ආගමන විගමන පාලකගේ දූෂිත තවත් වැඩක්…

0
74

ආගමන හා විගමන නිලධාරීන් වන අප විසින් මෙතෙක් කිසිදු ප්‍රමාදයකින් තොරව සිදු කරන ලද බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළ ඇතුළු ගුවන්තොටුපළ සහ වරායයන් ඔස්සේ ශ්‍රී ලංකාවට පැමිණෙන සහ පිටත්ව යන මගීන් සම්බන්ධයෙන් මූලික ම රාජකාරිය වන මගී නිෂ්කාශන කටයුතු පරිපාලනමය දුර්වල ක්‍රියාමාර්ගයක් නිසා දැඩි සේ අඩාල වී ඇත. මෙ නිසා දෛනිකව ගුවන්තොටුපළින් යනෙන 25,000කට අධික දෙස් විදෙස් මගීහු පැය ගණන් දිගු පෝලිම්වල රැඳෙමින් දැඩි අපහසුතාවට පත්ව සිටිති.

වසර ගණනාවක් තිස්සේ දැඩි නිලධාරී හිඟයද දරා ගනිමින් කාර්යක්ෂම ආගමන හා විගමන සේවයක් ලබාදීමට අප නිලධාරීන් කටයුතු කළ ද ඉකුත් නොවැම්බර් මස සිට අප දෙපාර්තමේන්තු පරිපාලනය විසින් රාජ්‍ය මුදල් කෝටි ගණනක් වැය කර කිසිදු පූර්ව පරීක්ෂා කිරීම්වලින් තොරව යොදන ලද ජාත්‍යන්තර ප්‍රමිතියෙන් තොර ගමන්බලපත් ස්කෑනර් යන්ත්‍ර හේතුවෙන් මෙම අර්බුදය හට ගෙන ඇත. මේ දක්වා අප භාවිතයට ගත් කිසිදු තාක්ෂණික ගැටලුවක් නො තිබූ ප්‍රමිතියෙන් යුතු ස්කෑනර් යන්ත්‍ර වහාම ගුවන්තොටුපළින් ඉවත් කර නව යන්ත්‍ර ස්ථාපනය කළ දින සිට දහස් ගණන් සංචාරකයන් මෙරටට පැමිණීම ඇරඹි මේ සමයේදී මෙකී ප්‍රමාදය නිසා මගී ජනතාව දැඩි අසීරුතාවලට මුහුණ දෙනු දක්නට ලැබේ. නව ස්කෑනරයෙන් එක් මගියකු නිෂ්කාශනය කරන කාලය තුළ පැවැති යන්ත්‍රයෙන් මගීන් සිවු දෙනෙකු පමණ නිෂ්කාශනය කිරීමේ ශක්‍යතාව අහිමි වීමෙන් මෙම අර්බුදය දිනෙන්දින උග්‍රවෙමින් පවතී.

මෙහිලා අවධාරණය කළ යුතු තීරණාත්මක කරුණ නම් අප දෙපාර්තමේන්තු පරිපාලනය විසින් කිසිම විටෙක දේශසීමා පරිපාලනය සම්බන්ධයෙන් ප්‍රතිපත්තිමය තීරණ ගැනීමේදී දේශසීමා පාලනය සම්බන්ධයෙන් විශේෂඥ දැනුම ඇති ආගමන විගමන නිලධාරීන්ගේ සහාය කිසිවිටෙකත් ලබා නො ගැනීමයි.

වසර පහක කෙටි කාලසීමාවකට පමණක් දෙපාර්තමේන්තු පාලනයට පැමිණෙන පරිපාලන සේවා නිලධාරීන් විසින් දෙපාර්තමේන්තු ගත සේවාවට පූර්ණ කාලීනව අන්තර්ග්‍රහණය වී සේවය කරන ආගමන විගමන නිලධාරීන් හට දෙපාර්තමේන්තුව තුළ තීන්දු තීරණ ගැනීමට ඇති තනතුරු පවා අත්පත් කර ගනිමින් කිසිදු පූර්ව අධ්‍යයනයකින් තොර විශේෂඥ දැනුම ඇති ආගමන විගමන නිලධාරීන්ගේ සහාය ද ලබා නො ගනිමින් රටේ දේශසීමා පාලනය සම්බන්ධ තීන්දු තීරණ ගනිමින් සිටීම මෙම ගැටලුවලට මූලිකම හේතුව වී ඇත.

