අවසන් ප්‍රදීපාගාරය නිවී ගියේද ?

0
73

අවසන් ප්‍රදීපාගාරය නිවී ගියේද ?

අප මල් මිටක් දෝතට ගන්නට පෙර ඔහු විකසිත පෙම් පොකුරු පියුම් නෙළුවේය.රැඩිකල් ප්‍රේමය ගැන ගයන්නට පෙර ඔහු ආදර හැඟුම් ගැන ගැයුවේය. ආදරණීය වස්සානය ගැන ගයන්නට පෙර ඔහු වසන්තයේ මල් පොකුරු නෙළා පැමිණියේය. සඳ සඳ වගේ කියා ගයන්නට පෙර ඔහු සිය ස්වරයෙන් සඳ තරු නිහඬ කළේය. එහෙව් අසිරිමත් හපන්කම් පෑ ඔහු, අප රෑ අහසින් ආදරය හොයද්දී තරු අරුන්දතියට සමු දී නොදන්නා ඉසව්වකට නික්ම ගොසිනි.

වන්නකු වඩුගේ දොන් ඇල්බට් පෙරේරා තරුණයා ඔහුට හිමි නියම නම පසුව ලද්දේය. අමරදේව යන එනම හිමිකර ගැනීමෙන් පසු ඔහු වියපත් වූයේ භෞතික සිරුරෙන් පමණි. ඒ සදාකාලික තාරුණ්‍යය, ලංකා ගීත සාහිත්‍යය නමැති තරු වළල්ලේ සූර්ය තාරකාව වූයේය. මනුෂ්‍ය සන්තානයේ අති ගැඹුරු කලාපයන් කරා කිමිද හෘද තත් එකින් එක සීරුවට සුසර කරමින් ඔහු පෑ ස්වර පෙළහර අප හමුවෙහි වෙසෙස් අභියෝග මවන්නේය,අමරදේව නම් ඒ මහා කන්ද අප ඒ අභියෝග ජයගන්නේදැයි හොරැහින් බලා සිටියේය.

ඔහුගේ සමුගැනීම සවනත වැකෙන විට අප සිටින්නේ මූදු සතෙකින් ඈත දේසේ දුරු රටය. එහෙත් මේ අසමසම ගාන්ධර්වයා සිහින තොටුපළෙන් නික්ම යන මොහොතේ හිස නමන්නට අප ඉක්මනින් ආ යුතුය. මේ කෙටි සටහන ලියන්නේ ඒ එනතෙක්ය.ඔහු ගැන සිතිවිලි විතරක් අවදිව ඇති හෙයින්,මෙසේ ලියමි.සදාතනික කුඹ ගසක් මත කොළොම්තොට සඳ නැවැතී ඇත. අවසන් ප්‍රදීපාගාරය නිවී ගියේද කියා මේ නිමේෂයේ මම සිතමි.

42837W_D_Amaradewa

කසුන් කල්හාර ජයවර්ධන
2016 නොවැම්බර් 03
ඕස්ට්‍ර්ලියාවේ මෙල්බර්න් නුවර සිට

 (කසුන් කල්හාර ගේ facebook පිටුවෙනි..)