පාරම්පරිකව පැවත එන කළුගල් ඇසුරින් කරන නිර්මාණ ලංකාවේ ප්‍රදේශ ගණනාවක ජනතාව තම ජීවනෝපාය ලෙස සිදුකරයි. මිනුවන්ගොඩ ප්‍රදේශයේ ගල්කන්ද සහ ඔරම්පැල්ල ගල්කැටයම් කලාවට දක්ෂ කාර්මිකයින් ජීවත්වන ගම්දෙකකි. නමුත් මේවනවිට මෙම කර්මාන්තය අභාවයට යන තත්වයක් උදාවී ඇත.කළුගල් නිර්මාණ සැකසීම කායිකව සහ මානසිකව දැඩි වෙහෙසක් ගෙන දෙන කටයුත්තක් වීම එක හේතුවක් බව මෙම කර්මාන්තයේ දැනට නියැලී සිටින කාර්මිකයෙකු අප සමඟ පැවසීය. ඔහු නමින් ප්‍රියන්තය. වයස අවුරුදු 42 ක්වූ ප්‍රියන්ත දරුවන් තිදෙනෙකුගේ පියෙකි. තම බිරිඳ සහ දරුවන් පෝෂණය කරන්නේ මෙම ගල්කැටයම් කර්මාන්තයෙනි. අ. පො. ස. සා. පෙළ. දක්වා ඉගෙනගෙන ඇති ප්‍රියන්ත තම පාසැල් ගමන නතරවූ වහාම කටු මිටි අතට ගෙන පියාගේ අඩිපාරේ යමින් ගල්කැටයම් වැඩ සඳහා අවතීර්නවී ඇත. ඔහු මේ පිළිබඳව අදහස් දැක්වූයේ මෙසේය.
අපේ තාත්තගෙ නම පීටර්. තාත්ත ගල්කැටයම් කලාවට දක්ෂ කෙනෙක්. එයා වැඩ කරනකොට මම ඒ දිහා බලාගෙන ඉන්නවා. එහෙම තමයි මම ඉගෙනගත්තෙ.අපේ ගමේ ගල්කැටයම් වැඩ ගැන සියුම් ලෙස දන්නා 15ක්20ක් විතර ඉන්නවා. අපේ ගමේ වැඩි දෙනෙකුගේ රස්සාව මේක. ඒවුනාට අපේ පරම්පරාවෙන් පස්සෙ මේ කලාව නතරවෙනවා.
ඇයි එහෙම වෙන්නෙ?
තරුණ පරම්පරාව දැන් වෙනත් රැකියාවල් වලට යොමුවෙල ඉන්නෙ. මේ වගේ දේවල් කරන්න කැමති නෑ. මේ වැඩේ කරන්න සෑහෙන්න මහන්සි වෙන්න ඕනෙ. නිතරම අනතුරු සිද්ධවෙනව, තුවාල වෙනව. පැතලි ගල්කෑලි ආදිය නිසා අත් කැපෙනව. අනික් කාරණය තමයි ගල් ලබාගැනීමට ඇති අපහසුව. අපේ ගමේ ඉස්සර ගල්පර්වත තිබුන. අපි ඒව ප්‍රයෝජනයට අරගෙන දැන් මේ වනවිට අවසන් වෙල තියෙන්නෙ. ඒනිසා දුරබැහැරින් ගල් ගේන්න වෙල. ඒනිසා ප්‍රවාහන ආදියට විශාල මුදලක් වැයවෙනවා. ඒ වගේම මේව හැදුවට පස්සෙ විකුණගන්නත් සෑහෙන්න මහන්සිවෙන්න ඕනෙ.
කොහොමද ගල් ඉතා සියුම්ව කපාගන්නෙ? ඒ ගැන විස්තරයක් කළොත් ?
