‘අපේ හැම දේකම මිල අඩු වුණත්, අපි අලෙවි කරන්නේ, ජාත්‍යන්තර තත්ත්වයට මසනලද බ්‍රෑන්ඩඩ් නිමි ඇඳුම්

0
316
මීගමුවේ පිහිටි කැෂුවල් නිමි ඇදුම් ව්‍යාපාරයේ හිමිකරු ජයලත් කුමාර මහතා සමග කරන ලද සාකච්ඡාවකි.

ඔබ ගැන විස්තරයක් කෙටියෙන් කිව්වොත්

මගේ නම ජයලත් කුමාර මම උපන්නේ 1979 වසරේ.  මීගමුව,  අක්කර පනහ, ෆාම් ගෝ  වත්තේ තමයි මමයි, මගේ බිරිඳයි, මගේ දරුවයි, පදිංචිලා ඉන්නේ.අපේ ගම කුරුණෑගල. මම එහේ තමයි පාසල් අධ්‍යාපන ලැබුවේ. මම කලින් වැඩ කෙරුවේ ඩයලොග් ආයතනයේ. ෆයිබර් ඔප්කටිකල් කණ්ඩායමේ තාක්ෂණික නිලධාරියෙක් විදියට, ඒ කියන්නේ ටෙක්නිකල් ඔෆිසර් කෙනෙක් විදිහට. එතන ඔහොම වැඩ කරගෙන යද්දී, ඒ ටීම් එකට ලබා දුන්න කාලය යම් ආකාරයකින් එයාලා සීමා කෙරුවා. ඒත් එක්කම ඒ කම්පැනිත් මාරු වුනා. අන්න ඒක නිසා අපිට එතනින් ඉවත් වෙන තත්ත්වයට කටයුතු සිද්ධ වුණා. ඉන් පස්සේ තමයි ව්‍යාපාර පැත්තට එන්න ඕනේ කියන  අදහස ආවේ.

      එතකොට ඔබ ව්‍යාපාර ක්ෂේත්‍රයට පිවිසෙන්නේ අහම්බෙන් කියලද ඔබ කියන්නේ ?

ඒක ඉතින් අහම්බෙන් කියලා කියන්නත් බැහැ මොකද මගේ මේ ව්‍යාපාරය ආරම්භ කෙරුවේ මගේ බාල සහෝදරයා ඒ කියන්නේ මගේ මල්ලිත් එක්ක. එයාට හොඳ දැනුමක් තිබුණා මේ ව්‍යාපාර කටයුතු සම්බන්ධව. ඉතිත් ඔය කාලේ වෙද්දි මගෙත් අදහසක් තිබුණා ව්‍යාපාර කටයුත්තකට සම්බන්ධ වෙන්න. මගේ මේ ව්‍යාපාරය පටන් ගත්තු කාලයේ  මේක හඳුන්වා දෙන්න මගේ මල්ලි තමයි, මූලික වී වැඩ කටයුතු කෙරුවේ.අපි අපේ මේ ව්‍යාපාරය ,මුලදී ආරම්භ කෙරුවේ ,සිදුව, ලියනගේමුල්ල ප්‍රදේශයේ. ඒ ප්‍රදේශයේ මම වසර 10 ක් විතර  ව්‍යාපාරය කරගෙන ගියා. ඉන් පස්සේ වසර 10 ක් විතර ගියාට පස්සේ 2014 වසරේ විතර වගේ තමයි මම මීගමුවේ ,මගේ ව්‍යාපාරය ,ඒ කියන්නේ මේ ෂොප්  එක ආරම්භ කෙරුවේ.    මගේ මල්ලිත්  කුරුණෑගල ප්‍රදේශයේ වෙනමම ෂොප් එකක් දාලා එතන ව්‍යාපාර කටයුතු කරගෙන යනවා. ඉතින් මෙතන ඉස්සෙල්ලාම අපි පටන් ගත්තේ තොග වශයෙන් අලෙවි කරන ව්‍යාපාරයක්.ඒ කියන්නේ සුළු වශයෙන් මේ ඇඳුම් පැළඳුම් ව්‍යාපාර කරන සුළු ව්‍යාපාරිකයින්ට, තොග පිටින් රෙදි පිළි අලෙවි කරන ව්‍යාපාරික ස්ථානයක් විදියට තමයි මේක පටන් ගත්තේ. නමුත් කාලයක් යද්දී අපි මෙතන ෂෝ රූම් විදිහට හදලා අයිටම් එක දෙක මිලදී ගන්න එන අයටත්  වැඩිපුර අවස්ථාවක් ලබා දුන්නා.

