අද කැබිනට් ඇමැතිවරු ජනාධිපතිවරයා කියන වෙලාවට අත ඔසවන සිග්නල් කණු බවට පත් වෙලා – මංගල සමරවීර මහතා

0
53

mangala

රාජපක්‍ෂ රෙජිමයේ කොමිස් කුට්ටි සංවර්ධනය ඉදිරියේ බොහෝ අවංක ඇමැතිවරු තම හෘද සාක්‍ෂිය ඉදිරියේ ඉතාමත් අසරණවී කම්පාවට පත්වී සිටිනවා. ආණ්ඩුවේ සොරකම්, වංචා, දූෂණ ගැන තොරතුරු ඒ අය විපක්‍ෂයට ලබා දෙනවා. එවැනි තොරතුරු ඇතුළත් කැබිනට් පත්‍රිකා සති පතා ගලා ගෙන එනවා. ඒ වගේම ගිනස් ලෝක වාර්තා පොතට ඇතුළත් විය යුතු මහා පරිමාණයේ වංචා විශාල ප්‍රමාණයක් පිළිබඳ කරුණු සහිත ලිපි ලේඛන අප සතු බව මාතර දිස්ත්‍රික් පා.ම පක්ෂ සන්නිවේදන අංශ ප්‍රධානී මංගල සමරවීර මහතා පැවසීය. අද (02)  රාජගිරිය ජාතික වතු කම්කරු සංගම් ශාලාවේදී පැවති මාධ්‍යය හමුවකදී මන්ත්‍රීවරයා මේ බව පැවසූ අතර එහිදී මෙසේද පැවසීය.එක්සත් ජාතික පක්‍ෂ ආණ්ඩුවේ ප්‍රවාහන අමාත්‍යවරයා ලෙස සිටි විජේපාල මෙන්ඩිස් මහතාගේ කාලයේදී මාතර කතරගම දුම්රිය මාර්ගය ඉදිකිරීම සම්බන්ධව 1989 දී පළමුවරට යෝජනා කෙරුණා. ඉන්පසුව පොදු ජන එක්සත් පෙරමුණ ආණ්ඩුව 1994 දී පත්වීමත් සමග දකුණු අධිවේගී මාර්ගයට ප්‍රමුඛත්වය ලබාදීම නිසා එම දුම්රිය මාර්ගය ඉදිකිරීමේ කටයුතු කල් දැමීමට සිදු වුණා.වර්තමාන ආණ්ඩුව ප්‍රමාද වී හෝ නැවතත් මාතර, කතරගම දුම්රිය මාර්ගය ආරම්භ කිරීමට කටයුතු කිරීම හොඳ දෙයක් ලෙස අපි සලකනවා. ඊට සම්බන්ධ කැබිනට් පත්‍රිකාව ප්‍රවාහන අමාත්‍යංශය විසින් ඉදිරිපත් කොට ඇති අතර, පළමු වන අධියර ලෙස මාතර සිට බෙලිඅත්ත දක්වා දුම්රිය මාර්ග ඉදිකිරීමට ඇමරිකන් ඩොලර් මිලියන 290 ක් වැය වන බවට ඇස්තමේන්තු කොට තිබෙනවා. ඒ අනුව දළ වශයෙන් කිලෝමීටර් 1 ක් සඳහා ඇමරිකන් ඩොලර් මිලියන 10.7 ක් පමණ වැය වනවා.මෙතරම් මුදලක් වැය කිරීම රාජපක්‍ෂ රෙජිමයෙන් ගිනිස් පොතට යන මූල්‍ය වංචාවක් බව පැහැදිලිව පෙනෙනවා. මහින්ද චින්තනයේ දස අවුරුදු සැලසුමෙහි 117 වැනි පිටුවෙහි සඳහන් පරිදි එම දුම්රිය මාර්ගයේ එක් කිලෝමීටරයක් සඳහා වැය කිරීමට අපේක්‍ෂා කරන ලද මුදල ඇමරිකන් ඩොලර් මිලියන 3 ක් පමණයි.මෙවැනි දුම්රිය මාර්ගයක් ඉදිකිරීම සඳහා වැය වන මුදල කොපමණ දැයි අපි ජාත්‍යන්තර වශයෙන් සොයා බැලූවා. ඒ අනුව වැය වන්නේ ඩොලර් මිලියන 2.5 – 3 ත් අතර මුදලක් පමණක් බව හෙළි වුණා. ආණ්ඩුව මීට පෙරත් දුම්රිය මාර්ග කිහිපයක් ඉදිකිරීමට කටයුතු කළා. ඕමන්තයේ සිට පලාලි දක්වා කිලෝමීටර් 90 ක් සඳහා එක් කිලෝමීටරයකට වැය කොට ඇත්තේ ඩොලර් මිලියන 2 ක් පමණයි. එමෙන්ම පලාලි සිට කන්කසන්තුරේ දක්වා කිලෝමීටර් 55 ක් දිග දුම්රිය මාර්ගයේ එක් කිලෝමීටරයක් ඉදිකිරීම සඳහා වැය කොට ඇති මුදල ඩොලර් මිලියන 2.6 ක් පමණයි. මැදවච්චිය සිට මඩු පල්ලිය දක්වා කිලෝමීටර් 43 ක් දිග දුම්රිය මාර්ගයේ එක් කිලෝමීටරයක් සඳහා වියදම ඩොලර් මිලියන 1.8 ක් පමණයි.

