අපල දුරුවෙන්න බොන්න දුන් “දේව දියරය” විස වී දෙදරු මවක් මරුට ! (FULL STORY)

0
259

dewala_death_1අපල දුරුවීම සදහා සකස් කළ දේව දියරයක් බව කියමින් දුම්මලසූරිය ප‍්‍රදේශයේ දේවාලයක කපුවෙකු විසින් පොවන ලද දියරයක් විසවීමෙන් දෙදරු මවක් ජීවිතක්ෂයට පත්ව ඇතැයි දුම්මලසූරිය පොලිසිය කියයි.

මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ හලාවත බංගදෙණිය ප‍්‍රදේශයේ පදිංචි ඉෂාරා උමයංගනී ප‍්‍රනාන්දු නැමති 38 හැවිරිදි කාන්තාවකි.

විවාහය අසාර්ථක වී සැමියාගෙන් වෙන්ව සිටින බව කියන මෙම කාන්තාව කිසිවෙකු විසින් කර ඇතැයි කියන හූනියමක් සහ අපල ඉවත්කර ගැනීම සදහා ඇගේ ඥාතිවරියක්ද සමග ඊයේ (11 දා) පස්වරුවේ වැලිපැන්නගහමුල්ල, පාලියාගාර වැව අසල පිහිටි මෙම දේවාලයට පැමිණ ඇති බව පොලිසිය කියයි.

දේවාලයේ කපුවා විසින් යාතිකා කර මායම්වීමෙන් පසුව අනතුරුව හූනියම ඉවත්කිරීම සදහා යම් දියරයක් පානය කිරීමට දී ඇතැයිද , එම දියරය පානය කිරීමෙන් අනතුරුව අසාධ්‍ය තත්වයට පත් වූ කාන්තාව දුනකදෙනිය රෝහලට ඇතුළත් කිරීමෙන් පසුව මියගොස් ඇති බවත් මූලික පොලිස් පරීක්‍ෂණවලින් හෙළි වී තිබේ.

සිද්ධිය වූ දේවාලයට අද උදෑසන පැමිණි කුලියාපිටිය වැඩබලන මහේස්ත‍්‍රාත් නිහාල් ජයසිංහ මහතා විසින් ඒ පිළිබද මහේස්ත‍්‍රාත් පරීක්‍ෂණය පැවැත් වූ අතර, දේහය පිළිබද පශ්චාත් මරණ පරීක්‍ෂණය පැවැත්වීමෙන් අනතුරුව සිරුර ඥාතීන්ට භාරදෙන ලෙස එහිදී නියම කළේය.

සිද්ධියට සම්බන්ධ කපුවා දුම්මලසූරිය අත්අඩංගුවට ගෙන ඇති අතර දුම්මලසූරිය පොලිසිය වැඩිදුර පරීක්ෂණ සිදුකරයි.

කුලියාපිටිය දිනේෂ් උපේන්ද්‍ර