අපරාධ යුක්තිය පසිදලීම කඩිනමින් හා කාර්යක්ෂමව සිදුකිරීම සදහා වන නිර්දේශ ඇතුළත් වාර්තාව ජනපතිට පිළිගන්වයි

0
115

අපරාධ යුක්තිය පසිදලීම කඩිනමින් හා කාර්යක්ෂමව සිදුකිරීම සදහා වන නිර්දේශ ඇතුළත් වාර්තාව අද (12) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා වෙත පිළිගැන්වීය.

නෛතික කටයුතු (දුෂණ විරෝධී) හා මාධ්‍ය කටයුතු පිළිබද ආංශික අධීක්ෂණ කාරක සභාව විසින් මෙම වාර්තාව සම්පාදනය කර තිබෙන අතර නියෝජ්‍ය අමාත්‍ය අජිත් පී.පෙරේරා මහතා විසින් වාර්තාව ජනාධිපතිතුමා වෙත පිළිගැන්වීය.

අධිකරණ හා පාර්ලිමේන්තු ප‍්‍රතිසංස්කරණ හා මාධ්‍ය යන අමාත්‍යාංශවල කටයුතු අධීක්ෂණය කිරීම, එහි සාධනීය මට්ටම ඵලදායීතාව සහ කාර්යක්ෂමතාව ඇගයීම, අධීක්ෂණය හා සමාලෝචනය නිරතුරුව සිදු කිරීම සදහා නෛතික කටයුතු (දුෂණ විරෝධි) හා මාධ්‍ය කටයුතු පිළිබද ආංශික අධීක්ෂණ කාරක සභාව පත්කරන ලදී.

අජිත් මාන්නප්පෙරුම මහතාගේ සභාපතිත්වයෙන් යුත් එහි සාමාජිකයින් ලෙස නියෝජ්‍ය අමාත්‍යවරු සහ පාර්ලිමේන්තු මන්තී‍්‍රවරු රැසක් කටයුතු කරති.

ශී‍්‍ර ලංකාවේ අධිකරණ පද්ධතියේ සාර්ථකත්වය රදා පැවතීමට නම් වඩා නිවැරදි හා සාධාරණ වූ අධිකරණ තීරණ මහජනතාවට ප‍්‍රමාදයකින් තොරව ලබාදීම කළයුතුය. ඒ සදහා නීතියේ නියමුවන් ලෙස කටයුතු කරනු ලබන නීතිපති දෙපාර්තමේන්තුව හා අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව සදහා කාර්යක්ෂමව කටයුතු කිරීමට අවශ්‍ය පරිදි නීති රාමුව සකස් කරදීම රජයේ වගකීමයි. වර්තමාන සමාජයේ අවශ්‍යතාවයට සරිලන ආකාරයට මෙම ආයතනයන්හි කටයුතු කිරීමට අවශ්‍ය පරිසරය සකස් කිරීම තුළින් එකී ආයතනයන්හි කි‍්‍රයාකාරිත්වය කාර්යක්ෂමව හා යාවත්කාලීනව සිදු කළයුතු බැවින් ඒ සදහා වන අවශ්‍යතාවයන් හදුනාගෙන සුදුසු නිර්දේශ ඉදිරිපත් කිරීම මෙම වාර්තාව ඉදිරිපත් කිරීමේ අරමුණයි.

අධිකරණ ක්ෂේත‍්‍රයට ආදළ ගැටලූ කිහිපයක් පිළිබදව ද මෙහිදි සාකච්ජාවට ගැනුණු අතර අධිකරණ ක්ෂේත‍්‍රයේ මානව සම්පත මෙන්ම යටිතල පහසුකම්ද සංවර්ධනය කරමින් නවීන තාක්ෂණය සමග එය නවීකරණය සහ යාවත්කාලීන කිරීමේ වැදගත්කම ජනාධිපතිතුමා පෙන්වා දෙනු ලැබීය.

අධිකරණ අමාත්‍ය තලතා අතුකෝරළ, රාජ්‍ය අමාත්‍ය එරාන් වික‍්‍රමරත්න, නියෝජ්‍ය අමාත්‍යවරුන් වන කරුණාරත්න පරණවිතාන, අජිත් පී. පෙරේරා, දුෂ්මන්ත මිත‍්‍රපාල, පාර්ලිමේන්තු මන්තී‍්‍ර එම්.ඒ සුමන්තිරන්, නීතිපති ජයන්ත ජයසූරිය, අතිරේක සොලිස්ටර් ජනරාල් ජනාධිපති නීතිඥ යසන්ත කෝදාගොඩ යන මහත්වරුන් ඇතුළු අධිකරණ ක්ෂේත‍්‍රයේ ප‍්‍රවීණයින් පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.