ඒ අනුව මාතර-කතරගම දුම්රිය මාර්ගයේ පළමු වැනි අධියරයේ ඉදිකිරීම් කටයුතුවලින් සෑම කිලෝමීටරයකටම ඩොලර් මිලියන 7.8 ක් කිසිවෙකු විසින් වංචා සහගත ලෙස ලබා ගන්නා බව පැහැදිලියි.  එනම් සෑම කිලෝමීටරයකින්ම රුපියල් කෝටි 103.9 ක් චෞර ආණ්ඩුවේ කිසිවෙකුගේ හෝ සාක්කුවේ දමා ගන්නවා.

මේ සම්බන්ධව කටයුතු කළ ඇමැතිවරයාට මම දොස් කියන්නේ නැහැ. විෂය භාර ඇමැතිවරුන් සිදු කරන්නේ ජනාධිපති ලේකම් කාර්යාලයෙන් එවනු ලබන පත්‍රිකාවට අත්සන් ගහන පියන් මහත්වරුන්ගේ රාජකාරියයි. ඇමැතිවරුන්ට ඒ පිළිබඳව කතා කිරීමට හෝ ප්‍රශ්න කිරීමට අයිතියක් නැහැ. අද කැබිනට් ඇමැතිවරු ජනාධිපතිවරයා කියන වෙලාවට අත ඔසවන සිග්නල් කණු බවට පත් වෙලා.

ඒ වගේම අද අමාත්‍යංශවල සිටින ලේකම්වරුන්ට ඇමැතිවරයාට වඩා බල කර තිබෙනවා. ප්‍රවාහන අමාත්‍යංශයේ ලේකම්වරයා ලෙස කටයුතු කරන්නේ රාජපක්‍ෂ පවුලේ සමීපතමයෙකු මෙන්ම නාමල් රාජපක්‍ෂගේ මූල්‍ය සහ ආයෝජන උපදේශකවරයායි. ඔහු සුප්‍රසිද්ධ කැසිනෝ ව්‍යාපාරික ධම්මික පෙරේරා මහතා බව අපි වගකීමෙන් ප්‍රකාශ කරන අතර, ආණ්ඩුව ද මේ පිළිබඳ වගකීමෙන් පිළිතුරක් ලබා දේ යැයි අපි අපේක්‍ෂා කරනවා.

