මෙවර ජනාධිපතිවරණයේ දී අනුර කුමාර දිසානායක ලැබූ ජයග්‍රහණය ඉතා ම සමබර, සමතුලිත සහ ‘නිරෝගී’ ජයක්.
තමන්ගේ ප්‍රධාන ප්‍රතිවාදියා වූ සජිත් ප්‍රේමදාසට වඩා ලක්ෂ 13කට ආසන්න වැඩි ඡන්ද ප්‍රමාණයක් ලබාගැනීම නිසා අනුර ඉතා ම පහසුවෙන් මේ ජනාධිපතිවරණය ජයගෙන තියෙනවා. ඒක සාපේක්ෂව විශාල සහ පහසු පරතරයක්. ඒ වගේ ම සියයට 58ක් අනුරට ඡන්දය පාවිච්චි කොට නැති නිසා ඔහුට මේ ජනවරම ලැබෙන්නේ හිස් වෙක්පතක් විදියට නෙවෙයි. ඔහුට කොළ එළියක් වගේ ම කිසියම් රතු එළියකුත් එක පාර ලැබී තිබෙනවා. ප්‍රජාතන්ත්‍රවාදය පැත්තෙන් බැලුවොත් එය ඉතා ම හොඳයි. අනුරට අවශ්‍ය සංවරණ හා තුලන (checks and balances) මේ ප්‍රතිඵලය ඇතුළේ ම තියෙනවා. මේ ජයග්‍රහණය නිරෝගී වගේ ම සමබර එකක් වන්නේත් ඒ නිසයි.
මම අනුර සම්බන්ධයෙන් යථාර්ථවාදී නොවන බලාපොරොත්තු තියාගෙන නැහැ. මා ඔහුගෙන් බලාපොරොත්තුන් වන එක ම දෙය ලංකාවේ තියෙන දූෂිත සහ මජර දේශපාලන ක්‍රමය අතුගා දැමීම පමණයි. ඒ වගේ ම ජනතාවට වගවන පාලනයක් ස්ථාපිත කිරීම පමණයි. මා හිතන විදියට ඉතිහාසය විසින් ‘අනුර’ කෙනෙකු නිර්මාණය කොට ඇත්තේ ම ඒ සඳහායි. එය කරන්නට ඔහුට වඩා හොඳ කෙනෙකු තවත් කාලයකට පැමිණෙන්නේත් නැහැ. අනුර තමන් ගේ ධුර කාලය තුළ එය පමණක් කළත් හොඳට ම ප්‍රමාණවත්. ඔහු ගේ මැතිවරණ ව්‍යාපාරය තුළ කේන්ද්‍රීය සාධකය වුණෙත් එයයි. එයට වඩා වෙනස් දේවල් ඔහුගෙන් බලාපොරොත්තු වීම අනුරට කරන අසාධාරණයක්.
සජිත්ට අත්වුණු ප්‍රතිඵලය ගැන මට කිසිම පුදුමයක් නැහැ. සජිත්ට මේ ප්‍රතිඵලය හිමිවෙන්න ඉතා ම ඉහළ සම්භාවිතාවක් තිබෙන බව මැතිවරණයට පෙර කිහිප වතාවක් ම මම පුරෝකථනය කළා. මෙවර මැතිවරණයේ දී ජනතාවට ඡන්දය පාවිච්චි කිරීම සඳහා තර්කානුකූල හේතු දෙකක් සිය මැතිවරණ ව්‍යාපාර තුළ ඉදිරිපත් කළේ අනුර සහ රනිල් පමණයි. රනිල් තම මැතිවරණ ව්‍යාපාරය ‘ආර්ථිකය’ මත පදනම් කරද්දි අනුර තම මැතිවරණ ව්‍යාපාරය පදනම් කරගත්තේ ‘දේශපාලන ක්‍රම වෙනස’ මතයි. සජිත් කිසිම තර්කානුකූල හේතුවක් තමන් ගේ මැතිවරණ ව්‍යාපාරය තුළ ඉදිරිපත් කළේ නැහැ. ඔහු කළේ කිසිම තර්කයක් හෝ පදනමක් නැති නිෂ්ඵල කැම්පේන් එකක්. එහෙම නිෂ්ඵල, අතාර්කික කැම්පේන් එකකට මෙයට වඩා වෙනස් ප්‍රතිඵලයක් ලැබෙන්න විදියක් නැහැ.
