අනේක දුක් කටොලු මැද ජීවිතය භාග්‍යක් සේ සැලකූ කිවිඳිය ‘ලොරෙටා’

0
277

ලේඛිකාවක්,කිවිඳියක් ලෙස සිය කුසලතා ප්‍රකට  කරමින් මානව ⁣ප්‍රේමයෙන් අප සමඟ වෙලුන අපගේ ආදරනීය මිතුරිය අපගෙන් වෙන්වී මේ ගෙවෙන්නේ 2 වන වසරයි. වසරක් හෝ දෙවසරක් නොව කල්ප කාලයකට අමතක නොවන සැමරුම් රැසක් ඇය අප අතර තබා ගොසිනි. ඇය අප සමඟ ජීවත් වු කාලයේදි
මිතුරන් හා බෙදාගත් ආදරය,කරුනාව,මිත්‍රත්වය මෙන්ම ඇය විසින් රචිත ඇගේ.ලේඛන හා කාව්‍ය  ඇයව ,යලි යලිත් කියවා ගැනීමට ලොරෙටා අපට දායදයක් ලෙස ඉතිරි කර තිබේ.
ගැහැණියක් ලෙස ඉපදී , ඇයට ජීවත්වන්නට සිදුවූ සමාජය ඒ ආකාරයෙන්ම බාරගන්නට ලොරෙටා සූදානම් නොවු බව ඇගේ කාව්‍ය දෙස බලන විට හැගී යයි. ඇ⁣ගේ සමාජ ක්‍රිාකාරකම් මෙන්ම නිරන්තරයෙන් ප්‍රගුණ කළ ජනහිතකාමී බව නිසාම ලොරෙටා දයාදරී  අපට සුවිශේෂී චරිතයකි. ඇය විසින් රචිත භාග්‍යයා කවි පොතේ පෙර වදනේ අවසානයට ඇය මෙසේ ලියා තිබේ.

භාග්‍යයකි මට කවි පොත එළිදැක්වීම
ජීවිතයද භාග්‍යකි
දකින්න කියවන්න ජීවිතයේ ආදරය සෙනෙහස හිමි, අහිමි, නිසාම
හඩන සිනාසෙන නිහඩ චරිත හදුනාගන්න
චරිතවල සිරවී සිටින ඔබ මා හඳුනාගෙන
ජීවිතය අභාග්‍යක් නොකොට හිමි අහිමි දරා වෑයමෙන්
නැගිට දිරිගන්න
මේ මගේත් ඔබේත් හැමෝගෙම ජීවිතයයි
එය අත්විදීම භාග්‍යයකි..

ලොරෙටාගේ කවි වලින් බිඳක්

භාග්‍යය

රැවටෙමි
හඬමි
සිනාසෙමි
නිහඬවෙමි
නිසල වෙමි
සසල වෙමි
ගැහැණියෙක්මි…

අම්මා⁣ගේ දින සටහන

පොත් පුරා
පිටු පුරා
ණයට ගත් ණයට දුන් සටහන්
අදත් මට උගන්වයි
අරපිරිමැස්ම

රැදාව

ඇහේ රුදාවට පමණක්
මතකයේ රැඳෙන
පිච්ච මලකි
මා..

බලය

සැමියන්ගේ බල මහිමය
සීල් වෙලා බෝතල් වල
බිරියන්ගේ ඇට මස් ලේ
බයිට් වෙලා පීරිසි වල

සසලවූ සැමියාට

ඉදහිට වැයෙනා
හෙමිහිට වැයෙනා
චල්වලල්ලක් සේමා
වනු මැන හිමි සද මා