මාතර-බෙලිඅත්ත දුම්රිය මාර්ගයේ එක් කිලෝමීටරයක් වෙනුවෙන් මීට පෙර ඇස්තමේන්තු කර තිබුණේ ඩොලර් මිලියන 4 ක මුදලක් පමණයි. නමුත් ප්‍රවාහන අමාත්‍යංශයේ ලේකම්වරයාත්, නාමල් රාජපක්‍ෂ මන්ත්‍රීවරයාත් චීනයට ගොස් සී.එම්.සී සමාගම සමග සාකච්ඡා කිරීමෙන් අනතුරුව ඩොලර් මිලියන 4 කට ඉදිකිරීමට ඇස්තමේන්තු කොට තිබූ එක් කිලෝමීටරයක් ඉදිකිරීමට ඩොලර් මිලියන 10.7 ක් දක්වා වැඩි වී තිබෙනවා. ඇමැතිවරයෙක් හෝ ලේකම්වරයෙක් විදේශ ගත වන්නේ තිබෙන මුදල අඩු කර ගැනීමට මිස වැඩි කර ගැනීමට නොවේ. එහෙත් තිබෙන මුදල වැඩි කර ගැනීමට ක්‍රියා කරන ඇමැතිවරුන්, ලේකම්වරුන් ගැන අපි ඉතිහාසයේදීවත් අසා නැහැ.

අපට ලැබී තිබෙන තොරතුරු අනුව සී.එම්.සී. ආයතනයේ ලංකාවේ නියෝජිතයා ලෙස කටයුතු කරන්නේත් ධම්මික පෙරේරා මහතායි. ප්‍රවාහන අමාත්‍යංශයේ ලේකම් ලෙස කටයුතු කරන අතර, සී.එම්.සී. සමාගමේ දේශීය නියෝජිතවරයා ලෙස සිටිමින් මෙවැනි ගිවිසුමක් අත්සන් කිරීම ජීවිතාන්තය දක්වා සිරදඬුවම් ලබාදිය යුතු වරදක් ලෙස ලෝකය පිළිගන්නවා.
සී.එම්.සී. සමාගමට දුම්රිය මාර්ග ඉදිකිරීම පිළිබඳව කිසිදු පළ පුරුද්දක් නැහැ. ඔවුන් චීනයේ තිබෙන දුම්රිය මාර්ග ඉදිකිරීම පිළිබඳ කොන්ත්‍රාත් සමගාමකට එහි උප කොන්ත්‍රාත්තුව භාර දීමට කටයුතු කොට තිබෙනවා. මෙම කොන්ත්‍රාත්තුව මගින් අදාළ පුද්ගලයින් අවම වශයෙන් ඩොලර් මිලියන 180.9 ක් හෙවත් රුපියල් කෝටි 2442 ක් වත් තම සාක්කුවේ දමාගෙන තිබෙනවා.

මෙවැනි මහා පරිමාණ දූෂණ සිදු වන අතරම, පළාත් සභාවල ඇමැතිවරුන් ද තමන්ට හැකි පමණින් දූෂණ සිදු කරන ආකාරයත් දැක ගත හැකියි. දකුණු පළාත් සභාව අද දූෂිත ගුහාවක් බවට පත් වෙලා. දකුණු පළාත් සභාවේ ධීවර, සමූපකාර සංවර්ධන සහ වෙළෙඳ අමාත්‍යංශයේ අමාත්‍යවරයා ලෙස ඩී.වී. උපුල් කටයුතු කරනවා. 2012 නොවැම්බර් 22 වැනිදා රේඩියන් ටේ්‍රඩින් පෞද්ගලික සමාගම විසින් රුපියල් පනස් ලක්‍ෂයකට වටිනා බව කියූ මාතර මොරවක පිහිටි ඉඩමක් දකුණු පළාත් සමූපකාර අමාත්‍යංශය විසින් මිලදී ගෙන තිබෙනවා. එසේ ලක්‍ෂ 50 ට මිලදී ගත් ඉඩම එදිනම සවස මාතර දිස්ත්‍රික් සමූපකාර ග්‍රාමීය බැංකුව විසින් රුපියල් හාර කෝටි හැත්තෑ පන් ලක්‍ෂයකට උගස් කොට තිබෙනවා. එනම් ඉඩම මිලදී ගත් මුදලට වඩා 9 ගුණයක මුදලක් ගෙවා තිබෙනවා. ඒ අනුව මෙම ගනුදෙනුව මගින් රුපියල් කෝටි ගණනක වංචාවක් සිදු වී ඇති බව පැහැදිලියි. ඒ වගේම ලක්‍ෂ 50 කට තක්සේරු කිරීම මගින් රජයට ලැබිය යුතු රුපියල් ලක්‍ෂ 33 ක මුදලක් ද මොවුන් විසින් අහිමි කොට තිබෙනවා.

