අභියෝග ජයගෙන ඉදිරියට යන ශාන්ත සෙබස්තියන් විදුහලේ දරුවෝ අ.පො.සා. පෙළ ද ජයගනී…

0
205

DSC_1611

මෙවර  පවත්වන ලද  අ. පො. ස.  සා.  පෙළ  විභාගයෙන්  සියළුදෙනා  මවිත  කරන  ආකාරයේ  සමත් කමක්  දැක්වීමට  මීගමුව,  මන්කුලියේ  ශාන්ත අන්තෝනි කනිෂ්ඨ  විදුහලේ  දරුවන්  සමත්වී  ඇත.   ඒ   ළමයින්  10ක්  විභාගයට  ඉදිරිපත්වී  ඔවුන්   සියළුදෙනාම   විභාගයෙන්  සමත්වී  සිටීමයි.   මේ  අනුව  ගනිතය,  සිංහල,  චිත්‍ර,  නැටුම්,  සෞඛ්‍ය,  පුරවැසි  අධ්‍යයනය  යන  විෂයන්ගෙන්  සියයට  සියයක්ම  ලබාගැනීමට  සමත්වී  ඇත.නමුත්  මේ  කිසිදු  දරුවෙකු  ටියුෂන්  පන්ති  වලට  සහභාගී වී  නැත.

මේ  ගැන තොරතුරු  දැන ගැනීම  සඳහා   අප  මෙම පාසැලේ  ප්‍රධානාචාර්්‍ය  තුමියවූ  කේ.  ඒ.  ඩී.  පෙරේරා  මහත්මිය   හමු වූයෙමු.  ඇය  ප්‍රකාශකළේ   ප්‍රථමයෙන්ම  දරුවන්ගේ  ඉගෙනීමේ  සහ  විභාගකටයුතු  වලට  මුල් තැනක්  දුන් බවත්   සුදුසු  දක්ෂතා  ඇති  ගුරුවරුන්  සිටීම   මේ  ප්‍රතිඵලය  ලබාගැනීමට  හේතුවක්  වූ  බවත්ය.විදුහලේ  දක්ෂතම  සිසුවා  වූයේ  ඩිල්ෂාන්  නම්  දරුවාය.  A  6   –  B2   -C 1  ආදී  වශයෙන් ප්‍රතිඵල  ලබාඇති  මෙම  දරුවා  විවිධ  හැකියාවන්  ඇති  දරුවෙකි..මේ  අනුව   ඔහු  කථික  තරඟ,  චිත්‍ර  තරඟ  වලින්  ජයගෙන  සහතික පත්  ලබා ඇත. ගනිතය  විෂයෙන් සියයට  සියයක්ම  ලබාගැනීම  ගැන විමසා  බැලීම  සඳහා  අප   ගනිතය විෂය   භාරව  කටයුතු  කරන  රූපිකා  ප්‍රනාන්දු  ගුරුතුමිය   හමුවූයෙමු..  DSC_1602

දරුවන්  ලැබූ  ජයග්‍රහණය  ඔබ  දකින්නෙ  කොහොමද?

අපි  එක  දරුවෙක්වත්  ටියුෂන්  වලට  යැව්වෙ නෑ . මම  මේ  දරුවන්  භාර ගත්තෙ  6වන ශ්‍රෙණියේ  ඉඳන්.  එතැන්  පටන්  11  වසර  දක්වා  අරගෙන  ආව.  කිසිවෙකුට  මේ  ළමයින්ගෙ  ගනිතය  විෂයට  මැදිහත්  වෙන්න  මම ඉඩ   දුන්නෙනෑ.  කැපකිරීමක්  කරන්න  සිද්ධ වුනා.  අමතර  පන්ති  දමාගෙන  කළා.  .  මම  හිතුවෙ  50% ක්  වගේ  නමුත්  දරුවො  100%  ක්ම  ලැබුව. මට    ඒගැන  සතුටුයි.

මේ  ළමයින්ගෙ  අධ්‍යාපනික  මට්ටම  එක්ක  ඔබේ  අත්දැකීම…

පන්තිය  භාර ගන්නකොට  නම් ඔවුන්ගෙ  දැනුම  පහළ  මට්ටමක  තිබුනෙ.  පස්සේ  මට්ටම  වෙනස් වූනා.  මම  පීරියඩ්  නැති සහ  අමතර  හැම  වෙලාවම  අරගෙන  ඉගැන්වීම්  කටයුතු  කළා.  හැබැයි  මේ  දරුවන්ටත්   හැකියාවක්  තිබුන  ඉගෙනගන්න.  නැත්නම්  මේ  තත්වෙට  එන්න බෑනෙ.  මට  මාරුවක්  ලැබුනශාන්ත  මරියා  විදුහලට.  නමුත්  මේ  ළමයින්ව  අතරමග  දාල  යන්න  හැකියාවක්  තිබුනෙ නෑ  මට.

