අහිමි වූ මව් සෙනෙහස සොයා ගිය ගමනේ පිය සටහන්

0
7
නෙදර්ලන්තේ ඇමැන්දි

දස මසක් තම කුසේ දරාගෙන තමාගේම ලේ කිරට හරවා , ඒ කිරෙන් පෝෂණය කරමින් තමාගේ ඇස් මානයේම තබා ගනිමින් ඇතිදැඩි කරන තම දරුවන්ට වඩා වෙනත් සැපතක්, සම්පතක් මවකට මේ ලොව කොහේ හෝ තිබිය හැකිද ? දරුවෙකුට ද තමන් මෙලොවට දායාද කළ තමාගේ ම වැදු  මවතරම් තවත් උත්තරීතර අව්‍යාජ, අමිල වස්තුවක් මෙලොව තුල තිබිය හැකිද ? එහෙත් , උග්‍ර වූ ආර්ථික ප්‍රශ්න,  පවුල් පසුබිම,   ජීවත් වන සමාජීය වටපිටාව සහ සංස්කෘතික බැඳීම් ඇතුළු විවිධාකාර ගැටලු කාරණා මුල්කරගනිමින් අපේ රටේ මව්වරු දහස් ගණනක් තම  කුසින් වැදු  දරුවන් එතෙර සිට  එන සුදු නෝනාවරුන්ට මහත්වරුන්ට  දරුකමට හදා වඩා ගන්නට දුන්  කතාවන් බොහෝමයක් අප සමාජය තුළ  නිතරම අසන්නට දකින්නට ලැබෙනවා. එලෙස එතෙරට දරුකමට හදා වඩා ගන්න දුන් දරුවන් පසුකාලයේ කරදඬු උස්මහත් වූ පසු එනම් යෞවනත්වයට පත්වූ පසු තමා වැදූ  මව  සහ තම ඥාතින් ඇතුළු තමන් උපන් ගම රට බලා පැමිණි කතාවන් බොහෝමයක්  මේ වන විට අප අසා ඇති.

ඉතින් අද අපි කියන්න යන්නේ එවන් සංවේදී කතාවක් නොව එවන් සංවේදී කතාවන් බොහෝමයකට මුලපිරූ අපූරු පුද්ගලයෙක් පිළිබඳව කතාවක් .ඔහු නමින් ඇන්ඩෘෘ සිල්වා. ඔහු ප්‍රකට සංචාරක මඟ පෙන්වන්නක්. මීගමුවේ ඉපිද හැදී වැඩි සංචාරක මඟ පෙන්වන්නෙක් බවට පත්වූ ඇන්ඩෲ පාසල් අවධියේ සිටම පාපන්දු ක්‍රීඩාවට මහත් සේ ඇලුම් කළ අයෙක්. දක්ෂ පාපන්දු ක්‍රීඩකයෙක් වු ඇන්ඩෘා මීගමුව ජුපිටර්ස් පාපන්දු කණ්ඩායමේ ගෝල් රකින්නා ලෙසද  කටයුතු කළා. 1982 වසරේ  සංචාරක රියදුරෙක් ලෙස සංචාරක ක්ෂේත්‍රයට පිවිසි ඔහු පසුකාලීනව සංචාරක මඟ පෙන්වන්නෙක් ලෙස  කටයුතු කරන්නට වුනා. 2002 වසරේ ශ්‍රී ලංකාවේ පාපන්දු ක්‍රීඩාවෙි නිරත ක්‍රීඩකයන් පිරිසකට ක්‍රීඩාවේදී භාවිතා වන ක්‍රීඩා ඇඳුම් තොගයක් ප්‍රදානය කිරීමට නෙදර්ලන්තයේ සිට මෙරටට පැමිණි පීටර් බ්‍රොන්ගර් නමැත්තාව ඇන්ඩෲ ට හමුවන්නේ මේ අතරතුරේ.

