අප මේ ගමන් කරන්නේ බෞද්ධ පොලිස් රාජ්‍යයකට ද??

0
195

2013-10-09 15.27.48අතුරුගිරිය ප්‍රදේශයේදී ආගමික ප්‍රචාරක සේවයේ යෙදී සිටි කාන්තාවන්  තිදෙනෙකු අල්ලා  පොලීසියට බාරදුන් සිදුවීමක් පසුගිය ඔක්තෝබර් 02වනදා මාධ්‍ය වාර්තා කළේය.
මෙම පුවත 2013/10/03 වනදා ලංකාදීප පුවත්පතේ මුල්පිටුවේ ප්‍රචාරය කර තිබුණේ   ‘‘ ආගම් ප්‍රචාරය කළ කතුන් තිදෙනෙකු ගස්බැද පොලීසියට“ යනුවෙනි. ආගමික සහජීවනය සහ ඕනෑම මතයක් දැරීම මෙන්ම ප්‍රචාරය කිරීම පිළිබද ව්‍යවස්ථානුකූල අයිතියට හිස නමන , කැලෑ නීතිය පිටුදකින මාධ්‍ය සදාචාරයක් ඇති මාධ්‍ය මෙය වාර්තා කළ යුත්තේ මෙලෙසය.  එනම් ‘‘ ආගම් ප්‍රචාරයේ යෙදී සිටි නිරායුධ කාන්තාවන් තිදෙනෙකුට අතුරුගිරියේ  බෞද්ධ හිමිනමක් ඇතුළු ප්‍රෙද්ශවාසීන්ගෙන්  ප්‍රහාරයක්‘‘ යනුවෙනි.
මන්ද මෙම සිදුවීම මූලික මිනිස් අයිතිය ඉක්මවා ගොස් සිදුකළ සදාචාර විරෝදී ක්‍රියාවක් වන හෙයිනි.  නමුත්  ඒම අධිපති මාධ්‍යයන් වන ලංකාදීප ඇතුළු තවත් විද්්‍යුත් මාධ්‍ය විසින් ඔක්තෝම්බර් 02 වනදා අතුරුගිරියේදී සිදුවූ මෙම සාහසික , නින්දිත, නිර්ලජ්ජිත සිදුවීම  තමන්ට පත්තර විකුණාගත හැකි සිරස්තල යටතේ  පළකොට මෙම සිදුවීමේ වින්දිත පාර්ශවයන් ට එදින මුහුණ දෙන්නට සිදුවූ හිංසනයන් සගවා නිහඩ වූහ. මෙම සිදුවීම වාර්තා කරන හිරු නිව්ස්  ටීවී චැනලයේ ප්‍රවෘත්ති අංශය විසින්ද මෙය සිදුවීම පිළිබද පුර්ණ විනිශ්චයක සිටිමින් වාර්තා කල අතර මෙම සිදුවීමේ දී බෞද්ධ භික්ෂූන් හා ගම්වාසීන් ගේ ම්ලේච්ඡ හැසිරීම පිළිබද කිසිවක් නොකියයි.   එම සිදුවීමේ  බෞද්ධ භික්ෂූන්ගේ ප්‍රකාශ වලට හා ගම්වාසීන්ගේ ප්‍රකාශ පෙන්වන හිරු ටී.වී නාලිකාව මොවුන්ගේ අත්අඩංගුවට පත්ව  සිටින සාමාජිකාවන්ගෙන් හෝ ඔවුන්ගේ නියෝජිතයින්ගෙන් කිසිදු ප්‍රකාශයක් ගෙන  මෙම සිදුවීමේ ඇතුල්පැත්ත පිළිබද  විවරණයක නොයෙදෙයි. එමෙන්ම මෙම පිරිස මෙම පුද්ගලයන් පොලීසියට ගෙන ගිය පසු  අතුරුගිරිය පොලීසිය විසින් කරන ලද කිසිදු ප්‍රකාශයක් හිරු ප්‍රවාත්තියේ පළකරන්නේ ද නැත.  අනිත් කාරණය නම් කාන්තාවන් තිදෙනෙකුට මෙලෙස ප්‍රසිද්ධියේ අපහාස කරමින් මහපාරේ ගමන් කරවීමයි. මෙය කිසිදු ආගමික කණ්ඩායමකට හෝ කිසිදු පුද්ගලයෙකුට නොවටිනා ඉතා පහත්පෙළේ ක්‍රියාවකි.
ආගම් ඇදහීමේ හා ආගම් ප්‍රචාරය කිරීමේ මූලික අයිතිය උල්ලංඝනය කරමින් මෑතක සිට නීතිය අතට ගෙන ක්‍රියා කරන ඊනියා බෞද්ධ කණ්ඩායම් විසින්  පසුගිය කාලය පුරාම අන්‍ය ආගමිකයින්ට  හා සුළු ජාතීන්ට  විරුද්ධව    බියවැද්දීම්, කඩාකප්පල්කාරී ක්‍රියා, පහරදීම්, හිරහැර සිදුකළහ. මෙම සිදුවීම් වල ඇති නීතිවිරෝධීභාවය  වෙනුවෙන් මෙන්ම මනුෂ්‍යත්වයට නිගාදීමට එරෙහිව මාධ්‍ය වාර්තා කළා නම් එය ඉතා අල්ප වශයෙනි.  එබැවින් එවැනි   මාධ්‍ය  ආචාරධර්ම උල්ලංඝනය කරමින්  හැසිරෙන මාධ්‍ය පිළිබද අපගේ විරෝධය සනිටුහන් කරන අතර  එක් ආගමක හෝ එක් ජාතියක ආධිපත්‍යට යටවී තමන්ගේ පැවැත්ම වෙනුවෙන් සත්‍ය පාවාදෙන මාධ්‍ය අවසානයේ දී  මේ ශ්‍රි ලාංකික පොළොව මත නිර්මාණය විමට නියමිත  ආගමික හා වාර්ගික ගැටුම් වලට වගඋත්තරකරුවෝද වන බව පසක් කිරීමට කැමැත්තෙමු.