රේඩියන් ටේ්‍රඩින් පෞද්ගලික සමාගම ඩී.වී. උපුල් නැමැති දකුණු පළාත් සමූපකාර ඇමැතිවරයාටම අයත් බවට තොරතුරු ලැබී තිබෙනවා. ඒ අනුව ඇමැතිවරයාට අයත් සමාගමක් ඔස්සේ තමන් යටතේ තිබෙන ආයතනයකට එම සමාගම ලබා ගත් ඉඩම උගස් කොට කෝටි 4 කට ආසන්න ප්‍රමාණයක් වංචා කොට ඇති බව පෙනෙන්නට තිබෙනවා.
මාතර දිස්ත්‍රික්කයේ තේ නිපද වන්නන්ගේ සමූපකාර සමිතිය විසින් සංචාරක බංගලාවක් ලෙස නුවරඑළිය ප්‍රදේශයෙන් ගොඩනැගිල්ලක් සහිත ඉඩමක් මිලදී ගෙන තිබෙනවා. 2012 මාර්තු මාසයේ 30 වැනි දින මිලියන 38 ක පමණ මුදලකට එම ගොඩනැගිල්ල මිලදී ගැනීමට සමූපකාර කොමසාරිස්වරයාගේ අනුමැතිය ලබා ගෙන නැහැ. සමූපකාර පනතේ 48 වන වගන්තිය අනුව ඉඩම් අත්පත් කර ගැනීමට කොමසාරිස්වරයාගේ අනුමැතිය ලිඛිතව ලබා ගත යුතුයි. එහෙත් ඇමැතිවරයා විසින් සමූපකාර මුදල්වලින් මිලියන 38 ක් පමණ ගෙවා ඇත්තේ කොමසාරිස්වරයාගේ අනුමැතියකින් තොරවයි. ඒ සඳහා කොමසාරිස්වරයාගේ අනුමැතිය ලබා ගෙන තිබෙන්නේ 2012 ඔක්තෝම්බර් මස 17 වැනි දිනයි. මෙලෙස මධ්‍යම ආණ්ඩුවේත්, පළාත් සභාවේත් මහ පරිමාණයේ සොරකම්, වංචා සිදු වන බව වගකීමෙන් යුතුව ප්‍රකාශ කරනවා.

අද ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ ඇමැතිවරුන්, සාමාජිකයින් ඉතා කළකිරීමට පත් වෙලා. ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ ප්‍රබලයින්ට ආණ්ඩුව තුළ තැනක් නැහැ. මේ ආණ්ඩුවට කෙරෙහි ජනතාවගේ කෝපය බර්ටි ප්‍රේමලාල් දිසානායක හිටපු අමාත්‍යවරයාගේ අවමංගල්‍ය උත්සවයේදී අපි දුටුවා. බර්ටි ප්‍රේමලාල් පරාජය කිරීමට බැසිල් රාජපක්‍ෂගේ ඡන්ද ව්‍යාපාරය මෙහෙයවූ චන්ද්‍රසේන ඇමැතිවරයා එම අවමංගල්‍ය උත්සවයෙන් පලා යනතුරුම ජනතාව විරෝධය පළ කළා.