පීටර් බ්‍රොන්ගර් සහ ඇන්ඩෲ  අතර වූ ඒ ප්‍රථම හමුවීමෙන්ම ඒ සබඳතාවය කිසිදා කිසිවෙකුට නොබිඳිය හැකි සබඳතාවයක් බවට පත් වන්නට වැඩි වේලාවක් ගියේ නැහැ. එහිදී පිටර් බ්‍රොන්ගර් විසින් ඇන්ඩෲ ට අපූරු යෝජනාවක් කලා.ඒ ළදරු වියේදී විවිධ හේතූන් මත මෙරටින් වෙනත් රටවලට දරුකමට හදා ගන්නට ලබා දුන් දරුවන්ට ඔවුන්ගේ නියම වැදු මව්වරුන් සොයා දීමේ කාර්යභාරයට ඉදිරිපත් වන ලෙසය.  මුලින්ම ඇන්ඩෘෘ මේ සඳහා සිය අකමැත්ත පළ කළත් අවසානයේ ඔහුට සිදුවුණේ පිටර් බ්‍රොන්ගර් ගේ දැඩි ඉල්ලීමට එකඟවීමටය. ඒ අනුව පීටර් බ්‍රොන්ගර් ගේ හිතවතුන් වූ නෙදර්ලන්ත ජාතික මොලොස්මා යුවල විසින් 1985 වසරේ දරුකමට හදා වඩා ගන්නට  මෙරටින් රැගෙන ගිය ” ඇමැන්දි ” නමැති එවකට 18 වෙනි වියේ පසු වු තරුණියගේ නියම වැදු මව සොයාදීමෙි  කාර්යය  ඇන්ඩෘෘට පැවරුනා.
ඇමෙන්දි  මොලොස්මා ලෙස නම් තබා තිබූ ඒ ශ්‍රී ලංකාවෙි ඉපිද නෙදර්ලන්තයේ හැදී වැඩුනු මේ තරුණිය මෙරටට පැමිණ සිටියේ තමා ආදරයෙන් රැක බලා  හදා වඩා ගත් නෙදර්ලන්තයේ මොලොස්මා යුවළද සමඟිනි. මේ අතරතුර මොලොස්මා යුවළට මේ ඇමැන්දි ව ළදරු වියේදී දරුකමට හදාවඩා ගන්නට තැ‍රැව්කාරකම් කල ගල්කිස්ස ප්‍රදේශයේ  කාන්තාවක්  විසින් මොලොස්මා යුවළගෙන් ඇමෙරිකානු ඩොලර් 400 ක මුදලක් ඉල්ලා සිටියේ දරුවාගේ නියම වැදූ මව මුණගැස්සවීම සඳහාය. ඩොලර් 400ක මුදලක් යනු ඒ කාලයේ හැටියට විශාල මුදලකි. එහෙත් ඩොලර් 400 ක මුදලක් ගෙවා හෝ තමන් හදා වඩා ගත් දියණියට සිය වැදු  මව මුණගැස්වීමට සිතූ මොලොස්මා යුවළ එම හමුවීමට දිනයක් ද වෙන් කර ගත්තා. එලෙස වෙන්කරගත් ඒ දිනය එළඹීමට දින  දෙකක් පමණක් ඉතිරිව තිබියදී  ඇනඩෘෘ විසින් දැඩි පරිශ්‍රමයක් දරා ඇමැන්දිට සිය වැදු මව මුණගස්වන්නට සමත් වුණා. එහිදී ඇන්ඩෘෘ පවසන පරිදි ඇමෙන්දි දැරියව මොලොස්මා යුවළට දරුකමට හදාවඩා ගන්නට දීමේදී ලබා දී ඇති ලියකියවිලි එකිනෙකට පරස්පරතාවයන් සහිතය. එම ලියකිවිලි ඔස්සේ ගිය  ඇන්ඩෘෘ ට ඇමෙන්දිගේ වැදූ මව සෙවීම ලෙහෙසි පහසු කටයුත්තක් නොවීය.
ඒ අනුව ඇමැන්දිගේ උප්පැන්න සහතිකයේ  භාරකරු ලෙස නම් කර සිටි කාන්තාව සොයා ගිය ඇන්ඩෲ ට යම් හෝඩුවාවල් කීපයක් ලැබුණා. එම හෝඩුවාවල් අනුව ගිය  ඇන්ඩෲට හංවැල්ල, ආටිගල ,කැලණි ගඟ ආශ්‍රිතව දිවි ගෙවූ ඇමෙන්දිගේ නියම වැදු මව සොයාගන්නට හැකිවුණා. එම උත්සාහය නිසාම  ඇමරිකානු ඩොලර් 400 ක් වැනි විශාල මුදලක් මොලොස්මා යුවලට ඉතිරි කර ගන්නට හැකි වුණා. මෙම සිදුවීමත් සමඟින්ම නෙදර්ලන්තයේ දරුකමට හදාගන්නට රැගෙන ගිය ශ්‍රී ලාංකික දරුවන්ට තමන් වැදූ මව සොයා දෙන මේ අපූරු පුද්ගලයා පිළිබඳව සුවිශාල විශ්වාසයක් ගොඩනැගෙන්නට වුණා. මේ හේතුව නිසාම  මෙරටින් දරුකමට හදාවඩා ගන්නට විදේශයන්ට රැගෙන ගිය ශ්‍රී ලාංකික දූ පුතුන්ට තමන්ගේ වැදූ මව සොයා  දීමේ කර්තව්‍ය ඇන්ඩෲ විසින්  භාරගනු  ලැබුවා.  එය ඔහු සද්කාරයක් ලෙස සලකා කිසිදු ආර්ථිකමය ලාභ ප්‍රයෝජනයක් නොමැතිව ඉටුකරන්නටද ඔහු වග බලා ගත්තා. මේ නිසාම නෙදර්ලන්තය, ස්වීඩනය, ඩෙන්මාර්කය  ඇතුළු ස්කැන්ඩිනේවියානු  රටවල් වලත් එමෙන්ම ප්‍රංශය ජර්මනිය එංගලන්තය වැනි යුරෝපා රටවල් වලත්  එලෙසම ඕස්ට්‍රේලියාව වැනි රටවල් වලද ඇන්ඩෲ ව සුවිශේෂී පුද්ගලයෙක් ලෙස පිළිගැනීමට ලක්වුනා. එතැන් පටන්  ඔහු විසින් ආරම්භ කල මේ සද්කාර්යය තමන් අතින් ඉටුවිය යුතු අවංක රාජකාරියක් බවට පත් කරගත් ඇන්ඩෘෘ මේ මේ වනවිටත් ස්වෙච්ඡාවෙන්ම මේ සඳහා ඇප කැපව කටයුතු කරනවා.