අප විසින්   යෙහෝවා  සාක්ෂිකරුවන්ගේ සභාවේ සාමාජිකයන්ගෙන්  (Jehovah’s Witnesses  http://www.jw.org/en )  ලබාගත් තොරතුරු වලට අනුව සිද්ධිය මෙසේය.

මෙම සභාව විසින් බයිබලීය හරය පිළිබදව දේශනා සේවයේ යෙදීම සතියේ තෝරාගත් දින 4කදී  සිදුවන අතර එය හයමාසයකට වරක් හා මාස 3කට වරක් ප්‍රදේශයෙන් ප්‍රදේශයට සිදුකරනු ලබයි.  යෙහෝවාගේ සාක්ෂිකරුවන්ගේ සභාවේ සාක්ෂිකරුවන් සිටින සෑම පළාතකම මෙම දේශනා සේවය සිදුවෙයි. ඔවුන්ට අනුව මෙය හදුන්වන්නේ ‘‘ දෙවිගේ රාජ්‍ය ගැන පණිවිඩය දේශනා කිරීම‘‘ යනුවෙනි. ‍
මෙදින  යොහෝවා සාක්ෂිකරුවන්ගේ ගේ සාමාජිකාවන් 3 දෙනෙකු  සිය ආගමේ පණිවිඩය  ප්‍රචාරය කිරීම සදහා අතුරුගිරිය -ගල්පොත්ත  නම්  ප්‍රදේශය තෝරාගෙන ගෙවල් 3කට පමණ ගොස් තිබේ.
ඔවුන් තිදෙනාම කාන්තාවන් වන අතර ඔවුන් එම ප්‍රෙද්ශයේ පදිංචිකරුවන් නොවන බවද වාර්තා වේ. මෙම තිදෙනා අතර වයස අවුරුදු 67ක් සහ අවුරුදු 46 හැවිරිදි මාතාවන් දෙදෙනෙකුද සිට ඇත.  මොවුන් තිදෙනා 3න්වන නිවසට ගොස් දේශනා කරමින් සිටින අතරවාරයේදී එම නිවසේ සිටි කාන්තාවක්  දුරකථන ඇමතුමක් දී එම අතුරුගිරිය -ගල්පොත්ත  පන්සලේ ලොකු හාමුදුරුවන්ට මේ බව දැනුම් දී තිබේ. ඉන්පසු එම නිවසට බෞද්ධ භික්ෂූන්වහන්සේලා තිදෙනෙකු  සහ තවත් පිරිසක් පැමිණ ඇත. ඔවුන් එක්ව මෙම කාන්තාවන්  තිදෙනාව ලණුවලින්   බැද තබා අනතුරුව පහරදීමක් ද සිදුකර ඇත.  මෙසේ මොවුන් තිදෙනාව පැය එකහමාරක් පමණ බැද තබාගෙන සිට ඇති අතර ඒ අවස්ථාවේදී තිදෙනාගෙන් වයස 67 ක් වූ  මාතාව සිහිසුන් වී තිබේ. ඇය පිළිකා රෝගයෙන් පෙළෙන අතර ඇයගේ එක් පියයුරුවක් ඉවත්කර ඇති අතර  , ඇය දියවැඩියා රෝගයෙන්ද පෙළෙන රෝගියෙක් බවද එම සභාවෙ සාමාජිකයන් පවසති.  පසුව බෞද්ධ ස්වාමීන්වහන්සේ විසින් ඇය බොරුවට රගපානවා යැයි බැනවැදී මොවුන්ට අපහාස කරමින් සිට ඇත. පසුව එම ස්ථානයේ සිටි අයට මෙය ඇත්තක් බව තේරී ඇයව ලිහා  තිබේ.
