අනුරාධපුරේ වෛද්‍යවරියක ලිංගික අපරාධයකට ලක්වීම: බී වාර්තාව ලැබුණේ කෙසේ දැයි අධිකරණ වාර්තාකරුගෙන් පොලිසිය ප්‍රශ්න කරයි

0
56
sharethis sharing button
අනුරාධපුර රෝහලේ වෛද්‍යවරියක ලිංගික අපරාධයකට ලක්වූ බව කියන සිද්ධිය මේ වන විට මෙරට අපරාධ වාර්තාකරණය පිළිබඳ නව කතිකාවක් නිර්මාණය කර තිබේ.මෙම සිද්ධිය වාර්තා වී මාස දෙකකට අධික කාලයක් ගත වී ඇතත්, මෙම වෛද්‍යවරියගේ අනන්‍යතාව, හැඩහුරුව, ජාතිය, ආගම හෝ පවුල පිළිබඳ කිසිදු තොරතුරක් මාධ්‍ය මගින් හෙළි කර නොමැත.

එහෙත්, මෙය ප්‍රශ්නකාරී තත්ත්වයක් බවට පත්වූයේ අදාළ ලිංගික අපරාධය සම්බන්ධයෙන් පොලිසිය අධිකරණයට ඉදිරිපත් කළ බී වාර්තාව මාධ්‍ය වෙත ලැබුණේ කෙසේ දැයි, අනුරාධපුර පොලිසිය ජ්‍යෙෂ්ඨ අධිකරණ වාර්තාකරුවෙකු වන උපාලි ආනන්ද පොලිසියට කැඳවා ප්‍රශ්න කිරීමත් සමග ය.

‘පොලිසියේ හැසිරීම ම පොලිසියට බූමරංගයක් වෙලා’

අධිකරණ වාර්තාකරුවෙකු ලෙස කටයුතු කරන උපාලි ආනන්ද මාධ්‍යවේදියා අනුරාධපුර අධිකරණයට අමතරව, පොළොන්නරුව, කුරුණෑගල, මාතලේ සහ මහනුවර යන අධිකරණවල වසර 20කට ආසන්න කාලයක් වාර්තාකරණයේ නිරත වෙයි.

මෙම සිද්ධිය පිළිබඳ වාර්තා කළ අනුරාධපුර අධිකරණ මාධ්‍යවේදියාගෙන් තොරතුරු මූලාශ්‍ර දුන්නේ කවුදැයි ඇසීම බරපතළ තත්ත්වයක් බව නිදහස් මාධ්‍ය ව්‍යාපාරය සඳහන් කළේ ය.

එහි කැඳවුම්කරු වන ලසන්ත ද සිල්වා බීබීසී සිංහල සේවයට පැවසුවේ, මෙරට පොලිසියේ හැසිරීම සුමට සහ අහිංසක එකක් නොවන බව ය.

“පොලිසියේ හැසිරීම ම පොලිසියට බූමරංගයක් වෙලා,” ලසන්ත ද සිල්වා පැවසීය.

සේයා සදෙව්මි දැරියගේ සිද්ධිය, මාධ්‍යවේදියෙකුගේ මවක ඝාතනය කිරීම සම්බන්ධයෙන් ඔහුගේ නැගණියට චෝදනා එල්ල කිරීම සහ බණ්ඩාරවෙල මූලස්ථාන පොලිස් පරීක්ෂකවරයා පොලිස් නිල මැදිරිය තුළ මාධ්‍යවේදීන් ඉදිරියේ කාන්තාවකගෙන් ප්‍රශ්න කිරීම උදාහරණ ලෙස ඔහු පෙන්වා දුන්නේ ය.

“ලංකාවේ රහසක් නෙමෙයි, මේ දෙගොල්ල අතර අන්‍යෝන්‍ය සහසම්බන්ධයක් තියනෙවා. දෙපැත්තට ම තොරතුරු ගන්නවා. මාධ්‍යවේදීන් පොලිසියට තොරතුරු දෙනවා, පොලිසියත් මාධ්‍යවේදීන්ට තොරතුරු දෙනවා. ඒවා රහස් නෙමෙයි.”

‘බී වාර්තාව උසාවියට දාන්නේ පොලිසිය’

“බී වාර්තාව උසාවියට දාන්නේ පොලිසිය. වෙන කවුරුත් නෙමෙයි. මෙතන හිතන්න දෙයක් නැහැ. මාධ්‍යවේදියාට මේ තොරතුරු දෙන්නේ පොලිසිය. පොලිසිය පළමු කොට කළ යුත්තේ මාධ්‍යවේදියා පොලිසියට කැඳවල ප්‍රශ්න කරන එක නෙමෙයි.”