ප්‍රංශ පුවත්පතක ඇන්ඩෘෘ පිළිබදව ලියවුණ වාර්තා ලිපියක්

1980 දශකයේ ආරම්භයේ පටන් 2000 දශකය අවසානය දක්වා කාලය තුළ යුරෝපා සහ ස්කැන්ඩිනේවියානු  රටවල් වලින් පැමිණි විදේශිකයන්ට ශ්‍රී ලාංකික දරුවන් දහස් ගණනක්  දරුකමට හදා වඩා ගැනීමට , භාර දෙන්නට අපේ මව්වරුන්ට සිදු වුණා.  මේ පිළිබඳ ඇන්ඩෘෘ පවසන්නේ මෙවැනි අදහසක්..
“” මා ළඟ තියෙන තොරතුරු එක්ක බලපුවහම ලංකාවෙන් මේ කාලය තුළ දුවා දරුවෝ 15000 කට වැඩි ප්‍රමාණයක් මේ අම්මලා දරුකමට හදා ගන්ඩ දීලා තියෙනවා. ඇත්තෙන්ම මේ අම්මලා බොහොමයක් මේ දරුවන්ව මේ විදියට වෙනත් රටවල අයට හදා වඩා ගන්න දීලා තියෙන්නේ අවංකවම කිව්වොත් එයාලගේ  හිතේ කැමැත්තෙන් නම් නෙමෙයි. එක්කෝ එයාලා පෙළෙන දුප්පත්කම ඉහවහ ගිහිල්ලා, දරුවෙක් හදාගන්න බැරිම තත්වෙකදි සමහර අම්මල පෙලඹිලා තියෙනවා දරුවන්ව මේ විදිහට හරි දරුකමට හදා වඩා ගන්න දෙන්න. ඒත් එක්කම සමහර අම්මලාව නිත්‍යානුකූලව විවාහ නොවී දරුවන් ලැබුණහම සමාජයෙන් සහ තම පවුලෙන් එන ප්‍රශ්න ගැටලු කරදර නිසාම ඒවායින් මිදෙන්නට හිතේ අකමැත්තෙන් හරි, ඒ දරු දුක දරාගෙන සමහර අම්මලාට සිදුවුණා , මේ විදිහට තමන්ගේ දරුවන්ව වෙනත් අයට හදාවඩා ගන්න දෙන්න. ඒ එක්කම විවාහ වෙලා ඉන්න සමහර අම්මලා දුරදිග හිතන්නෙ බලන්නේ නැතුව ආයථා සම්බන්ධවලට පෙළඹිලා ,එලෙස ඉපදුනු දරුවන් නිසා තමන්ගේ පවුලෙන් සහ තමන් ජීවත්වන සමාජයෙන්  මුහුණ දෙන්න වෙන ප්‍රශ්න ගැටලු ගැන හිතලා  එයින් පැන නගින ඒ අයහපත් තත්ත්වයෙන් මිදෙන්න ඒ අම්මලා සමහර වෙලාවට වෙනත් රටවලින් ආපු  අයට මේ විදිහට දරුවන්ව හදා වඩා ගන්න ගන්න දෙන්න සිද්ධ වෙන්න ඇති. කොහොම වුණත් මේ අම්මලා ඉතාම අසරණ තත්ත්වයකට පත්වෙලා ,අවසානයේ වෙන කරන්නම දෙයක් නැතිම තැන තමයි මේ විදිහට තමන්ගේ දරුවන්ව වෙනත් රටවල් වලින් එන විදේශිකයන්ට හදාවඩාගන්න දීලා තියෙන්නේ. මං මෙහෙම කියන්නේ මෙවැනි සිද්ධීන් ගැන මට තියෙන විශාල අත්දැකීම්  ප්‍රමානයත් එක්ක”.

