදක්වා ම, කොළඹ සිට ක්‍රියාත්මක වන ත්‍රස්ත විරෝධී බලකායන් විසින් පරීක්ෂණ සඳහා යයි කියමින් අප කොළඹට කැඳවනු ලබයි.”   අතුරුදහන් කරන ලද තම සමීපතමයන් සොයාගැනීමේ අරගලයට එමගින් අයුතු පීඩා මෙන්ම මානසික ආතතීන්ට ලක් කිරීමක් ද සිදු වන බව සංගමයේ සභාපතිනි යෝගරාජා කනගරංජනී හා ලේකම් ලීලාදේවී ආනන්දනඩරාජා විසින් පෙබරවාරි 20 සෙනසුරාදා මිචෙල් බැෂලේ වෙත ලියා ඇති ලිපියේ සඳහන් ය.  

  බලහත්කාරයෙන් අතුරුදහන්කරවීමට ලක්ව සිටින්නන්ට කඩිනමින් යුක්තිය සලසා දෙන ලෙස ඉල්ලමින් යවන ලද සංදේශය මගින් මව්වරුන් දෙපළ අවධාරණය කර තිබුනේ  “අපගේ නෑ සබැඳියන් සොයා ගැනීමේ අරගලය ලංකාණ්ඩුවේ හමුදා විසින් අයුතු පීඩාවන්ට සහ මානසික අසහනයන්ට ගොදුරු වන තත්ත්වයට පත්කර තිබෙන” බවයි.      

  නොනැවතී මිලිටරීකරනය වෙමින් පවතින වත්මන් ශ්‍රී ලාංකීය පාලන තන්ත්‍රය, සිවිල් පරිපාලන තනතුරු සදහා ජන සංහාර හා යුද අපරාධවලට සම්බන්ධ හමුදා නිලධාරීන්ගෙන් පුරවමින් තිබෙන බව පෙන්වා දෙන එම සංදේශය වැඩි දුරටත් අවධාරණය කරන්නේ, එය අඛන්ඩව දෙමළ ජනතාවගේ ජීවිතවලට තර්ජනය කරන අතර ප්‍රජාතන්ත්‍රවාදී අවකාශය යටපත් කරමින් තිබෙන බවයි.   යුද්ධය අවසන් වීමෙන් පසුවත් බලහත්කරයෙන් අතුරුදහන් කිරීම් සිදු වු ආකාරයත් මහකොමසාරිස් මිචෙල් බැෂලේගේ අවධානයට ලක් කර තිබුනි.

  “අපගේ නෑ හිතමිත්‍රාදීන්, තරුණයන්, කාන්තාවන්, දූ දරුවන්, ස්වාමි පුරුෂයන් සහ පූජ්‍යපක්ෂයේ අය ආණ්ඩුවේ හමුදා මගින් අත්අඩංගුවට ගැනුනේ යුද්ධය අවසන් වීමට පෙර කාලයේ දී පමණක් නොවේ. යුද්ධය අවසානයකට පැමිනි වකවානුවේ පවා, මාර්ග බාධක හරහා යෑමට පැමිණි අය අතරිනුත්, මුහුදු ගමන්වල දී හා නිවෙස්වල සිටියදීත් ප්‍රශ්න කිරිම සදහා පුද්ගලයන් රැගෙන යන ලදී.

අපි එදා මෙදා තුර මේ ඥාතිහිතමිත්‍රාදීන් දැක ගැනීමේ උවමනාවෙන් ඔවුන් සිටින තැනක් සතර දිග්භාගය පුරා සොයන්නෙමු.”      

  බලහත්කාරයෙන් අතුරුදහන් කර සිටින සිය සමීපතමයන් සොයා ගැනීම සදහා ජාත්‍යන්තර වශයෙන් යුක්තිය අපේක්ෂාවෙන් දියත් කර ඇති අඛණ්ඩ අරගලයට දින 1500 ක් සපිරෙනවිට සිය දරුවන්ට අත්වු ඉරණම නොදැනම දෙමාපියන් 84 දෙනකුගේ දිවි මග නිමා කර ඇති බව පළාත් බද මාධයවේදීන් වැඩි දුරටත් සදහන් කරයි.  

සංගමයේ සභාපතිනි යෝගරාජා කනගරංජනී හා ලේකම් ලීලාදේවී ආනන්දනඩරාජා දිගින් දිගටම පෙන්වා දී තිබුනේ තම දෙමව්පියන් සමඟ යුද හමුදාවට බාර වූ ළමුන්, බිළිඳුන් සහ ළදරුවන් 29 කට වැඩි පිරිසකගේ ඉරණමද සොයා ගැනීමට නොමැති බවයි.   රජයේ අත් අඩංගුවේ අතුරුදහන් වූ තම නෑසියන් සොයාදීම වෙනුවෙන් කිසිදු පලදායී කටයුත්තක් නොකළ අතුරුදහන් වූ තැනැත්තන් පිලිබඳ කාර්යාලය (OMP) ප්‍රශංසාවට ලක් කිරීම් පිළිබඳව උතුරේ මව්වරු මීට ඉහතදී තම අප්‍රසාදය පල කර තිබුණි.   ශ්‍රී ලංකාවේ සංහිඳියාව, වගවීම සහ මානව හිමිකම් නගා සිටුවීම සඳහා එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මණ්ඩලයේ 46 වැනි සැසිවාරයේදී සභාගත කරන ලද යෝජනාව බහුතර ඡන්දයෙන් මාර්තු 23 දා සභා සම්මත විය.  

එම යෝජනාව පරිදි ශ්‍රී ලංකාවේ යුද අපරාධ සම්බන්ධයෙන් තොරතුරු එකතු කිරීමට හා සංරක්ෂණයට මානව හිමිකම් පිළිබඳ මහකොමසාරිස් කාර්යාලයට අවස්ථාව සැලසේ. එමෙන්ම, රටේ ඉදිරියට සිදුවන මානව හිමිකම් උල්ලංඝන සම්බන්ධ තොරතුරු රැස් කිරීමටද ජගත් මණ්ඩලය අනුමැතිය දී ඇත.  

theleader.lk