දැන් මීගමුව කියලා කියන්නෙම, මසා නිම කළ ඇඳුම් සහ රෙදි පිළි ව්‍යාපාරික ස්ථාන සිය ගණනක් පවතින, සුපිරි මට්ටමේ නගරයක්. එතකොට ඔබ වැනි කෙනෙක් සුළුවෙන් මේ වගේ ව්‍යාපාරයක් එහෙම නැත්නම් ෂොප් එකක් ආරම්භ කරද්දී සහ කරගෙන යද්දි මොන වගේ අභියෝග වලටද ඔබට  මුහුණ දෙන්න සිද්ධ වුණේ?

මට නම් මේ ෂොප් එක ආරම්භ කරන කාලේ ,ඒ කියන්නේ මීට වසර 10 කට වගේ කලින් එහෙම කිසිම අභියෝගයක් කියලා කියන්න දෙයක් තිබුණේ නැහැ . මොකද මීගමුව කියන්නේ කඩ සාප්පු සැහෙන ප්‍රමාණයක් තියෙන නගරයක් තමයි. නමුත් මම පටන් ගත්තු මේ ෂොප් එකේ එහෙම නැත්නම් මගේ මේ බිස්නස් එකේ ප්‍රධානතම අයිටම් එක වුනේ, ෂෝර්ට්ස් ඒ කියන්නේ කාන්තා, පිරිමි සහ ළමුන්ගේ කොට කලිසම්. ඉතින් මම ඔය ෂෝර්ට්ස් බිස්නස් එක කරගෙන යද්දි ඒකම ප්‍රධාන බිස්නස් අයිටම් එක විදිහට කරපු මීගමුවේ වෙනත් ව්‍යාපාර එහෙම තිබුණේ නෑ.මම මගේ ෂොප් එකේ පුළුවන් තරම් අලෙවි කෙරුවේ, කොට්න් ෂෝර්ට්ස්.   ඉතින් ඒකට මට දැනෙන විදිහට ලොකු අභියෝගයක් තිබුණේ නෑ, මම මේ බිස්නස් එක පටන් ගන්න කාලේ. හැබැයි දැන් , සහ දැන⁣ට සුළු කාලෙක සිට නම් යම් ආකාරයක අභියෝගයක් අපේ බිස්නස් වලට තියෙනවා. මොකද දැන් කොට්න් වර්ගයේ රෙදි පිළි වලින් ෂෝර්ට්ස් වාගේ සැහැල්ලු ඇඳුම් පැළඳුම් බිස්නස් කරන තවත් අය ව්‍යාපාරික ස්ථාන කිහිපයක්ම තියෙනවා මීගමුවේ.
ඉතින් දැන් දැන් මේ තියෙන  අභියෝග යම් තරමකින් වැඩි වීමත් එක්ක මම මේ ෂොප් එකේ විකුණන්න තියෙලා තියෙන ෂෝර්ට්ස් වලට අමතරව තවත් අයිටම්ස් ,ඒ කියන්නේ කාන්තා පිරිමි  ළමා ඇඳුම් පැළඳුම් වැඩිපුර අලෙවියට තැබුවා .ඒ කියන්නේ ෂොප් එකේ විකුණන්න තියෙන අයිටම්ස් ප්‍රමාණය මම වැඩි කෙරුවා.

මොනවද මෙතන වැඩිපුරම අලෙවියට තියෙන්නේ ?