ඩී.එන්.ඒ. ජාන පරීක්ෂන සඳහා සහය දක්වන නෙදර්ලන්තයේ සිටින අමන්දා

ඇමැන්දිගේ වැදු  මව සොයා දීමෙන් අනතුරුව ඇමැන්දි විසින්ම ඇන්ඩෲ ට තවත් මෙවැනිම කාර්යයක් පැවරුවා. ඒ ඇමැන්දිගේ  හිතවතියක වූ අයිරින් නැමැති ශ්‍රී ලංකාවෙන් දරුකමට නෙදර්ලන්තයට රැගෙන ගිය තවත් තරුණියකගේ   වැදූ මව සොයා දීමේ කාර්යභාරයයි.  දැඩි දුෂ්කරතා  සහ අසීරුතා මැද ඒ පිළිබඳව කරුණු සොයා බැලූ ඇන්ඩෲ ලැබුණු තොරතුරු කිහිපයක්  ඔස්සේ යමින් අයිරින්ගේ මවයයි සිතිය හැකි කාන්තාවක් මුණගැසුණා. ඒ වන විට ලංකාවේ රැඳී සිටි ඇමැන්දි ද ඇන්ඩෲ සමඟින් මේ ගමනට එක්වුණා. ඉතා වෙහෙසකර ගමනකින් පසු නුවරඑළිය හග්ගල ,බොරගස් නමැති එවකට දුෂ්කර ගම් ප්‍රදේශයක ඉතා දිළිඳුකමින් ජීවත් වූ  අයිරංගනී නැමැති කාන්තාවක් මුණගැසුණා. එම කාන්තාව දුටු ඇමැන්දි  මේ කාන්තාව තමාගේ මිතුරිය වන අයිරින්ගේ වැදු මව යැයි නිසැක ලෙස පවසා සිටියා. එලෙස ඇය නිසැක ලෙස පැවසුවේ තම මිතුරිය වූ අයුරින්ගේත්, අයිරාන්ගනී නම් මේ කාන්තාවගේත් මුහුණේ පෙනුම ඒක හා සමාන වු නිසාවෙනි. නෙදර්ලන්තයේ සිටින අයිරින්ට ඉක්මනින්ම තමාගේ වැදූ මව සොයාගත් බව එදිනම දන්වන්නටද ඇමැන්දි කටයුතු කළා. මෙම සිදුවීම සම්බන්ධව සොයා බැලූ ඇන්ඩෲ ට පසුව දැන ගන්නට ලැබුණේ අයිරංගනි නමැති  එම කාන්තාව තමන් විවාහ වීමට පෙර තරුණ වියේදී තම පවුලේ ඥාතියකු සමග අනියම් ඇසුරක් පැවැත්වීමේ ප්‍රතිඵලයක් ලෙස දරුවෙක් ලද බවත්, ඒ දරුවා පසුව  දරුකමට හදා වඩා ගන්නට පිටරට සිට පැමිණි යුවළකට ලබාදුන් බවකි.
මේ පිළිබඳව ඇන්ඩෘෘ පවසන්නේ එම කාන්තාවගේ පවුලේ අනෙක් උදවියට අපකීර්තියක් අගෞරවයක් සහ කැලලක් ⁣ වේ යැයි සිතා හෝ නැතහොත් තම දිලිඳුකම නිසා බොහෝ විට එම කාන්තාව අකමැත්තෙන් හෝ  තම දරුවාව මෙලෙස දරුකමට හදා වඩා ගන්නට දෙන්නට ඇති බවයි. .
එලෙසම ඇන්ඩෲ කියන විදිහට 1980 දශකය ආරම්භයේ පටන් 2000 දශකය දක්වාම එතෙර සිට පැමිණෙන විදේශිකයන් සඳහා දරුකමට හදා වඩා ගන්නට දරුවන් සැපයීම  බොහෝ විට ජාවාරමක් බවට පත්වෙලා තිබිලා තියෙනවා. ඒ පිළිබඳවද ඇන්ඩෲ කියන්නේ මෙවැන්නක්
” සමහර වෙලාවට මට දැනගන්ඩ ලැබුණා මේ හදවඩාගන්නට දරුවන් ලබාදීම ජාවාරමක් බවට පත්වෙලා තියෙනවා ඒ කාලේ. ඒවා බොහොම සැලසුම් සහගතව ,ජාලයක් විදිහට තමයි ඒ කාලේ මෙි වැඩ කටයුතු කරලා තියෙන්නේ. මේ ජාලයේ ඉන්නවා රෝහල්වල ඇටැන්ඩන්ලා, එයාලා තමයි බොහෝ වෙලාවට රෝහලේ දී ඉපදුණු දරුවෝ ගැන ආරංචිය තැරැව්කරුවන්ට කියන්නේ. සමහර වෙලාවට මේ රෝහලේ ඉන්න ඇටන්ඩන්ම තමයි දරුවා ලැබුණාම අම්මට හරි ඒ පවුලේ අයට හරි දරුවාව හදා වඩා ගන්නට හොඳ ජෝඩුවකට දෙමූ කියලා මුලන්ම අදහස දෙන්නේ. ඒතකොට ඔය ජාලයේ ඉන්නවා ව්‍යාජ ලිපි ලේඛන හදන ඒ කියන්නේ ව්‍යාජ උත්පැන්න සහතික වගේ දේවල් හදන අය , ඒත් එක්කම ඔය ජාලයේ ඉන්නවා නීතිඥවරුත්. ඒත් එක්කම ඉන්නවා පිටරටවල් එක්ක සම්බන්ධතා තියෙන, ලංකාවට  විදේශ සංචාරකයෝ වගේ අයත් එක්ක නිතර ආශ්‍රය කරන සංචාරක කර්මාන්තයේ ඉන්න අයත් ඉන්නවා. එයාලා බොහෝ විට ඉන්නේ කොළඹ. ඒ මොකද කියනවනම් ලංකාවට එන  බොහෝ පිටරැටියෝ රැඳි හිටින්නේ වැඩිපුරම කොළඹ. ඒ වගේමයි ව්‍යාජ අම්මලත් ඉන්නවා.  