අපි ඒසඳහා අයින් කරපු ලේත් මැෂින් අරගෙන ඒවා අපිට අවශ්‍ය විදිහට හදාගන්නව. ඒවයින් තමයි මේ නිර්මාණ ලස්සන කරගන්න පුළුවන් වෙන්නෙ. ඒ වගේම කාලයක් තිස්සේ අත හුරුවුනාට පස්සෙ ඉක්මණින් කරගන්නත් පුළුවන්. වැඩ කරන ආයුධ (ගල්කටු ආදිය) නිසි විදිහට තියෙන්න ඕන. මොකද වානෙ වලට කලවංකරලත් ආයුධ හදනවනෙ. ඒනිසා අපිම වානෙ කෑලි හොයාගෙන ඒව අපිට ඕනෙ විදිහට අඟල් 8, 9 වගේ වෙන්න කපල හදාගන්නව. අපේම කම්මලක තමයි මේවැඩ කරන්නෙ. ආයුධ නිතරම පණ පොවන්න ඕනෙ. වැඩකරනකොට නිතරම මොට්ට වෙනව.
කෙයිතරම් කාලයක් ගන්නවද ? අලෙවිය කෙහොමද?
සාමාන්‍යයෙන් උස අඟල් 18ක වංගෙඩියකට නම් දවස් දෙකක් වත් යනව. පොඩි එකක් නම් දවසින් පුළුවන්.මිරිස් ගල්නම් දවසට දෙකක් විතර පුළුවන්. සාමාන්‍යයෙන් ඕඩර් වලටත් දෙනවා. සමහර වෙලාවට කොළඹ, පොලොන්නරුව, අනුරාධපුරය වගේ දුර බැහැරිනුත් වෙළෙන්දො ඇවිල්ල ගෙනියනව. නත්තල් වැනි උත්සව කාලෙට නම් ලොකු මුදලක් හොයාගන්න පුළුවන්. සාමාන්‍ය දවස්වලට රු. 3000/ක් 4000/ක් තමයි ලැබෙන්නෙ.
මීට අමතරව හදන දේවල්, මතුවූ ප්‍රශ්ණ එහෙම…
ඉස්සර සීයල , තාත්තල නම් සෙක්කු පවා හැදුව. දැන් ඒව භාවිතා නොකරන නිසා හදපුව යන්නෙ ඇන්ටික් බඩු විදිහට. අපි දැනට ඉබ්බො, අලි වගේ සත්තු හදනව. නමුත් ඒව හදන්නෙ ඕඩර් වලට. ඒව නිරමාණය කරන්න සෑහෙන කාලයක් ගන්නව. ප්‍රශ්ණ කියලවිශේෂයෙන් තියෙන්නෙ ගල් හිඟකමයි. ඒ වගේම අපි වෙළඳාම් කරන්නෙ පාර අයින්වලනෙ. එතකොට අදාල පුද්ගලයින්ගෙන් මතුවෙන ප්‍රශ්ණ, පොලීසියෙන් මතුවන ප්‍රශ්ණ එහෙමත් තියෙනවා.
ගල්කැටයම් කලාවට පැරණි රජදරුවන් ගේ කාලය දක්වා දිවයන ඉතිහාසයක් ඇත. ප්‍රතිමා , ගල්කනු ආදිය නිර්මාණය කරමින් මෙම කලාකරුවෝ තම දක්ෂතාවය ලොවට පෙන්නුම් කළහ. වර්තමානයේ නවීකරණය තුළ මේ දක්ෂතාවයට ලැබෙන්නේ අඩු සැළකිල්ලකි. නමුත් පාරම්පරික ගෘහ උපකරණ භාවිතා කරන්නන් යම් ප්‍රමාණයක් තවමත් සිටි. ඒනිසා දැඩි කළුගල් තුළින් සියුම් දෑ සකසන අපේ පරම්පරාවේ මෙම නිර්මාණ කරුවන් දෙස මීටවඩා අවධානයකින් කටයුතු කළයුතු බව අපගේ හැඟීමයි.
සැම්සන් ඥානසිරි