ඉන් පසු මෙම පිරිස ඇතුළු බෞද්ධ භික්ෂුන්  විසින් එම ස්ථානයේ සිට කිලෝ මීටර් එකහමාරක් පමණ  අත්බැද පාර දිගේ පොලිස් ස්ථානය තෙක් ගෙන ගොස් තිබේ.  මෙම කතුන් තිදෙනාව එසේ බලහත්කාරයෙන් ගෙනගොස්  අතුරුගිරිය පොලිස් ස්ථානයට  භාරදීමෙන් පසුව මේ එක්  බෞද්ධ භීක්ෂුවක්  විසින් පොලිස් ස්ථානාධිපතිවරයාට තර්ජනය කර පවසා ඇත්තේ මොවුන් තිදෙනාට එරෙහිව නඩු පවරන ලෙසයි. ඉන් අනතුරුව මෙම යෙහෝවා සාක්ෂිකරුවන් තිදෙනාව ඔක්- 02 වනදා දහවල් 12.30 සිට  පසුදා උදේ වනතුරු පොලිස් ස්ථානයේ  රදවාගෙන සිට ඇති අතර ඔවුන්ව පොලිස් කූඩුවට නොදැමීමට එම පොලීස් නිලධාරීන් විසින් කටයුතු කර ඇත.
නමුත් පොලීසිය විසින් නඩු පැවරීමක් සිදුකර ඇති අතර පසුවදා අධිකරණය ඉදිරියේදී මොවුන්ට  චූදිතයන්  ලෙස පෙනී සිටීමට සිදුවී ඇත.
නඩු විභාගයේදී යෙහෝවා සාක්ෂිකරුවන්ගේ සාමාජිකයන් තිදෙනා වෙනුවෙන් නීතිඥ සුසිල් පනාගොඩ සහ හේමන්ත වෙත්තසිංහ යන මහත්වරුන් පෙනී සිට ඇත. ඔවුන් විසින් තර්ක කර ඇත්තේ අපත් බෞද්ධයින් තමයි නමුත්, අප මොවුන් අපේ ධර්මයට විරුද්ධව යමක් කර තිබුණා නම් මෙසේ පෙනී නොසිටින බවත්, විදේශ රටවලදී බෞද්ධ ආගමික නායකයන් ද  ආගම් ප්‍රචාරය කිරීම සහ පන්සල් හැදීම සිදුකරන බවත් එහිදී කිසිවෙකුත් ඔවුන්ට මෙසේ පහර දෙනවා අප දැක නැහැ යනුවෙනි.
එසේම කිසිවකු විසින් ආගමක් බලෙන් දේශනා කිරීම හෝ බලෙන් ආගමකට හැරවීමක් සිදුකළ නොහැකි බවත් මෙම සිදුවීමේදී එවැනි දෙයක් සිදුවී නොමැති බවත් ඔවුන් පෙන්වා දී ඇත.  පසුව අධිකරණය විසින් මෙම කාන්තාවන් තිදෙනාට ශරීර ඇප රුපියල් ලක්ෂයක්  බැගින් නියම කර නිදහස් කර තිබේ. වාර්තා වන පරිදි විනිසුරුවරයා විසින් ද මෙම බෞද්ධ භික්ෂූන් වහන්සේලා ගේ ක්‍රියාව හෙලාදැක ඇති අතර එය ත්‍රස්තවාදී ක්‍රියාවක්  බවද පවසා ඇත. වාර්තා වන අන්දමට මෙම යොහෝවා සාක්ෂිකරුවන් තිදෙනාට මෙලෙස හිංසා සිදුකිරීමට මුල්ව ඇත්තේ අතුරුගිරිය හිරිගල්පොත්ත විහාරස්ථානයේ චන්ද්‍රානන්ද හිමි සහ විජිත හිමි යන භික්ෂූන් දෙදෙනාවේ.
යෙහෝවා සාක්ෂිකරුවන්ගේ ප්‍රධාන මූලස්ථානය වත්තල පිහිටා ඇති අතර  දිවයින පුරා ශාඛා 110ක් පිහිටුවා තිබේ. ලංකාව තුළ යෙහෝවා සාක්ෂිකරුවන්ගේ සභාවේ සාමාජිකත්වය 7000ක් පමණ වේ.
අතුරුගිරියේදී සිදුවූ සිදුවීම පිළිබඳ මෙම නඩුවේ තවත් නඩු වාරයක් 2014 ජනවාර් 31 වනදාට යෙදී ඇත.



http://www.jw.org/en