වැදු අම්මාව බලන්න ඕනා කියපුවහම තැරැව්කාරයෝ පෙන්නන්නේ වැදු අම්මලාව නෙමෙයි. බොරු ,ව්‍යාජ අම්මලාව. පිටරටවල් වල  ඉඳලා තමාගේ වැදු මව බලන්න  එහෙම එන තරුණ දුවා දරුවන්ගෙන් ලොකු මුදලක් ලබා ගැනුනු අවස්ථා ඕන තරම් තියෙනවා. සමහර දරුවෝ මේ මගේ නියම අම්මා, මෙි මගේ පවුල කියලා හිතලා විශාල මුදලක් වැය කරපු අවස්ථා  ඕන තරම් මට අහන්න දකින්න ලැබිලා තියෙනවා.අවසානයේදී තමයි වැටහෙන්නේ මේ මගේ නියම වැදූ අම්ම නෙවෙයි කියලා. සමහර වෙලාවට ඕක දැනගද්දි අවුරුදු ගානක් ගෙවිලා ගිහිල්ලා.”
මෙරටින් දරුකමට හදා වඩා ගන්නට දුන් , මේ වන විට නෙදර්ලන්තේ ජීවත්වන ” ගංගා  පර්දාවෝ නම් ඇමැන්දිගේ  තවත්  හිතවතියකගේ  මව සොයා දීමේ කාර්යභාරයද ඇන්ඩෲට පැවරුනා. ගංගා සතුව තිබූ සිය උප්පැන්න සහතිකයේ තිබූ  තොරතුරු මත  ඇන්ඩෲ  ඇඹිලිපිටිය කොලොන්නේ මඩුවන්වෙල ප්‍රදේශයට ගොස් ගංගාගේ මව යැයි   ඇයගේ උප්පැන්න සහතිකයේ සඳහන් බේබි නෝනා නැමැති කාන්තාව හමුවූවා. මුලින් ඇය ගංගාගේ වැදු මව බව පිළි නොගත් අතර පසුව ඇයගෙන් කරන ලද දීර්ඝ ප්‍රශ්න කිරීම් මත ගංගාව බිලිඳු සමයේ හදාවඩාගන්නට දුන් බව ඇය විසින් පිළිගත්තා. ඒ බව ඒ වන විට නෙදර්ලන්තයේ සිටින ගංගා ට දන්වා යැවීමටද  ඇන්ඩෲ කටයුතු කළා. ඉන් පසුව ඇන්ඩෲ  විසින් මඩුවන්⁣වෙල වලව්ව නැරඹීමට සංචාරකයන් රැගෙන යාමේදී  ඔහු ඉඩ ලද හැම විටකම ගංගාගේ මව යැයි සඳහන් බේබි නොනා නමැති කාන්තාවද මුණගැසුණා. ඇය කතා කරන වාරයක් වාරයක් පසා ඇය කියන කරුණු කාරණා එකිනෙකට පරස්පර වෙද්දී ඇන්ඩෲ ඇයට තදින්ම කියා සිටියේ සත්‍ය කතා කරන ලෙසය. එහිදී බේබි නෝනා නැමැති කාන්තාව පැවසුවේ තමා ගංගාගේ වැදූ මව නොවන බවයි. ඒ මොහොතේම ඇන්ඩෲ විසින් ගංගාට ඒ බවද දන්නවා යැව්වා. එහෙත් ඒ වනවිටත් ගංගා නෙදර්ලන්තයේ සිට මෙරටට  එන්නට  සූදානම්ව සිටියා. ඇය ලංකාවට පැමිණ ඇන්ඩෲ ට කියා සිටියේ තමාගේ වැදු මව යැයි කී කාන්තාව මුනගස්වන ලෙසයි. එහිදී එම කාන්තාව පැවසුවේ තමා බොරු කී බවත් ගංගාගේ වැදූ මව තමා බවත්ය. එය පිළිනොගත් ඇන්ඩෲ  ගංගාවට පවසා සිටියේ මේ කාන්තාව විශ්වාස කල නොහැකි බවය. ඒ  නිසා ඇන්ඩෲ කියා සිටියේ ගංගාගේ වැදු මව මෙම කාන්තාව ද යන්න තීරණය කළ යුත්තේ ඩී.එන්.ඒ. (DNA) ජාන පරීක්ෂණයක් මගින් බවයි.ඒ අනුව කරන ලද ඩී.එන්.ඒ. ජාන පරීක්ෂණයේදී ඒ බේබි නෝනා නැමැති කාන්තාව ගංගාගේ වැදු මව නොවන බවට ඔප්පු වුනා. මේ අනුව ඇන්ඩෲ  කියන විදිහට මෙය වැදූ මව සොයන්නට ලංකාවේ  සිදුකළ පලමු ඩී.එන්.ඒ. ජාන පරීක්ෂණය බවට පත්වුනා.
ඒ ගැන ඇන්ඩෲ මෙහෙම කියනවා.
“”  ඇත්තටම වැදු  අම්මලාව සොයා දෙන වැඩේදි අපේ අතට ලැබෙන බොහෝ ලියකිලි ව්‍යාජයි. ඒ වගේම තොරතුරු දෙන්න අපිට හමුවෙන මිනිස්සු, ඒ වගේම වැදු අම්මලා ලෙස පෙනී සිටින අය, ඒවගේම ඥාතීන් ලෙස පෙනී සිටින අය ඇතුළු මේ සේරම සමහර වෙලාවට බොරු කරන අය. ලාභ ප්‍රයෝජන බලාගෙන , අර රටවල් වලින් එන අයගෙන් වාසි ලබාගන්න තමයි බොහෝ අය බලන්නේ. ඔය කවුරු කොහොම කිව්වත්, ඩී.එන්.ඒ. ජාන පරීක්ෂණයට බොරු කරන්න බෑනේ. එතනදි නියම වැදු අම්මා කවුද කියන එක ඔප්පු වෙනවා. ඒ නිසා තමයි මම මේ වගේ වැදු අම්මව හොයලා දෙන්න කිව්වොත් දැන් කරන්නේ ඩීඑන්ඒ එක බලලම තමයි අම්මව හොයා ගන්නේ . දැන් කාටවත් බොරු කරන්න බෑ.”