එම අවමංගල්‍ය උත්සවයේදී ජනාධිපතිවරයාගේ පණිවුඩය කියවීමටවත් කෙනෙක් සිටියේ නැහැ. එම පණිවුඩය නොකියූ එකත් හොඳ යැයි සිතෙනවා. එය කියෙව්වේ නම් එතැන සිටි ශ්‍රී ලංකා නිදහස් පාක්‍ෂිකයන් තව තවත් කිපෙන බව ස්ථිරයි. අවමංගල්‍ය උත්සවයේදී එය කියවීමට නොහැකි නිසා දිනමිණ පුවත් පතේ එම ප්‍රකාශය පළ කොට තිබෙනවා. එම පණිවුඩය කිය වන විට අපට තේරෙන්නේ එම පණිවුඩය ලියූ කෙනා හෝ ජනාධිපතිවරයා ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ ඉතිහාසයවත්, මේ රටේ මෑත දේශපාලන ඉතිහාසය හෝ බර්ටි ප්‍රේමලාල් දිසානායකගේ ඉතිහාසයවත් නොදන්නා පිරිසක් මෙම ශෝක පණිවුඩය ලියා ඇති බවයි.

ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය ප්‍රමුඛ ප්‍රගතිශීලි කඳවුර ශක්තිමත් කිරීමට 1995 දී දකුණෙන් ඇරඹි ජයග්‍රහණයේ ගමන රජරටදී තවත් තහවුරු කිරීමට බර්ටි ප්‍රේමලාල් නායකත්වය දුන් බව එහි එක් තැනක සඳහන් වනවා. නමුත් 1995 දී දකුණෙන් කිසිදු ගමනක් ආරම්භ කළේ නැහැ. ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය දකුණෙන් ගමන ආරම්භ කළේ 1993 දීයි. 1995 වන විට පොදුජන එක්සත් පෙරමුණ රජය පිහිටුවා තිබුණා. ඒ අනුව පාසල් දරුවෙකු වුවත් දන්නා එම ඉතිහාසය නොදන්නා කෙනෙක් ජනාධිපතිවරයාගේ පණිවුඩය ලියා ඇති බව පැහැදිලියි.
ඒ වගේම කර්මාන්ත සංවර්ධන නියෝජ්‍ය අමාත්‍යවරයා වූ බර්ටි ප්‍රේමලාල් ඉන්පසුව සමාජ සේවා අමාත්‍යවරයා බවට පත් වෙමින් සුනාමි විපත සිදු වූ යුගයේ රටට කළ මෙහෙවර විශිෂ්ට බව ද එම පණිවුඩයේ සඳහන් වනවා. නමුත් සුනාමිය ඇති වුණේ 2004 දී වන අතර, 1999 දී බර්ටි ප්‍රේමලාල් අමාත්‍යංශයෙන් ඉල්ලා අස්වී උතුරු මැද පළාත් සභාවේ මහ ඇමැතිවරයා ලෙස කටයුතු කළ බව එම පණිවුඩය ලියූ අය හැර අනෙක් සියලූ දෙනා දන්නවා යැයි  මංගල සමරවීර මහතා වැඩි දුරටත් ප්‍රකාශ කළේය.