2019 ජනාධිපතිවරණයේ දී සජිත් ඡන්ද ලක්ෂ 55ක් සහ සියයට 44ක ප්‍රතිශතයක් ලබාගත්තා. මෙවර ජනාධිපතිවරණයේ දී සජිත් ලබාගත්තේ ඡන්ද 43 ලක්ෂයක් පමණයි. ඒ කියන්නේ ගිය ජනාධිපතිවරණයට සාපේක්ෂව ඔහු ඡන්ද ලක්ෂ 12ක් පමණ ඩු කරගෙන තියෙනවා. ප්‍රතිශතය සියයට 10කට වඩා අහිමි කරගෙන සිටිනවා. යම් හෙයකින් තවත් වසර පහකින් පමණ සජිත් නැවත ජනාධිපතිවරණයකට ඉල්ලුවොත් ඔහු දැන් ලබා සිටින ඡන්ද ප්‍රමාණයෙනුත් ලක්ෂ 15ක් පමණ අහිමි කරගන්නවා. අවශ්‍ය නම් කෙනෙකුට මෙහි ස්ක්‍රීන්ෂොට් එකක් තබාගෙන තවත් වසර පහකින් මෙහි ඇත්ත නැත්ත විමසා බැලිය හැකියි.
මෙයට හේතුව වන්නේ සජිත් ගේ දේශපාලන උපායමාර්ග කාලයත් සමග යාවත්කාලීන නොවූ, යල් පැන ගිය, 60 දශකයේ ඒවා වීමයි. සජිත් ගේ දේශපාලන මොඩලය තරුණ තරුණියන් සහ නාගරික/අර්ධ නාගරික මධ්‍යම පංතිය විහිළුවක් ලෙස සළකනවා. ඔවුන් දිගින් දිගට ම සජිත් ප්‍රතික්ෂේප කරනවා. සජිත් ගේ දේශපාලන මොඩලය ගැළපෙන ග්‍රාමීය, වයස්ගත සමාජ තීරුව ක්‍රමයෙන් ක්ෂය වෙමින් යනවා. ඉතින් සජිත් ගේ දේශපාලනය ගමන් කරන්නේ ප්‍රපාතයට විතරයි. ඒ නිසා සජිත් ට ඇත්තට ම ආදරය කරන කවුරුන් හෝ ඉන්නවා නම් කළ යුත්තේ ඔහුට දේශපාලනයෙන් දුරස්ව යාල වනාන්තරයට වී ඔහු ආසා කරන වනජීවි ඡයාරූපකරණය වැනි දෙයක් කරමින් සතුටින් සහ නිදහසේ ජීවත් වන්න ඉඩදීමයි. එහෙත් සජිත්ටත් අත්වී තිබෙන්නේ පසුගිය කාලයේ මහින්ද රාජපක්ෂට අත්වූ ඉරණමමයි. බල්ලාගේ ලේ උරා බොන්නේ නැතුව මැක්කන්ට පවතින්නට බැහැ වගේ සජිත් මත යැපෙන ඔහු ගේ ඉතා ම හිතෛෂී, සහචරයන්ටත් සජිත් නැතුව පවතින්නට බැහැ.
සමගි ජන බලවේගයට හෝ එජාපයට ඊළඟට කුමක් වේදැයි මම දන්නේ නැහැ. ඒ කොහොම වෙතත් සාම්ප්‍රදායික දේශපාලන පක්ෂවල ආකෘති මේ වන විට සුණු විසුණු වී ගිහින් තියෙනවා. අලුත් ආකෘතියක් සොයාගන්නේ නැතිව ඔවුන්ට ඉදිරියට පවතින්න හෝ දේශපාලනය කරන්නට බැහැ. ඔවුන් විසින් නඩත්තු කරගෙන යන ලුම්පන් සංස්කෘතියට කිසිවෙකුත් ආකර්ෂණය වන්නේ නැහැ. අනුර ගේ ජයග්‍රහණය ඉතා විශේෂ දෙයක් වන්නේ ඒ සමග අර සාම්ප්‍රදායික පක්ෂවල පරණ ආකෘති කඩාවැටීමයි. ඒක ලංකාවේ දේශපාලනයට ඉතා හොඳ දෙයක්.