“ඔය සිදුවීම වුණේ සාමාන්‍ය කාන්තාවකට, වතුකරයේ කාන්තාවක් වුණා නම් පොලිසිය මූලාශ්‍ර ලැබිච්ච හැටි අහන්නේ නැහැ.”

එබැවින් මාධ්‍යයේ කාර්ය භාරය මෙන් ම ලංකාවේ අපරාධ වාර්තාකරණයේදී පොලිසියේ කාර්ය භාරය නැවත ප්‍රශ්න කළ යුතු බව ද නිදහස් මාධ්‍ය ව්‍යාපාරය පවසයි.

“අදාළ මාධ්‍යවේදියා ඔහුගේ සීමාවේ ඉඳන් ඒක වාර්තා කිරීම අගය කරනවා. මේ වෛද්‍යවරියගේ නමක් ගමක් කතා කරන ඔබත් මමත් දන්නේ නැහැ. ඒ වාර්තා කිරීම ඒ සීමාව ඇතුළේ ඔහු කරලා තියෙනවා. ඔහු ගැන අගය කරනවා. නම්ගම් හෙළි නොකිරීම ගැන.”

“මෙතන ප්‍රශ්නේ තියෙන්නේ අදාළ මාධ්‍ය ආයතන මේ සිද්ධිය රීබිල්ඩ් කිරීම, නැවත ගොඩ නගනවා. රූපමය වශවෙන් කතාවක් කියන විදිහට හදන එකේ තමා ප්‍රශ්න තියෙන්නේ.”

“පොදු සාමාජය නොදන්නවා වුණාට මේ සිදුවීමට මුහුණ දුන් වෛද්‍යවරිය සහ ඇගේ සමීපතමයෝ දන්නවා මොක ද වුණේ කියලා. මේක නැවත නැවත රූපවාහිනිය හරහා වින්දිත හෝ ගොදුර බවට පත්වෙච්ච ඇය ම දකිනකොට ඇයට මොන වගේ සිතිවිලි ඇති වෙනව ඇද්ද?,” යැයි ලසන්ත ද සිල්වා පැහැදිලි කළේ ය.

“මෙතෙන වරද තියෙන්නේ නිව්ස් රූම්වල. නමුත් ස්ත්‍රී දූෂණයක් වාර්තා කිරීමේදී ඒක කරන්නේ කොහොම ද කියන ප්‍රමිතීන් ගැන තවදුරටත් සාකච්ඡා කරන්න ඕනේ,” ලසන්ත ද සිල්වා පැවසීය.

ලිංගික අපරාධ වාර්තා නොකර සිටිය හැකි ද?

ලිංගික අපරාධවලට එරෙහිව සමාජ මතයක් ගොඩනැගීම සඳහා, එවැනි සිද්ධි වාර්තා කිරීමට සිදුවන බව ලසන්ත ද සිල්වා පැවසීය.

කෙසේ වෙතත්, එහිදී වැඩි වගකීම අදාළ ප්‍රවෘත්තිය වාර්තා කරන මාධ්‍ය ආයතනයේ කර්තෘ මණ්ඩලයට නැතහොත්, නිව්ස් රූම් එකට තිබිය යුතු බව නිදහස් මාධ්‍ය ව්‍යාපාරයේ කැඳවුම්කරු පැවසීය.

අනුරාධපුර මූලස්ථාන පොලිස් පරීක්ෂක අධිකරණය හමුවට කැඳවයි

මාධ්‍යවේදීයාගෙන් ප්‍රශ්න කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් කරුණු විමසීම සඳහා අනුරාධපුර මූලස්ථාන ප්‍රධාන පොලිස් පරික්ෂකවරයා ලබන මැයි මස 07 වන දා අධිකරණය හමුවට කැඳවා තිබේ.

අනුරාධපුර ශික්ෂණ රෝහලේ වෛද්‍යවරියක ලිංගික අපරාධයකට ලක්වූ බව කියන සිද්ධියට අදාළ අධිකරණ ප්‍රවෘත්තිය වාර්තා කළ අධිකරණ මාධ්‍යවේදී උපාලි ආනන්ද පොලිසියට කැඳවා අදාළ ප්‍රවෘත්තිය වාර්තා කිරීමට තොරතුරු ලබා ගත්තේ කෙසේ ද? සහ තොරතුරු ලබා දුන්නේ කවුරුන් දැයි ප්‍රශ්න කිරීම තුළින් අනුරාධපුර පොලිසිය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් සහ පුවත්පත් කලාවේදීන් සඳහා වන ආචාරධර්ම පද්ධතියෙන් තහවුරු කර ඇති මාධ්‍ය අයිතිවාසිකම් බරපතළ ලෙස උල්ලංඝණය කර ඇති බවට නීතිඥවරුන් නගන චෝදනා සම්බන්ධයනේ කරුණු දැක්වීම සඳහා ඔහු මෙලෙස අධිකරණය හමුවට කඳවා තිබිණි.