එහිදී අදහස් දැක්වූ බස්නාහිර පළාත් සභාවේ විපක්‍ෂ නායක මංජු ශ්‍රී අරංගල මහතා

තමන්ගේ දරුවන් ශිෂ්‍යයත්ව විභාගයෙන් හොඳ ප්‍රතිඵල ලබා ගැනීම සඳහා දෙමව්පියන් ඉතාමත් වෙහෙසක් දරනවා. දරුවන්ගේ අනාගතය සාර්තක වී දුප්පත්කම නැති කර ගන්නා අයුරු එම දෙමව්පියන් බලාපොරොත්තු වනවා. එවැනි පසුබිමක අධ්‍යාපන අමාත්‍යවරයා විසින් සෑම වසරකම ඔක්තෝම්බර් 01 වැනි දාට යෙදෙන ළමා දිනයේදී ශිෂ්‍යත්ව ප්‍රතිඵල ලබා දෙන බව ප්‍රකාශ කොට තිබෙනවා.

වසරකට 325000 ක් පමණ සිසු දරු දැරියන් ශිෂ්‍යත්ව විභාගයට පෙනී සිටිනවා. කඩයිම් ලකුණු අනුව ඔවුන්ගෙන් සමත් වන්නේ 20% ක පමණ පිරිසක් පමණයි. එසේ අසමත් වන දරුවන් දෙමාපියන්ගේ උදහසට ලක් වනවා. අද ශිෂ්‍යත්ව විභාගය දෙමව්පියන්ගේ විභාගයක් බවට පත් වෙලා. එම නිසා ඔක්තෝම්බර් 01 වැනි දා ශිෂ්‍යත්ව ප්‍රතිඵල නිකුත් කොට දරුවන්ගේ දිනය විනාශ කරන්නට එපා යැයි අධ්‍යාපන අමාත්‍යංශයෙන් ඉල්ලා සිටිනවා.

අපො.ස. උසස් පෙළ විභාගයේ ඇගයීම් කටයුතු මේ දිනවල සිදු වනවා. ඔවුන් සඳහා දෛනික වියදම් අත්තිකාරම් මුදල් ගෙවීමට ආණ්ඩුව පියවර ගෙන නැහැ. එම හේතුවෙන් ඇගයීම් කටයුතුවලින් ඉවත්වීමට එම ගුරුවරුන් තීරණය කොට තිබෙනවා. මේ සියල්ල දරුවන්ගේ අනාගතයටත්, රටේ අනාගතයටත් සම්බන්ධයි. අධ්‍යාපන අමාත්‍යංශය තීන්දු තීරණ ගැනීමේදී දෙවරක් සිතා බැලිය යුතුව ඇතැයි ද මංජු ශ්‍රී අරංගල මහතා ප්‍රකාශ කළේය.

මෙහිදී මාධ්‍යවේදීන් විසින් අසන ලද ප්‍රශ්නවලට ද මංගල සමරවීර මහතා මෙසේ පිළිතුරු ලබා දුන්නේය.

ප්‍රශ්නය : සජිත් ප්‍රේමදාස මන්ත්‍රීවරයා දකුණු පළාතේ ප්‍රධාන අමාත්‍ය අපේක්‍ෂකයා ලෙස ඉදිරිපත් කිරීමට යෝජනා කළේ ඇයි?

පිළිතුර : එය මම කළ දෙයක් නොවෙයි. මාතර දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවේදී එවැනි යෝජනාවක් ස්ථිර වුණා. දකුණේ සිටින ජ්‍යෙෂ්ඨතම පළාත් සභා මන්ත්‍රීවරයෙකු මෙන්ම දකුණු පළාත් සභා විපක්‍ෂනායක සිරි විජේවික්‍රම මහතා එය යෝජනා කළ අතර, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී එච්.ආර්. විමලසිරි මහතා විසින් එය ස්ථිර කිරීමෙන් පසුව ඒකමතිකව සම්මත වුණා. අපිත් ඊට අස එසෙව්වා.