මේ ෂොප් එකේ දැන් අලෙවි කරනවා,කාන්තා, පිරිමි සහ ළමා නිමි ඇඳුම්.පිරිමින්ගේ ගත්තොත් කොට කලිසම් දිග කලිසම්,    ෂර්ට් , කොලර් සහිත හා රහිත අත්දිග ,අත්කොට  ටී ෂර්ට්,  ඒ වගේමයි අන්ඩ වෙයාර්ස් (යට ඇඳුම්), ඒවගේම සීත දේශගුණයට ගැලපෙන ජැකට්ස් වර්ග,
ඒ වගේමයි කාන්තාවන් සඳහා, දිග කලිසම්, කොට කලිසම්, ත්‍රී-ක්වාටර්ස්, ෆෝ-කිවාටර්ස්, අත්දිග අත්කොට ,කොලර් රහිත කොලර් සහිත බ්ලවුස්, සහ ටී- ෂර්ට්ස් වර්ග මේ ෂොප් එකේ අලෙවි කරනවා.ඒත් ඒක්කම  ළමුන් සඳහා කොට කලිසන් දිග කලිසන්, ෂර්ට් , ටී ෂර්ට්ස් වගේම ළමුන් සඳහා අන්ඩවෙයාර්ස් (යට ඇඳුම්) වර්ගද අලෙවි කරනවා.මේ කොහොම වුනත් ,මගේ මේ ෂොප් එකේ තවම අපි මුල් තැන දෙන්නේ ඒ කියන්නේ තවමත් අපේ  ප්‍රධාන සහ මූලික බිස්නස් අයිටම් එක වෙන්නේ ⁣ෂෝර්ට්ස් වර්ග තමයිි. .මීගමුව ප්‍රදේශයේ කාන්තා පිරිමි ළමා කියලා වෙනසක් නැහැ, මේ අය ෂෝර්ට්ස්  වර්ග වැඩිපුරම අඳින්න කැමතියි.  ඉතින් ෂෝර්ට්ස්  ඇන්දහම හැම දේකටම පහසුයි. අනික අපි ගාව තියෙන්නේ කොට්න් වගේ සැහැල්ලු රෙදි වලින් මහපු බ්‍රෑන්ඩඩ් ෂෝර්ට්ස් වර්ග.

අපි ගාව තියෙන්නේ අපනයන තත්ත්වයේ නියම බ්‍රෑන්ඩඩ් රෙදි පිළිවලින් ජාත්‍යන්තර ප්‍රමිතියට මසන ලද ලෝක ප්‍රසිද්ධ බ්‍රෑන්ඩඩ් වලින් එන නියම ඉස්තරම්ම ඇඳුම් පැළඳුම්. විශේෂයෙන්ම  තමන්ගේ ශරීර ප්‍රමාණයට ගැලපෙන ලාර්ජ් ඒ කියන්නේ L ,XL ,XXL ,XXXL , XXXLX වගේ ප්‍රමාණවලින් ද ඇඳුම් පැළඳුම් අපි අලෙවි කරනවා.

මේ වගේ  අපනයන තත්ත්වයේ, බ්‍රෑන්ඩඩ්  ඇඳුම් පැළඳුම් මේ ව්‍යාපාරික ස්ථානයට ඔබ කොහොමද සපයා ගන්නේ?

අපේ රටේ තියෙන කටුනායක වාගේ ප්‍රදේශවල පිහිටලා තියෙන  ආයෝජන ප්‍රවර්ධන කලාප ආශ්‍රිතව ඇඟලුම් කර්මාන්ත ශාලාවලින්  ඒ වගේම රටේ වෙනත් පළාත්වල තියෙන ඇඟලුම් කර්මාන්ත ශාලාවලින් දිනපතාම පාහේ අපනයනය පිණිස විවිධාකාර ඇඳුම් පැළඳුම් නිමවෙනවා. සමහර වෙලාවට ඔය ඇඳුම් තොග වලින් අපනයනයට අවශ්‍ය තොගය යැව්වට පස්සේ සමහර වෙලාවට තව කොටසක් ඉතුරු වෙනවා, ඒ වගේම සමහර අවස්ථාවල සුළු වශයෙන් පොඩි ඩැමේජ් එකක් වගේ වුනොත් ,ඇත්තටම ඒ ඩැමේජ් අපිට හොයන්න බෑ, ඒවා අර එක්ස්පෝර්ට් කොලිටිය බලන කොලිටි කොන්ට්‍රෝලස්ලාට ඒ කියන්නේ තත්ව පරීක්ෂකවරුන්ට වාගේ අයට තමයි ඒවා හොයාගන්න පුළුවන්. අන්න එවැනි බ්‍රෑන්ඩඩ් ඇඳුම් පැළඳුම් තොග වශයෙන් ලෝකල් මාර්කට් එකට ඒ කියන්නේ දේශීය වෙළෙඳපොළට දානවා. ඉතින් ඒ ඇඟලුම් කර්මාන්ත ශාලාවලින් වලින් ඒ විදිහට ලෝකෙල් මාර්කට් එකට දාන්න තියෙන ඒ අපනයන තත්ත්වයේ බ්‍රෑන්ඩඩ් ඇඳුම් සැපයුම්කරුවන් මාර්ගයෙන් අපි ලබා ගන්නවා. ඉතින් අපිත් සමඟ සම්බන්ධ වෙලා ඉන්න ඒ සැපයුම්කරුවන් මාර්ගයෙන් තමයි, ඔය වගේ ජාත්‍යන්තර ප්‍රමිතියෙන් යුත් අපනයන තත්ත්වයේ බ්‍රෑන්ඩඩ්  ඇඳුම් පැළඳුම් තමයි මේ ෂොප් එකේ අලෙවි කෙරෙන්නේ.

