එමගින්, අපේක්ෂා කෙරෙන්නේ, ‘ආරක්ෂිත සහ කාර්යක්ෂම ඩිජිටල් ක්‍රමවේදයක් ඔස්සේ බාධාවකින් තොරව ගනුදෙනු කිරීමට හැකි වන පරිදි, රජයේ ආයතන හරහා සිදුකෙරෙන ගනුදෙනු විධිමත් කිරීම හා නවීකරණය කිරීම’ ය.
මෙම ගෙවීමේ පහසුකම හඳුන්වා දෙමින් නියමු ව්‍යාපෘතිය ආරම්භ කරනු ලැබුවේ, පසුගිය රජයේ විද්‍යා හා තාක්ෂණ අමාත්‍යංශය විසිනි.
‘GovPay’ යනු කුමක් ද?
ඩිජිටල් ගෙවීම් ප්‍රවර්ධනය කිරීම සඳහා විශේෂ වැඩසටහනක් හඳුන්වා දෙන බව ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශය නිවේදනය කර තිබේ.
මෙය ශ්‍රී ලංකා ඩිජිටල් ආර්ථික අමාත්‍යංශය, ශ්‍රී ලංකා තොරතුරු සන්නිවේදන තාක්ෂණ ඒජන්සිය (ICTA) සහ ලංකා පේ (Lanka Pay) පෞද්ගලික සමාගම ඒකාබද්ධව දියත් කරන ක්‍රියාන්විතයකි.
ඒ හරහා මූලික පියවර වශයෙන් රජයේ ආයතන 16ක් සඳහා ගෙවීම් කිරීමේදී ‘GovPay’ ක්‍රමවේදය භාවිත කිරීමට පහසුකම් සැලසෙන බව අමාත්‍යංශය පවසයි.
එම ආයතන මෙසේ ය.
* ආයූර්වේද දෙපාර්තමේන්තුව
* තාක්ෂණික අධ්‍යාපනය සහ පුහුණු දෙපාර්තමේන්තුව
* ගම්පහ නගර සභාව
* යාපනය ප්‍රාදේශීය ලේකම් කාර්යාලය
* කෑගල්ල ප්‍රාදේශීය ලේකම් කාර්යාලය
* මහර ප්‍රාදේශීය ලේකම් කාර්යාලය
* ජාතික පිළිකා ආයතනය අපේක්ෂා සංවර්ධන කමිටුව
* රඹුක්කන ප්‍රාදේශීය සභාව
* රත්මලාන ප්‍රාදේශීය ලේකම් කාර්යාලය
* පරමාණුක බලශක්ති අධිකාරිය
* වරාය අධිකාරිය
* මිනින්දෝරු දෙපාර්තමේන්තුව
* ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව
* තිඹිරිගස්යාය ප්‍රාදේශීය ලේකම් කාර්යාලය
* මොරටුව විශ්වවිද්‍යාලය
* වෘත්තීය පුහුණු අධිකාරිය
ලංකා තොරතුරු සන්නිවේදන තාක්ෂණ ඒජන්සිය පවසන පරිදි GovPay වැඩසටහන මේ වන විට ප්‍රමුඛ පෙළේ වාණිජ බැංකු 9ක් සමග ඒකාබද්ධ වී සිටී.
* හැටන් නැෂනල් බැංකුව
* පෑන් ඒෂියා බැංකුව
* සම්පත් බැංකුව
* සෙලාන් බැංකුව
* DFCC බැංකුව
* කොමර්ෂල් බැංකුව
* ලංකා බැංකුව
* මහජන බැංකුව
* NDB බැංකුව
‘GovPay’ ක්‍රමවේදය ඇරඹීමට හේතුව කුමක් ද?
මුදල් භාවිතයෙන් ගනුදෙනු කිරීම මගින් වාර්ෂික දළ දේශීය නිෂ්පාදිතයෙන් (GDP) ආසන්න වශයෙන් 1.5% ක් වැය වන බව ඩිජිටල් ආර්ථික නියෝජ්‍ය අමාත්‍ය එරංග වීරරත්න පවසයි.
මුදල් ගෙවීම් හරහා වංචා, දූෂණය සහ ගෙවීම් ක්‍රියාවලීන්හි අකාර්යක්ෂමතාව වැඩි කිරීමට දායක වන බව ද ඔහු පෙන්වා දෙයි. මෙම ගැටලු විසඳීම සඳහා, රජයේ ආයතන වෙත කෙරෙන සියලු ම ගෙවීම් කඩිනමින් ඩිජිටල්කරණයට ලක් කරන බව නියෝජ්‍ය අමාත්‍යවරයා පවසයි.
මේ අතර, මෙම ක්‍රමවේදය හඳුන්වා දීමට මූලිකව ක්‍රියා කළ පසුගිය රජයේ විද්‍යා හා තාක්ෂණ අමාත්‍ය කනක හේරත් බීබීසී සිංහල සේවයට පැවසුවේ, මුදල් මගින් ගනුදෙනු කිරීමේදී සිදුවන පිරිවැය, මූල්‍ය වංචා සහ අකාර්යක්ෂමතාව ආදී කරුණු සැලකිල්ලට ගෙන මෙම ක්‍රමය හඳුන්වා දීමට පියවර ගත් බව ය.