අනුරගේ ‘අනෙකා’ විය හැක්කේ කාටද යන්න ඉතා ම වැදගත් ප්‍රශ්නයක්. ඒ සදහා හර්ෂ ද සිල්වා, චම්පික, ඩලස් වැනි විවිධ නම් ඇතැමුන් යෝජනා කරනවා. මේ හැමෝට ම ඔවුන්ට ම ආවේණික ශක්තීන් වගේ ම දුර්වලතාත් තියෙනවා. හැබැයි මේ හැමෝට ම මුහුණ දෙන්නට වෙන අභියෝගය වන්නේ ඔවුන්ට තමන් මෙතෙක් නියෝජනය කළ සාම්ප්‍රදායික දේශපාලනයේ ආකෘතියෙන් කොයි තරම් දුරට මිදෙන්න පුළුවන් ද කියන එකයි. ඔවුන් ජීවිත කාලයක් තිස්සේ ඉගෙන ගත් බොහෝ දේ unlearn කොට දේශපාලනය ගැන අලුතින් ම සිතන්නට පුළුවන් ද කියන එකයි. ඒක හිතනවාට වඩා ඉතා අමාරු දෙයක්. අනුර පසුගිය කාලයේ ඉතා ම සාර්ථකව කළ එක දෙයක් වන්නේ සාම්ප්‍රදායික, පැරණි දේශපාලනයට හුඟක් ඈතින් තමන් ස්ථානගත කරගන්නට සමත් විමයි. අනුර අවුරුදු 23ක් පමණ පාර්ලිමේන්තුව නියෝජනය කර තිබෙනවා වුණත්, ඇතැම් ආණ්ඩුවල කැබිනට් ඇමතිකම් දරා තිබෙනවා වුණත්, අතීතයේ විවිධ ආණ්ඩු පෙරළිවල දී විවිධ භූමිකා නිරූපණය කොට තිබෙනවා වුණත්, කාටවත් ඔහු ‘පැරණි’ දේශපාලනයේ කොටසක් ලෙස පෙනුණේ නැහැ. මේ වෙලාවේ අනුර ගේ සාර්ථකත්වයට ලොකු හේතුවක් වන්නේ එයයි.
මා කලිනුත් කියා ඇති විදියට අනුර ජනාධිපති වීම ලංකාවේ වමට වගේ ම දක්ෂිණාංශය නියෝජනය කරන අයටත් ඉතා ම වැදගත් සිදුවීමක්.
ලංකාවේ දක්ෂිණාංශයට මෙතෙක් කල් හොඳ මිතුරන් හමු වී නැහැ. එහෙම මිතුරන් ලෙස පෙනී සිටි බොහෝ අය උද්දච්ච රදළයන්, වසල වෙළෙඳුන්, සොරුන්, ත්‍රාඩයන් සහ මං පහරන්නන් පමණයි. ඔවුන් කාලයක් තිස්සේ දක්ෂිණාංශයට අයිති දේශපාලන අවකාශය අපයෝජනය කළා.
ඒත් දැන් ලංකාවේ දක්ෂිණාංශික දේශපාලනයට හොඳ සතුරෙකු හමු වී තිබෙනවා. ඒ තමයි අනුර.
ඇතැම් වෙලාවට හොඳ මිතුරෙකුට කරන්න බැරි වැඩේ හොඳ සතුරෙකු විසින් ඉටු කරනවා.
ඇතැම් වෙලාවට හොඳ මිතුරෙකු නැති අඩුව හොඳ සතුරෙකු විසින් පුරවනවා.
–
රසික ජයකොඩි
23 – 09 – 2024