මේ වන විට ඇන්ඩෲ නෙදර්ලන්තයට එලෙස දරුකමට හදා වඩා ගන්න දුන්නු ලංකාවේ දරුවන් 100 කට අධික ප්‍රමාණයකට තමන්ගේ වැදු මව්වරුන්ව සොයා දීලා තියෙනවා.ඒ වගේම ප්‍රංශයේ ජීවත්වෙන, මෙරටින් දරුකමට රැගෙන ගිය දරුවන් 75කට පමණ තමන්ගේ වැදූ මව්වරුන් සොයා දීලා තියෙනවා.  තවත් රටවල් ගණනාවක ජීවත්වෙන මෙරටින් දරුකමට රැගෙන ගිය දූ දරුවන් ද ඇතුළුව දරුවන් 240 ක පමණ ප්‍රමාණයකට සිය වැදූ මව්වරුන් සොයා දීලා තියෙනවා මෙහිදී විශේෂම කරුණ වන්නේ ප්‍රංශයේ ජීවත්වෙන මෙරටින් දරුකමට රැගෙන ගිය නිලන්ති නමැති තරුණියගේ  වැදු මව ඇන්ඩෲ විසින් සොයා දීමෙන් අනතුරුව නිලන්ති විසින් ඇන්ඩෲ ගේ මේ සද්කාර්යය පිළිබඳව විශේෂ ග්‍රන්ථයක් ප්‍රංශ භාෂාවෙන් පලකර  තිබෙනවා  . එය ප්‍රංශය පුරා අතිශය ජනප්‍රිය ග්‍රන්ථයක් බවට ද පත්වී තිබෙනවා. ඒ නිසාම එක්තරා ප්‍රංශ පුවත්පතක ශ්‍රී ලංකාවේ ඇන්ඩෲ පිළිබඳව විශේෂයෙන් ඔහුගේ මෙම ස්වේච්ඡා කාර්යය පිළිබඳව වාර්තාමය විශේෂාංග  ලිපියක් පවා  පළ කර තිබෙනවා.  මේ නිසාම ඇන්ඩෲව යුරෝපා සහ ස්කැන්ඩිනේවියානු රටවල ඉතා ජනප්‍රිය පුද්ගලයෙක් බවට  පත්වී තියෙනවා.