එක එක්කෙනාට ඇගිලි දිගු නොකොට අපි මෙහේ මොහොතේ අපගේ ශක්තිය පෙන්වන්න ඕන. අපේ යම් ජනප්‍රියතාවක් තිබෙනවා නම් ඒක පෙන්වන්නටත් ඕනේ. කිසිදු තනතුරක් නොලැබූ චන්ද්‍රිකා බණ්ඩාරනායක මහත්මිය පක්‍ෂ නායකත්වය ගැන සෙව්වේ නැහැ. මහින්ද රජාපක්‍ෂත්, අනුර බණ්ඩාරනායකත් විරුද්ධව සිටියදී බස්නාහිර පළාත් සභාවට ඉදිරිපත් වුණා. තමන්ට ජනරැල්ලක් තිබෙන බව එතුමිය ප්‍රකාශ කළේ එලෙසයි. ඒ වගේම පක්‍ෂය මන්ත්‍රීවරු 8 කට සීමාවී සිටි මොහොතෙත් සිටි අමරසිරි දොඩම්ගොඩ පාර්ලිමේන්තුවෙන් ඉවත් වී දකුණු පළාත් සභාවට තරග කළා. ඔහු සජිත් වගේ නවකයෙක් නොවේ. ජන රැල්ලක් ඇති බව ප්‍රකාශ කරන අය එවැනි දේවල් කළ යුතුයි. නමුත් සජිත් ප්‍රේමදාසට එම යෝජනාව ප්‍රතික්ෂේප කිරීමට ද අයිතියක් තිබෙනවා. නායකත්වයට සුදුසු පළ පුරුදු අය සිටිනවා නම් ඔවුන් සුදුසු බව ඔප්පු කර පෙන්විය යුතුයි.

ප්‍රශ්නය : නායකයා වෙන්න මිසක් මහ ඇමැති වෙන්න ජනතාව බල නොකරන බව සජිත් ප්‍රේමදාස මන්ත්‍රීවරයා ප්‍රකාශ කරනවා නේද?

පිළිතුර : 1992 දී අනුර බණ්ඩාරනායකත් එවැනි විකාර කිව්වා.

ප්‍රශ්නය : පක්‍ෂය කිව්වත්, ඔබ මහ ඇමැති අපේක්‍ෂකයා ලෙස තරග කරනවා ද?

පිළිතුර : පක්‍ෂයෙන් යෝජනාවක් ගෙනාවොත් ඒ පිළිබඳ සලකා බලනවා. ආණ්ඩුවක් හදන්න නම් බෙල්ල දෙන්න වෙනවා.

ප්‍රශ්නය : මාතර නපුංසකයෝ පිරිසක් තමන් මහ ඇමැති අපේක්‍ෂකයා බවට නම් කළ යුතු යෝජනාව ඉදිරිපත් කොට ඇති බව සජිත් ප්‍රේමදාස මහතා ප්‍රකාශ කොට තිබෙනවා.

පිළිතුර : ඔහු එවැනි ප්‍රකාශයක් කළේ කුමන හේතුවක් නිසා දැයි දන්නේ නැහැ. එවැනි නපුංසක කතා ඔහු හැම අවස්ථාවකදීම ප්‍රකාශ කරනවා. ඒක දේශපාලන නොදුණුවත් බවයි.

ප්‍රශ්නය : එක්සත් ජාතික පක්‍ෂ නායකයා වෙනස් විය යුතු ද?

පිළිතුර : නැහැ. මේ ඒකට අවස්ථාව නොවේ. තමන් නායකත්වයේ සිටින්නේ බලයට ඇති කෑදර කමකින් නොවන බවත් පක්‍ෂය ආරක්‍ෂා කර ගන්න බවත්, එදා මැතිනියත් ප්‍රකාශ කළා. එදා නාකි ගෑණි යැයි මැතිනියට බැණපු සමහර අය පසුව එතුමියට පිං දුන්නා. රනිල් වික්‍රමසිංහත් හැමදාම පක්‍ෂය ආරක්‍ෂා කළා. එතුමා අදාළ වෙලාවට අවශ්‍ය වෙනස සිදු කරාවී.
www.unp.lk