අධිකරණය මෙසේ නියෝග කර ඇත්තේ, අනුරාධපුර ශික්ෂණ රෝහලේ වෛද්‍යවරියක දූෂණය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් රූපවාහිනී මාධ්‍ය ආයතනයක ප්‍රචාරය කළ ප්‍රවෘත්තියක් හේතුවෙන් වින්දිත වෛද්‍යවරියට අගතියක් සිදුවී ඇති බව පවසමින් අනුරාධපුර පොලිසිය අධිකරණයට කරුණු වාර්තා කර තිබූ නඩුවක අධිකරණ මාධ්‍යවේදී උපාලි ආනන්ද වෙනුවෙන් මෝසමක් කැඳවා නීතිඥ අනුරුද්ධ විජයරත්න දීර්ඝව කළ කරුණු දැක්වීමක් සැලකිල්ලට ගනිමිනි.

B752/25 අංක දරන නඩුව මගින් අනුරාධපුර පොලිසිය අධිකරණයට දන්වා තිබුණේ, වෛද්‍යවරිය ලිංගික අපරාධයට ලක්වූ සිද්ධිය අදාළ රූපවාහිනී මාධ්‍ය ජාලය 2025 මාර්තු 13 වන දා රාත්‍රි 7ට පළ කළ ප්‍රවෘත්තිය නිසා මෙම වෛද්‍යවරියට හිංසාවක් හා මානසික පීඩනයට පත්වූ බවට වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ අනුරාධපුර ශාඛාව පොලිසිය වෙත පැමිණිල්ලක් කර තිබෙන බව යි.

පොලිසිය විසින් වගන්ති දෙකක් යටතේ මේ පිළිබඳ කරුණු වාර්තා කරනු ලැබ තිබූ බව නීතිඥ අනුරුද්ධ විජේරත්න බීබීසී සිංහල වෙත පැවසීය.

‘අධිකරණය යනු දේවාලයේ කපුවෙක් වගේ තිරය පිටුපසට ගිහිල්ලා දෙවියෝ මේක කිව්වා කියලා කියන තැනක් නෙමේ’

ඔහු පැවසුවේ, 2023 අංක 10 දරන අපරාධ වින්දිතයින් ආරක්ෂා කිරීමේ පනතේ 3/1 වගන්තිය සහ අපරාධ නඩු විධාන සංග්‍රහ පනතේ 444 වගන්තිය යටතේ කිසියම් වරදක් කර ඇති බවට අනාවරණය වන හෙයින් විමර්ශනයක් කිරීම සඳහා අදාළ මාධ්‍ය ආයතනය වෙත මෙම තොරතුරු ලද ආකාරය සම්බන්ධයෙන් විස්තර ලබා දෙන ලෙස අපරාධ නඩු විධාන සංග්‍රහය ප්‍රකාරව පොලිසීය අධිකරණයෙන් එම ඉල්ලීම කර තිබුණු බව ය.

පොලිසියේ ඉල්ලීම පරිදි අඅනුරාධපුර මහේස්ත්‍රාත් අධිකරණය එම නියෝගයක් ලබා දී තිබිණි.

එහිදී පොලිසියේ මේ කරුණු වාර්තා කිරීම වැරදි බවත් මේ වගන්තිවලින් අපරාධමය වරදක් සංස්ථාපනය නොවන බවත් නීතිඥ අනුරුද්ධ විජේරත්න අප්‍රෙල් 2 වන දා මෝසමක් ඉදිරිපත් කරමින් අධිකරණය හමුවේ කරුණු දක්වා තිබිණි.

නීතිඥ අනුරුද්ධ විජේරත්න කියා සිටියේ, මාධ්‍යවේදීන් සඳහා පාර්ලිමේන්තුව සම්මත කළ ආචාර ධර්ම පද්ධතියක් ඇති බව ය.

පාර්ලිමේන්තුව අනුමත කළ එම රීති අනුව එහි 4 වන අයිතමයේ සඳහන් පරිදි, තමා වෙත යම් තොරතුරක් සපයන ලද යම් තැනැත්තෙකුගේ අනන්‍යතාව හෙළි කිරීමට බලය දෙන්නේ නම් මිස මාධ්‍යවේදියා ඒ තොරතුරු ලබා ගැනීමේ ප්‍රභවය පිළිබඳ රහස්‍යභාවය රැකිය යුතු යැයි එහි දක්වා ඇති බව ය.

