අරගලකරුවෙකුගේ මතක පොත…

0
79

පැට්‍රික් සහෝදරයා ගේ පොතේ එළිදැක්ම අද (26 සිකුරාදා) හවස 3ට,මාළඹේ තලාහේන ප්‍රජා අධ්‍යාපන මධ්‍යස්ථානයේ දි.අපි ගොඩ දෙනෙකුට ‘පැට්‍රික් අයියා’ වුණ පැට්‍රික් ප්‍රනාන්දු ගැන නොදන්න කෙනෙකුට ඒකට සෑහෙන්න විස්තරයක් කරන්න මම මෙතැන දී ට්‍රයි කරන්නේ නැහැ.

පොතත් එක්ක ඒ ගැන යමක් ලියන්න ඕන කියල ගැඹුරින් ම දැනෙමින් තිබුණත් ටිකක් හදිසියේ පොත අතට ගන්න කලින් පොඩි දෙයක් හරි නොලිය ඉන්න බැරි තත්වයක් ආවා. “මොනව ගැනද පැට්‍රික් අයියා ලියල තියෙන්නේ” කියල ඇහුවම තුෂාරි මඩහපොල සහ රසිකා හඳපාන්ගොඩ සහෝදරියන් කීවේ විශ්‍රාම නොගන්නා අරගලකරුවෙකුගේ බිඳෙමින් ඉතිරි වෙමින් තියෙන අරගල මතකයන් ගැන කියල.

71 දී අපි මේ ලෝකේ එළිය දකිද්දී, යුක්තියෙන්, සාධාරණත්වයෙන්, සමතාවයෙන් එළියවත් වුණ ලෝකයක් අපි වෙනුවෙන් හදන්න ‘සමාජවාදය නැත්නම් මරණය’ කියල මුළු ජීවිතයම දීල අරගල කරපු පරම්පරාවකට පැට්‍රික් අයියා අයිති වෙන්නේ. එතකොට ආරංචි හැටියට එයා ශිෂ්‍යයෙක්.

ඊට පස්සේ හිරගෙවල් සරසවි කර ගෙන පැට්‍රික් අයියල හැදෑරුවේ ඒ යහපත් ලෝකය හදාගන්න ඇත්ත මාවතක් එළිපෙහෙලි කරගන්න. එළියට ඇවිත් පැට්‍රික් අයියා කැප වෙන්නේ ලංකාවේ අතිබහුතරයක් ගොවීන් සංවිධානය කරන්න. මම හිතන්නේ දිස්ත්‍රික්ක විසිහතරෙන් දහඅටක විතර කරක් ගැහුවා ඒ වෙනුවෙන්. ප්‍රතිගාමි දේශපාලනඥයන්, පොලීසිය, මැර කල්ලි පැට්‍රික් අයියලගේ ජීවිතය උදුරගන්න ඒ වෙලාවෙත් ට්‍රයි කළේ එක පාරක් නෙවෙයි.

ඒ ගැන වෙනම කතා ගොඩයි. ප්‍රායෝගික සමාජවාදයට න්‍යායික එළිපෙහෙලි කරගැනීමක් වෙනුවෙන් දියැස අධ්‍යයන කවය පිහිටුවාගන්න පුරෝගාමීත්වයක් දරපු පැට්‍රික් අයියා මුළින් ම මට හමු වෙන්නේ ඔන්න ඔතනදී. අපි එතකොට පරිසරවාදී ක්‍රියාකාරීත්වයක් ඇතුළේ පැට්‍රික්, වසන්ත වගේ ජ්‍යේෂ්ට සහෝදරවරුන් සහ පියල්,රුවන්දි, නිහාල් වගේ එතන හිටපු අළුත් පරපුර එක්ක දිග කතාබහක් පටන් අරන් තිබුණා. වෙනස්කම් තිබුණත් ඒ කතාබහ ඇතුළේ පැට්‍රික් සහෝදරයා වගේ අයට තිබුණ බර ඉවසීම අපි තුළ පට්ට ගරුත්වයක් ජනිත කළා ඇත්තටම.