දැන් ඇඳුම් පැළඳුම් මිලදී ගන්න එන කෙනෙක් ඔබේ ෂොප් එකෙන් ඇඳුම් පැළඳුම් මිලදී ගත්තහම ඔහුට තියෙන විශේෂ වාසි මොනවාද ?.

පළමුවෙන්ම ලැබෙන දේ තමයි අඩු මිල. අපි ඇඳුම් පැළඳුම් වලට ලොකු මිලක් අය කරන්නේ නෑ. අනිත් තැන් වලට වඩා අපේ මිල අඩුයි.අනිත් එක අපේ ඇඳුම් පැළඳුම් මහලා තියෙන රෙදි හොඳ සැහැල්ලු රෙදිපිලි.ඇන්දහම ඇඟට කිසිම ප්‍රශ්නයක් ගැටළුවක් , අපහසුවක් ,දැනෙන්නේ ම නැහැ. ඇඟට සුවපහසුයි.  අපනයන තත්ත්වයෙ ජාත්‍යන්තර ප්‍රමිතියෙන් යුත් රෙදිපිලි. අනික මේ ඇඳුම් ජාත්‍යන්තර ප්‍රමිතියට මසා නිම කරලා තියෙනවා. අනික මේ ඇඳුම් නියමාකාරයෙන්ම ඔරිජිනල් බ්‍රෑන්ඩඩ්  ඇඳුම්. විශේෂම දේ තමයි මම අර කලිනුත් කිව්වා වගේ තමන්ගේ ශරීර ප්‍රමාණයට අනුව මේ ඇඳුම් පැළඳුම් මිලදී ගන්න පුළුවන්.ඒ කියන්නේ වෙන තැන්වල මිලදී ගන්න නැති සයිස් පවා   ලාර්ජ්,  XL , වගේ ප්‍රමාණයන්ට අමතරව XXL ,XXXL , XXXLX වගේ ප්‍රමාණවලිනුත්  අපෙන් මිලදී ගන්න පුළුවන්. මෙන්න මේවා තමයි අපෙන්  ඇඳුම් පැළඳුම් ගන්න අයට ලැබෙන විශේෂ වාසි

කොරෝනා වසංගතය කාලේ   මාස ගණනාවක් රට වහලා තිබුණා, ඊට පස්සේ ආපු අරගලයත් එක් අපේ රට ඉතාම  දරුණු ලෙස ආර්ථික කඩාවැටීමකට ලක් වුණා . පසුගිය කාලේ රටේ  ඇතිවුණු  මේ ප්‍රශ්න ගැටලු , ඔබේ ව්‍යාපාරයට කොහොමද බලපෑවේ?