“නියමු ව්‍යාපෘතියක් විදිහට අපි මේක මුලින් ම 2024 අප්‍රේල් මාසයේ මොරටුව විශ්වවිද්‍යාලයෙන් තමයි ආරම්භ කළේ. ඒ අනුව, ගිය අවුරුද්දේ ඒ විශ්වවිද්‍යාලයේ ඇතැම් ගෙවීම් කටයුතු ‘GovPay’ ක්‍රමයෙන් තමයි සිද්ධ වුණේ. මුදල් ගෙවීම්වලදී සිදුවන දූෂණ, වංචා, අකාර්යක්ෂමතාව වගේ කරුණු නතර කරන එකයි මේ වැඩසටහනේ අරමුණ වුණේ,” හිටපු අමාත්‍යවරයා පෙන්වා දුන්නේ ය.
පසුගිය රජය සමයේ ඇරඹුණු නියමු ව්‍යාපෘතිය
‘මොරටුව විශ්වවිද්‍යාලයේ තොරතුරු තාක්ෂණ බාහිර උපාධිය සඳහා වන ගෙවීම් GovPay ඔස්සේ බැංකු මගින් ගෙවිය හැක. භාවිත කිරීමේ පහසුව සහතික කරමින් බාධාවකින් තොරව ඩිජිටල් ගෙවීම් අත්විඳින්න,’ යනුවෙන් 2024 අප්‍රේල් 24 වන දා ශ්‍රී ලංකා තොරතුරු සන්නිවේදන තාක්ෂණ ඒජන්සියේ (ICTA) නිල ෆේස්බුක් පිටුවෙහි පළ කර තිබිණි.
මෙහි නියමු ව්‍යාපෘතිය යටතේ මොරටුව විශ්වවිද්‍යාලයේ එක් ගිණුම් අංකයක් හරහා ගෙවීම් කිරීමට පහසුකම් සලසා තිබුණු බව එම විශ්වවිද්‍යාලයේ මූල්‍ය කටයුතු අංශයේ නිලධාරිනියක් බීබීසී සිංහල සේවයට පැවසීය.
ඉන්පසු, එම වසරේ ම මැයි 8 වන දා කෑගල්ල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ගෙවීම් කටයුතු ද මේ හරහා විවෘත කෙරිණි.
කෑගල්ල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ මූල්‍ය කටයුතු භාර නිලධාරිනියක බීබීසී සිංහල සේවයට පැවසුවේ, ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට වැඩි වශයෙන් ගෙවීම් සිදු වන ක්ෂේත්‍ර කිහිපයක් සඳහා නියමු ව්‍යාපෘතියේදී GovPay පහසුකම ක්‍රියාත්මක කළ බව ය.
නියමු ව්‍යාපෘතියේදී නිරීක්ෂණය වූ දුර්වලතා හඳුනාගෙන ඒවා ශ්‍රී ලංකා තොරතුරු සන්නිවේදන තාක්ෂණ ඒජන්සියේ සහයෙන් නිරාකරණය කර ගත් බව ද ඇය පැවසීය.
ඊට අමතරව, මැයි මස 28 වන දා වෘත්තීය පුහුණු අධිකාරියට කරන ගෙවීම් සඳහා ද GovPay පහසුකම ලබා දුන් බව ශ්‍රී ලංකා තොරතුරු සන්නිවේදන තාක්ෂණ ඒජන්සියේ (ICTA) නිල ෆේස්බුක් පිටුවෙහි දැක්වේ.
රජයේ ගනුදෙනු ඩිජිටල්කරණය කිරීම
2025 පෙබරවාරි මස 7 වන දා දියත් කෙරෙන GovPay ගෙවීම් පහසුකම සමග, මූලිකව රජයේ ආයතන 16ක් ඒකාබද්ධ කරනු ඇත.
2025 අප්‍රේල් මාසය වන විට පූර්ණ වශයෙන් ක්‍රියාත්මක කරමින්, තවත් අදියර දෙකක් යටතේ තවත් ආයතන 30ක් ඊට සම්බන්ධ කිරීමට නියමිත ය.
මෙම අදියර ක්‍රියාත්මක කිරීම සැලසුම් කර ඇත්තේ, බාධාවකින් තොරව, භාවිතයට පහසු අත්දැකීමක් සහතික කිරීම සඳහා වන අතර, පුරවැසියන්ට මූල්‍ය තාක්ෂණික යෙදුම් හෝ මාර්ගගත බැංකු වේදිකා හරහා රජයේ සේවාවන් සඳහා ගෙවීම් කිරීමට හැකි වනු ඇතැයි ඩිජිටල් ආර්ථික අමාත්‍යංශය පවසයි.
‘රජයේ මූල්‍ය ගනුදෙනුවල වැඩිදියුණු කළ පාලනය, නිරවද්‍යතාව, ආරක්ෂාව සහ විනිවිදභාවය සහතික කිරීම සඳහා ආදායම් එකතු කිරීමේ ක්‍රියාවලීන් නවීකරණය කිරීම, ආදායම් එකතු කිරීමේ ක්‍රියාවලීන් නවීකරණය කිරීම GovPay ක්‍රමයේ අරමුණ යි.’
ඊට අමතරව, ඩිජිටල් ගෙවීම් ප්‍රවර්ධනය කිරීම මගින් ශ්‍රම භාවිතය අඩු කිරීම, අකාර්යක්ෂමතාව සහ දූෂිත පිළිවෙත් ඉවත් කිරීම සහ මහ ජනතාවට වඩාත් පහසු සේවාවන් සැපයීම අපේක්ෂා කරන බව නියෝජ්‍ය අමාත්‍ය එරංග වීරරත්න පවසයි.