“මාධ්‍යවේදියාගෙන් අහනවා නම් ඔයාට තොරතුරු දුන්න මූලාශ්‍රය කියන්න කියලා. මේක වැරදි පුවතක් නම්, අසත්‍ය, ද්වේශසහගත, මහජන කැළඹීමක් ඇති වන ආකාරයේ ද්වේශසහගත දෙයක් නම් ඉල්ලන එක සාධරණ යි. එහෙම නැතිව තියෙද්දි එහෙම අහනකොට ඒක තමා මාධ්‍ය නිදහසේ මළගම වෙන්නේ. එතකොට ආයිත් තොරතුරක් දෙන්නේ නැහැනේ මිනිහෙක් මාධ්‍යයට,” නීතීඥ අනුරුද්ධ විජේරත්න පැවසීය.

පොලිසිය පළමුව අධිකරණයකට කරුණු වාර්තා කර ඇත්තේ, පළ කළ පුවත හෝ අධිකරණයට ඉදිරිපත් කර නොමැතිව බවත්, එම පුවත වැරදි බවට අධිකරණය හමුවේ කරුණු දක්වා නොමැති බවත් ඔහු සඳහන් කළේ ය.

“මේ වෛද්‍යවරියගේ අනන්‍යතාව හෙළි කරලා නැහැ, පදිංචි ස්ථානය කියලා නැහැ. වෛද්‍යවරියක් බව පමණ යි සඳහන් කරලා තියෙන්නේ, බී වාර්තාවේ සඳහන් කර ඇති යම් යම් කරණු එළියට ගිය හැටි හොයන එක තමා මේගොල්ලන්ගේ වැඩේ”

“අධිකරණය යනු දේවාලයේ කපුවෙක් වගේ තිරය පිටුපසට ගිහිල්ලා දෙවියෝ මේක කිව්වා කියලා කියන තැනක් නෙමේ. අධිකරණයේ විවෘතභාවය තියෙනවා, අධිකරණයේ වෙන දේවල් මිනිස්සුන්ට බලන්න පුළුවන්.

අධිකරණ අමාත්‍යංශයේ චක්‍රලේඛයක් තියෙනවා, මාධ්‍යවේදීන්ට අසුන් පනවන්න කියලා. එකෙන් කියන්නේ… බලාපොරොත්තු වෙන්නේ අධිකරණයේ තොරතුරු මිනිසුන්ට වාර්තා කරන්න ඉඩ සැලසීම. ඒකට පටහැනි ආකාරයට යි මේ අධිකරණයට කරුණු වාර්තා කරන්නේ.”

‘පොලිසිය අධිකරණයට ඉදිරිපත් කළ බී වාර්තාවේ කරුණු ගත්තේ කොහොම ද? දුන්නේ කවුද? කියලා මගෙන් ප්‍රශ්න කළා’

මාධ්‍යවේදී උපාලි ආනන්දු බීබීසී සිංහල වෙත පැවසුවේ, “පොලිසිය අධිකරණයට ඉදිරිපත් කළ බී වාර්තාවේ කරුණු ගත්තේ කොහොම ද? දුන්නේ කවුද? කියලා මගෙන් ප්‍රශ්න කළා.”

“එහෙම කිව්වොත් මම නීතියක් කඩපු පුද්ගලයෙකුට බවට පත්වෙනවා කියලා මම කිව්වා, 4 වැනි වගන්තිය [මාධ්‍යවේදීන් සඳහා පාර්ලිමේන්තුවේ අනුමත කර ඇති ආචාර ධර්ම] අනුව එම තොරතුරු දෙන්න මම බැඳිලා නැහැ කියලා මම කිව්වා”

“පසුගිය 2 වන දා මොසමක් මගින් මම මේ සිද්ධිය ගැන අධිකරණය හමුවේ කරුණු දැක්වීමක් කළා.”

“අගතියට පත්වූ වෛද්‍යවරිය මේ සම්බන්ධයෙන් පැමිණ්ල්ලක් කරල නැහැ. අදාළ වෛද්‍යවරිය වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ අනුරාධපුර ශාඛාවට පැමිණිල්ලක් කර ඇති බවට වාර්තා වන්නේ නැහැ.” ඔහු කියා සිටියේය.

‘කාටවත් පහර ගැසීමක් නෙමෙයි’

මේ සම්බන්ධයෙන් බීබීසී සිංහල කළ විමසීමකදී ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියෙකු පැවසුවේ, “කාටවත් පහර ගැසීමක් නෙමෙයි. නඩු කටයුතු ගැන ප්‍රකාශයක් ගිහිල්ලා තියෙනවා. ඒ ගැන තවම විමර්ශනය කර ගෙන යනවා.” යනුවෙනි.

| BBC සිංහල සේවය

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here