කොරෝනා වසංගතයෙන් මාස ගණනාවක් රට වහලා තිබුනා.ඉතින් ඒ කාලේ අපිට කිසිම ව්‍යාපාර කටයුත්තක් කරගන්න බැරුව ගියා.  ⁣ෂොප් එක දිගටම මාස ගණනාවක්  එක දිගට වහලා තිබුණා. ඒ කාලයේ අපිට සෑහෙන ප්‍රශ්න ගණනාවකට මුහුණ දෙන්න සිද්ධ වුණා. විශේෂයෙන්ම ආර්ථික ප්‍රශ්න. ඉතින් ඒ කාලයේ ජීවත් වීම කියන ප්‍රශ්නය තමයි මූලිකම වුණේ.ඉතින් අපි කාලයක් තිස්සේ ව්‍යාපාර කරලා ඒ තුළින් ඉතුරු කරගත්තු යමක් තිබුණා නම්, අන්න ඉතුරු කර ගත්තු දෙයින් තමයි අපි ඒ කාලේ අපේ වැඩ කටයුතු කර ගත්තේ.
ඉන් පසු රටේ තිබුණු අරගලයෙන් පස්සේ ඇතිවුණු ආර්ථික කඩා වැටීම ඉතාම දරුණු විදිහට අපටත් බලපෑවා. අපේ ව්‍යාපාරයට ඒක වැඩි වශයෙන් බලපෑවා. තවමත් අපේ ව්‍යාපාර හරියට ඒකෙන් අර පෙර තිබුණු තත්ත්වයට කරගෙන යන්න බැරිවෙලා තියෙන්නෙත්, ඒ ඇතිවුණු ආර්ථික කඩාවැටීම නිසා කියලයි මම හිතන්නේ.. ඇත්තෙන්ම කියනවා නම් අදටත් අපේ මේ බිස්නස් එක මීට වඩා දියුණු තත්වෙකට මේ වෙනකම්ම ගන්න බැරිවෙලා තියෙන්නේ ඒ රටේ ඇති වුන ඒ  ආර්ථික කඩා වැටීම නිසා කියලයි මට තවම හිතෙන්නේ.

අවසාන වශයෙන් මම ඔබෙන් දැනගන්න කැමතියි ,ඔබේ ව්‍යාපාරයේ ඉදිරි කටයුතු සම්බන්ධයෙන් ඔබේ අළුත් සැලසුම් මොනවද ?

ඔව්, මම මේ වෙද්දි, මේ ෂොප් එකට අමතරව තවත් ෂොප් එකක් මීගමුව නගරයේ,  මිගමුව දුම්රියපොළ පාරේ, සමනළ බිල්ඩින් එක ගාව ආරම්භ කරලා තියෙනවා. ඒක තවත් වැඩිදියුණු කරන්න බලාපොරොත්තු වෙනවා, තවත් අයිටම් වර්ග වැඩිපුර දාලා. මොකද මේ වෙද්දි අපි අලෙවි කරන බ්‍රෑන්ඩඩ්  ඇඳුම් පැළඳුම් වලට පාරිභෝගිකයන්ගේ වැඩි ඉල්ලුමක් තියෙනවා.   හුඟක් පාරිභෝගිකයෝ  සෑහෙන දෙනෙක් හුරු වෙලා තියෙනවා, සීයට සීයක් කොට්න් රෙදි වලින් මසන සැහැල්ලු ඇඳුම් පැළඳුම් අඳින්න. ඉතිං ඒ පාරිභෝගික ඉල්ලුමට අවශ්‍ය සැපයීම කරන්න , අපි සූදානම් වෙලා ඉන්න ඕනේ.මොකද මේ ෂොප් එක අපි ආරම්භ කරපු කාලේ අපි අලෙවි කෙරුවේ අපේ පාරිභෝගිකයන්ට අවශ්‍ය දේ නෙවෙයි.බොහෝ වෙලාවට අපි මෙතන අලෙවි කෙරුවේ මේ බිස්නස් එක කරන මට ඕන දේවල් . නමුත් මේ වෙද්දි මට අවශ්‍ය දේ පමණක් මේ පාරිභෝගිකයන්ට අලෙවි කරන්න පුළුවන් වට පිටාවක් අර පහුගිය කාලේ වගේ හැදිලා නෑ.ඒ නිසා අපි දැන් පාරිභෝගිකයාට අවශ්‍ය දේ සැපයීමට අපි කටයුතු කරන්න ඕනේ. ඒ නිසා මේ ෂොප් දෙකටම අපි තව අයිටම්ස් වර්ග වැඩි කරන්න ඉදිරි කාලයේදී මං බලාපොරොත්තු වෙනවා.
මේ මොනවා කළත් මේ ව්‍යාපාරයේ මූලික සංකල්පය වෙනස් කරන්න සූදානමක් නැහැ . ඒ කියන්නේ අපනයන තත්ත්වයෙන් යුත් රෙදි පිළිවලින් ජාත්‍යන්තර ප්‍රමිතියට මසන ලද බ්‍රෑන්ඩඩ්  ඇඳුම් පැළඳුම් කියන සංකල්පය වෙනස් කරගන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here