මේ අතරතුර ඇමෙන්ඩා ජැසෙන්  යනුවෙන් හඳුන්වන ලංකාවෙන්   දරුකමට රැගෙන ගිය තරුණියකගේ වැදු මව සෙවීමේ කාර්යයද  ඇනඩෲ වෙත පැවරෙනවා . එහෙත්  ඇයගේ මව ලෙස ඇගේ උප්පැන්න සහතිකයේ සඳහන් වූ කාන්තාව ඩී.එන්.ඒ. ජාන පරීක්ෂණයේදී ඇගේ  වැදු මව නොවන බවට ඔප්පු වී තිබෙනවා .එලෙසම එම කාන්තාව මේ වන විට මියගොස් ඇති නිසා  ඇමෙන්ඩාගේ වැදූ මව සෙවීම ඉතා දුෂ්කර කාර්යයක් බවට පත්වී තිබෙනවා. මේ වන විට හත් වතාවක් තම මව සොයා ගැනීමට මෙරටට පැමිණ තිබෙන ඇය මේ සියළු තත්ත්වයන් හොදින්  තේරුම් ගෙන සිටිනවා..ලංකාවෙි සැබෑ මව්වරුන් සොයා වෙහෙසෙන තමා වැනිම එතෙර දරුවන්ට ඒ මව්වරුන් සොයාදීමේ  කාර්ය සඳහා ඇය මේ වන විට පෙරමුණ ගෙන සිටිනවා. ඇය ඒ සඳහා අති විශ්වාසවන්තම  සහායකයා ලෙස එම කාර්යය සඳහා ඇන්ඩෲ ව තෝරාගෙන සිටිනවා. ඇ⁣මෙන්ඩා විසින් මෙරටින් දරුකමට රැගෙන ගිය එතෙර වෙසෙන දරුවන්ගේ සියලු තොරතුරු එක් රැස්කරන “” ශ්‍රී ලංකා ඩි.එන්.ඒ. ඔර්ගනයිසේෂන් ”  ( Lanka D N A organization ) යනුවෙන් මිතුරු හවුලක්  (info@srilanka-dna.org)  මේ වන විට පිහිටුවාගෙන තිබෙනවා.ඇන්ඩෲ පවසන්නේ ඇමෙන්ඩාගේද  සහයෝගය ඇතිව දරුකමට හදාවඩා ගැනීමට එතෙරට දරුවන් දුන් මව්වරුන්ගේ සියලු තොරතුරු තමන් වෙත ලබාදෙන ලෙසයි.එලෙසම ඇන්ඩෲ  කියන්නේ තමන්ගේ වැදූ මව්වරුන් සොයන රට රටවල සිටින දරුවන් සමග සැසඳීම සඳහා එලෙස දරුවන් හදාවඩාගන්නට ලබා දුන් මව්වරුන්ගේ සියලුම ඩීඑන්ඒ ජාන පරීක්ෂණ කිසිදු මුදලක් අය නොකර නොමිලේම කර දීමට ඇමෙන්ඩා සහාය වෙනවා කියලයි.

