අද ජාතික සිරකරු දිනයයි.

0
83

39feb7ab737b078bcb47c6fe4621ad94

(11.30 am ) වික්ටර් පනස් වියට ළං වු තැනැත්තෙකුය. ස්ථිර රැකියාවක් නොතිබුණු ඔහු දිනපතාම පාහේ කළේ කාගේ හෝ වැඩක්පලක් කර දී එදිනෙදා වියදම සොයා ගැනීමය. දරු දෙදෙනෙකුගේ පියෙකු වු ඔහුට දරුවන් ගැනවත් බිරිඳ ගැනවත් තැකීමක් තිබුණේ නැත. දවසේ සොයා ගන්නා මුදල ඔහු වැය කළේ ගිනි වතුරෙන් ඇඟ තෙමා ගැනිමටය.

මේ අතර දිනක් වික්ටර් පොලිසියෙන් අල්ලා ගනු ලැබුයේ කසිප්පු තිත්පොලක සිටියදීය. සුපුරුදු පරිදි දවසේ වැඩමුරය නිමා කිරීමෙන් පසු ගිනි වතුර බිමට ගොස් සිටි අවස්ථාවක එම ස්ථානය පොලිසියෙන් වටලා සියලු දෙනාවම අත්අඩංගුවට ගෙන තිබුණි.

මෙහිදි ඔහුව අධිකරණයට ඉදිරිපත් කළද ඇප ලබා දිමට තරම් ඔහුගේ බිරිඳට වත්කමක් නොවු හෙයින් වික්ටර්ට සිදු වුයේ සිපිරි ගෙයි මහඋළු ගණන් කිරීමටය. එහිදි ඔහුට මේසන් වැඩ පුහුණුව ලැබුණු අතර බන්ධනාගාරයේ යම් යම් ඉදිකීරිම් කිරිමටද ඔහු සිය ශ්‍රමයෙන් දායක විය.

මාස හයක පමණ ඇවෑමෙන් පසු ඔහු නිදහස්ව බන්ධනාගාරයෙන් එළියට පැමිණියේ පරිණත වු පුද්ගලයෙකු ලෙසිනි. නිවසට පැමිණි ඔහුට ජිවිතය අලුතෙන් දකින්නට හැකියාව ලැබී තිබුණේ බන්ධනාගාර ජිවිතය තුලිනි. ඔහුට බන්ධනාගාරය එක්තරා ආකාරයකින් අධ්‍යාපනය ලැබීමට වරම් ලද ස්ථානයක් බඳු විය.

ඔහු තනිවම පෙදරේරු වෘත්තියට පිවිසයේ බන්ධනාගාරයෙන් ලද පුහුණුවට පින්සිදු වන්නටය. වික්ටර් කෙදිනකවත් ඒ බව අමතක කළේ නැත. ඔහු ඉඩක් ලද සෑම විටම වැලිකඩ බන්ධනාගාරය ඉදිරිපිටට පැමිණ දෑත් එක් කර වඳින්නේය. ඒ තමන් අද යම් හොඳ තැනක ඉන්නේ මේ බන්ධනාගාර දිවිය නිසා බව සිහිපත් කරමිනි. වික්ටර් දරුවනුත් සමඟ දැන් ගෙවන්නේ ප්‍රීතිමත් ජිවිතයකි.

වික්ටර් මේ සමාජයේ එක් චරිතයක් පමණි. අපරාධ වලට බන්ධනාගාර ගත වන සියලු දෙනා අපරාධකරුවන් වන්නේ නැත. වැලිකඩ බන්ධානාගාරයේ ඉදිරිපස තාප්පයේ සඳහන් කර ඇත්තේද සිරකරුවෝද මනුෂ්‍යයෝය යන්නය.

එය සත්‍යයකි. ඔවුන්ද ඇට, මස්, ලේ වලින් සමන්විත මනුෂ්‍යයෝය. ඔවුන්ට ජිවිතයේ එක් අවස්ථාවක වරදින්නට ඇත. ඒ වැරදීමෙන් ඔවුන් සැමදා විඳවිය යුතු නැත.

මෙවන් සිරකරුවන් වෙනුවෙන් රජය නම් කළ දිනය වුයේ ජාතික සිරකරු දිනයයි. ඒ අද (12) වැනි දවසකය. මාස ගණන්, වසර ගණන් සිර දඬුවම් ලැබුවන්ට අද සිය ආදරණියන් සමඟ හමු වී එකට එක් වී ආහාර ගැනිමේ අවස්ථාව බන්ධනාගාර දෙපාර්තමේන්තුව විසින් සලසා තිබේ.

බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ දත්ත වලට අනුව මේ වන විට සිරකරුවන් 9529 කු සිටිති. මින් 9303 කු පිරිමි පුද්ගලයින්ය. සෙසු 226 නා කාන්තාවන්ය. දිවයින පුරා පිහිටි බන්ධනාගාර 30 ක මෙම පිරිස රඳවා ඇත.

මෙම සිරකරුවන් වෙනුවෙන් අද දින සිරකරු කොඩි අලෙවි කිරිමක් සිදු වෙන අතර, එම ලැබෙන මුදල් ඔවුන්ගේ සිරකරු සුබසාධනය වෙනුවෙන් යොදා ගන්නා බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව පවසයි.

එමෙන්ම මෙම සිරකරුවන් පිරිසට බන්ධනාගාරය තුලදි විවිධ විශෝධන වැඩ සටහන් ක්‍රියාත්මක කර ඇති අතර, විවිධ වෘත්තිය පුහුණු පාඨමාලා පුහුණුවක්ද ලබා දීම සිදු කරනු ලබයි.

ඉදිරියේදි මෙම සිරකරුවන්ට ඡන්දය පාවිච්චි කිරිමේ හැකියාවද සලකා බලා තීරණයක් ගැනීමට නියමිත අතර ඔවුන්ට ශාරිරික, මානසික වද හිංසාවෙන් තොරව ජිවත් විමේ පරිසරයක් ඇති කරවීමට සියලු දෙනාගේ අවධානය යොමු විය යුතුව ඇත. එහිදි සමාජයට මාකඳුරේ මධුෂ්ලා වෙනුවට වික්ටර්ලා බිහි වෙනු ඇත.

-මාධවී-
aithiya.lk