එතනින් එහා පක්ෂ වෙනුවට වාම බහුජන අවකාශයක් සංවිධානය කිරීම වෙනුවෙන් ජාතික ප්‍රජතන්ත්‍රවාදී ව්‍යාපාරය, වාමාංශික බහුජන මධ්‍යස්ථානය කියන සංවිධාන දෙකේ ම පැට්‍රික් අයියා එක්ක ළඟින් ම වැඩ කරන්න ගත්ත ගමන කෙළවර වුණේ නව වාමාංශික පෙරමුණේ නායකත්ව රෝල් එකකට ගිහින්. යහපත් ලෝකයක් වෙනුවෙන් සිහින මිය ගිහින් නැහැ.

ඒත් මොකක්ද පාර ? පාරවල් ගොඩක් තියෙන්නත් පුළුවන් එක තැනකට. ඒත් පට්ට ම පරිස්සම් වෙන්න ඕන ලිං කටවල් අස්සේ හිර නොවී ඉන්න. මොකද, ලිං කටක් අස්සේ හිර වුණ ගොඩක් වෙලාවට එතැනින් උඩ පේන අහස් කෑල්ල හැර වෙන දෙයක් පේන්නේ නැහැ. නොදකින දේ දකින්න පුළුවන් විශ්වාසයක් නැති අයට ඇත්ත කියන්නේ දැවැන්ත දෙයක් හැටියට දැනෙන්න විදියක් නැහැ.

පැට්‍රික් අයියා ගේ මුළු ජීවිතයම කැප වෙලා, වැය වෙලා තියෙන්නේ මේ විවර වුණ දෑසින් කරන හැදෑරීමකට. ලේ, මස්, ඇට-නහර එක්ක මුළු ජීවිතය ම ඒ වෙනුවෙන් දන් දීපු පැට්‍රික් අයියලගේ ඉතිරි වුණ මතකයන් මේ විදියට ලියවෙන එක පට්ට ම වැදගත්. ඒ ඉතිහාසය වෙනුවට ප්‍රගතිශීලියෝ කියා ගෙන ඉන්න පසුගාමී ගොබ්බ රැළත් හැමදාම වගේ මතුර මතුර ඉන්නේ දෙදාස්පන්සියේ පාලකයන්ගේ, පූජකයන්ගේ, රදල හාමුලගේ, ළමාතැනීලගේ ඕනකම් වෙනුවෙන් ලියවුණ ‘ඉතිහාසයක්’. මේ ලංකා දූපතේ ඒ ලිං කටින් පේන සයිස් එකට තමයි ලෝකය ගැනත්. වෙන විදියක කියවගැනීමක් වෙනුවෙන්, අපි අත්විඳපු වෙනස් ලෝකය ලියවෙන්න ඕන.

පැට්‍රික් අයියා මේ වෙලාවේ කරල තියෙන්නේ මම හිතන්නේ ඒ දේ. ඒ කාලේ කියවපු වානේ පන්නරය ලැබූ හැටි, සැබෑ මිනිසකුගේ කතාවක්, අම්මා වගේ සෝවියට් පොත් වල ටිකක් ප්‍රචාරකවාදී විදියට හඳුන්වා දුන් චරිත තරම් ම ධෛර්යයකින්, උද්දාමයකින්, අපේක්ෂාබර බවකින් අදත් පොත් එළිදැක්මේ ඉඳන් ඇවිද යන පැට්‍රික් අයියව මට මැවිල පේනව. ඒ මම මේ මනුස්සයා එක්ක පුංචි කාලයක් හරි ළඟින් ම ඉඳ ගෙන බෙදාහදා ගත්ත ක්ෂුද්‍ර ඒත් දැවැන්ත මතක ගොන්න එක්ක. එහෙම අත්විඳින්න බැරි වුණ ඊටත් ලොකු කතා ගොඩක් මේ පොතේ වචන අස්සෙන් කියව ගන්න ආසාවෙන් ඉන්නව මාත්.
දර්ශණ කාහිංගල