ඇන්ඩෘෘ විසින් මව සොයාදුන්  ප්‍රංශයේ ජීවත්වන සජිනිට මව හමුවු මොහොත

කිසිදු ආර්ථිකමය වාසියක් ලාභයක්   නොමැතිව ස්වේච්ඡාවෙන් මෙවැනි සද්කාර්යයක නිරත වන ඇන්ඩෘෘ  වැඩිදුරටත් මෙන්න මෙහෙම දෙයක් කියනවා.
” මමත් දරුවො දෙන්නෙක් ඉන්න තාත්තා කෙනෙක්. මටත් තේරෙනවා දරු දුක කියන එක. පිටරටක හිටියත් ඒ දරුවන්ට තමන්ව වැදූ අම්මව දැකගන්න. අම්මව තුරුළු කරන් සිප ගන්න , ඒ අම්මගේ උණුහුම විඳින්න, ඒ අය ඉන්නේ  පුදුම ආසාවකින්. ඒක තමයි දරු සෙනෙහස කියන්නේ . අවුරුදු ගානකින් පළමු වතාවට තමන්ගේ අම්මව දැකලා , ඒ අම්මව සිප වැළඳ ගනිද්දි ඒ අම්මාගෙයි ඒ  දරුවාගෙයි  ඇස් වලින් ගලන කඳුළු බිංඳු දකින්න මම හරි ආසයි.මම එවැනි සංවේදී අවස්ථාවන් දැකලා ලබන තෘප්තිය රුපියල් කෝටි ගන්නක් දීලවත් මට ලබන්න බැහැ. පිටරටක හිටියත් ඒ අපේම දරුවෝ මේ තත්ත්වය මම හොඳට තේරුම් අරන් ඉන්නේ. ඒක නිසයි මම මගේ කාලය ශ්‍රමය සමහර වෙලාවට මගේ මුදල් පවා වැය කරමින් මේ දරුවන්ට තමන්ව මේ ලෝකෙට වැදු අම්මලාව හොයලා දෙන්න මම වෙහෙසෙන්නේ.” ඇන්ඩෲ  වඩාත් හැඟුම්බරව අපට එහෙම කිව්වා.

අප මේ සටහන මෙලෙස නිමා කරන්නට කලින් එතෙරට දරුකමට හදා වඩා ගන්නට, දරුවන් දුන් ලංකාවේ අම්මලාගෙන් ඉල්ලීමක් කරන්න කැමතියි.  ඔබ , ඔබේ දුප්පත්කම වැනි ආර්ථික ප්‍රශ්න නිසා, එහෙමත් නැත්නම් ඔබේ පවුලට ප්‍රශ්නයක්  වෙයි කියලා සිතුන නිසා නොවෙසේනම් වෙනත් හෙළිදරව් කිරීමට නොහැකි ඔබේ පෞද්ගලික ප්‍රශ්නයක් නිසා ඔබට ඔබේ දරුවාව මේ විදිහට දරුකමට හදාගන්න දෙන්න සිද්ධ වෙන්න ඇති. ඒ කොහොම වුණත් සිදු වු දේ  දැන් සිදුවී හමාරයි. එහෙත් ඔබේ දරුවා වැඩිවියට පත් වූ පසු ඔබ පිළිබඳව විමසනවා.ඔබව දැක ගන්න ආසාවෙන් සිටිනවා. ඒක තමයි දරු සෙනෙහස කියන්නේ.ඔබටත් එසේම වෙන්න ඇති. ඔබටත් ඒ දරුවාව දකින්න, දරුවාව වැළඳ ගන්න, ඔබත් ආසාවෙන් ඉන්නවා වෙන්න ඇති.ඒක තමයි අම්මා කෙනෙකුගේ මව් සෙනෙහස කියන්නේ  ඔබත් මේ වනවිට ඔබේ දරුවව සොයනවා වෙන්න ඇති. එහෙනම් ඔබට කරන්න තියෙන්නේ මේ සඳහා ඉදිරිපත්වීම පමණමයි. ඔබේ රහස්‍ය භාවය සහ ඔබේ විස්තර සුරක්ෂිතයි කියන එක සහතිකයි.
ඇන්ඩෘෘ සිල්වා – 0772114795 / 0779941919

ඇන්ඩෘෘ විසින් වැදු මව සොයා දුන් නෙදර්ලන්තයේ රන්මලී
ඇන්ඩෲ පිළිබඳව මෙරට පුවත්පත් කිහිපයක පළ වූ විශේෂාංග සහ විමර්ශනාත්මක ලිපි කිහිපයක්

 

නිලන්ති විසින් ඇන්ඩෘෘ පිළිබදව රචිත ග්‍රන්ථය

 

 

නිලන්ති විසින් රචිත ග්‍රන්ථයේ ඇන්ඩෘෘ පිළිබදව පළවූ  සටහනක්

සටහන – තුෂාර රොහාන්