මීලඟට  අමාරු  විෂය  වුනේ  විද්‍යාවයි.  විද්‍යාව  80%  ක් සමත්වී   දහ  දෙනාගෙන්  දෙදෙනෙකු  අසමත්වී   තිබුනා. තුලානි  ජයසේකර  කියන්නෙ  විද්‍යාව  වැනි  අමාරු  විෂයක්  මෙම  දරුවන්ට  ඉගැන්වූ  ගුරුතුමියයි.ඇය  ප්‍රකාශ  කළේ  මෙවැනි  අදහසකි.  අපි  ළමයින්ට  අමතර  පන්ති  දාල  ඉගැන්වුවා.  ටියුෂන්  යැව්වෙ නෑ.  ඩිල්ෂාන්,  නේත්‍රා  යන  දරුවො  දෙන්න  හුඟක්  දක්ෂයි. විද්‍යාව  දැනුම මිනුම  තරඟ  වලට  ඉදිරිපත්වෙල  ජයගත්ත. මේ  ළමයි  විෂමාචාර  වැඩවලට  සම්බන්ධ වුනේ නෑ. .  ළමයි  විදිහට  දඟ  තමයි. නමුත්  අපි  කියන දේ  අහල  අධ්‍යාපන  වැඩවලට  යොමුවුනා . DSC_1604

මීලඟට  අප  හමුවූයේ  සිංහල  ඉගැන්වූ  පී.  එම්.  එච්.  දිසානායක  ගුරුතුමියයි.  ඇය  තම  අදහස  මෙසේ  පලකළා.

මෙහෙ  වැඩි  භාවිතාවක්  තියෙන්නෙ  දමිල  භාෂාව  නිසා  ඒක  සෑහෙන  අභියෝගයක්  වුනා. අම්ම,  තාත්ත  කථාකරන්නෙත්  දමිල  භාෂාවෙන්.  මම  10  සහ  11 යන  වසර දෙකම  බැලුවා.  හවස  පංති  කළා.  දෙවන වාරෙ  වෙනකොට  සිලබස්  කවර්  කරල,  ඊලඟට  ප්‍රශ්ණපත්‍ර  කරන්න  පටන්  ගත්ත.  දක්ෂම ළමයා  ,  ඩිල්ෂාන්  A එකක්  ගත්ත. දුර්වලම  ළමය  සුපුන්  B එකක්  ගත්ත.  ඒ  වුනත්  දරුවන්ගෙ  උනන්දුවත්  මෙහිදි  වැදගත්  සාධකයක්.

අඩු  පහසුකම්  සහිත   මීගමුව  නගරයේ,  මුන්නක්කරය,  මන්කුලිය  ප්‍රදේශවලින්  පැමිණ  දුෂ්කර  තත්වයන්  යටතේ ටියුෂන්  නොගොස්  පාසැල තුළින්  පමණක්  අධ්‍යාපනය  ලැබූ   මේ  දරුවන්  මෙවැනි  ජයක්  ලැබීම  මෙම  ප්‍රෙද්ශවලට  පමණක්  නොව  මීගමු  නගරයටම  ආඩම්බරයක්  බව  කිවයුතුය.  එපමණක්  නොව   ටියුෂන්  ගොස්   වෙහෙසක්  දරා  අධ්‍යාපනය  ලබන  දරුවන්ට   මේ  මගින්   දෙන  ආදර්ශය  වැදගත්ය.

එසේම  මෙහිදී  ගුරුවරයා   කෙසේ  කටයුතු  කළයුතුදැයි  සමාජයට  දෙන  ආදර්ශයද   වැදගත්ය. තමන්ගේ  සියළු  පුද්ගලික  අවැසිතා  පවා  පසෙකලා  තම  සිසුදරුවන්  වෙනුවෙන්  දරන  ලද  වෙහෙස,  ඒ  මගින්  ඔවුන්  කරන  කැපවීම  අගය කළ  යුතුය.(  ටියුෂන්  ගුරුවරුන්  අතර ද  මෙවැනි  ගුරුවරුන්  සිටින  බව  අපි  දනිමු) මේ  අනුව  සැබෑ  ගුරුවරයා හට  සමාජයට  කොතරම්  බලපෑමක්  කළහැකිදැයි   අවබෝධ කර  ගත හැක.

එසේම  මීගමු කලාපයේ  ගුරුවරුන්   මෙහෙයවන  කලාප  අධ්‍යාපන  කාර්්‍යාලය  මෙම  පාසැල වෙත  දක්වා  ඇති  උනන්දුව  .විශේෂයෙන්  කලාප  අධ්‍යක්ෂක  වන  ඇන්ටනි  මහතාගේ  මැදිහත්වීම   අගකළ  යුතුය. අවසාන  වශයෙන්  මෙම  දරුවන්  වෙනුවෙන්  අප අධ්‍යක්ෂක  ඇන්ටනි  මහතාගෙන්  එක  ඉල්ලීමක්  කරමු.  එය නම්  මෙතෙක්    මගපෙන්වූවා  සේම  දරුවන්ගේ  උසස්  අධ්‍යාපන  අභියෝග  ජය  ගැනීම  උදෙසා  අදාල  සහයෝගයද  ලබාදෙන මෙන්ය.

සැම්සන් ඥානසිරි