දෙපාර්තමේන්තු ගත සේවාවේ සිටින ආගමන විගමන නිලධාරීන් හට සිදුව ඇත්තේ තමන් ගුවන්තොටුපළ සහ වරායයන්හි ජාත්‍යන්තර ගුවන් මගීන් සම්බන්ධ රාජකාරි කරමින් ලබන විශේෂඥ දැනුම රටේ අභිවෘද්ධියට යොදා නො ගෙන ම තමන් පත්වීම ලද තනතුරෙහි ම විශ්‍රාම යාමටයි.

මෙබඳු අවාසනාවන්ත තත්ත්වයක් තුළ දේශසීමා පාලනය සම්බන්ධයෙන් කිසිදු බිම් මට්ටමේ විශේෂඥ දැනුමක් නැති කෙටි කලකට දෙපාර්තමේන්තුව වෙත පත්වීම් ලබා එන පිරිසක් විසින් ගනු ලබන තීරණ නිසා දිනෙන්දින රටේ කීර්තිනාමයට හානි සිදුවනවා පමණක් නො ව සංචාරක කර්මාන්තයට ද එල්ල වනුයේ දැඩි පහරකි.

එවන් පසුබිමක් තුළ සිදු වූ රාජ්‍ය මුදල් කෝටි ගණනක් වැය කර මිලදී ගත් ප්‍රමිතියෙන් තොර මෙම ගමන්බලපත් ස්කෑනර් මිලදී ගැනීම හෝ ඒවා අප ගුවන්තොටුපළ සහ වරායයන්ට යෝග්‍ය දැයි අදාළ බලධාරීන් විසින් ආගමන විගමන නිලධාරීන් වන අප විසින් කිසිවිටෙක නො විමසා සංචාරකයන් බහුලව අප රටට පැමිණෙන දෙසැම්බර් මස ආරම්භයේ දී ස්ථාපනය කෙරිනි.

මෙකී මූලික පරිපාලනමය ගැටලුව වසන් කරනු වස් දැනට ගුවන්තොටුපළට තුළ ක්‍රියාත්මක කෙරෙන ජාත්‍යන්තර වශයෙන් පිළිගත් කාර්යක්ෂම Zig zag පෝලිම් ක්‍රමය වෙනස් කර තනි කවුළුවකට තනි පෝලිම් ක්‍රමය යොදා ජනතාව තව තවත් අසීරුතාවට පත් කරමින් පරිපාලනමය ගැටලුව නිලධාරියා වෙත යොමු කිරීම සඳහා අප පාලක ජනරාල්වරයා ගත් නින්දිත උත්සාහය ද පසුගියදා අප සංගමය විසින් ව්‍යර්ථ කරන ලද්දෙමු. ප්‍රායෝගික Zig zag පෝලිම් ක්‍රමය යොදා ජනතාවට පහසුව සලසන මෙන් අප සංගමය වසර ගණනාවකට පෙර සිට පාලක ජනරාල්වරයාගෙන් කළ ඉල්ලීම්වලට කිසිදු සාධනීය ප්‍රතිචාර නො ලද තැන ඉකුත් මැයි මාසයේ දී විසි වසරකට අධික කාලයක් නො විසඳී පවතින ගැටලු විසඳා ගැනීමට අදාළ අප ගත් වෘත්තීය ක්‍රියාමාර්ගයේදී අප සංගමයේ මැදිහත්වීමෙන් ගුවන්තොටුපළට පැමිණීමේ හා පිටත්වීමේ පර්යන්තවල Zig zag පෝලිම් ක්‍රමය යොදන ලදී.

තවද විසි වසරක් පුරා අප නිලධාරීන් මුහුණපා සිටින සේවා ව්‍යවස්ථාවක් අනුමත කර ගැනීමේ ක්‍රියාවලිය ද පාලක ජනරාල්වරයා විසින් යළි යළිත් නො සලකා හරිමින් තිබේ. රාජ්‍ය සේවයේ අතිශය ම තරඟකාරී විභාගයකින් ඉහළ සුදුසුකම් සහිතව සේවයට බැඳෙන නිලධාරීන්ගෙන් අතිශය බහුතරයකට තමන් සේවයට බැඳුණු තනතුරෙහිම අපේක්ෂා භංගත්වයයෙන් යුතුව විශ්‍රාම යාමට සිදුවන තත්ත්වයක් අප සේවය තුළ පවතී. මේ මූලික කරුණ ඇතුළු නඩු පැවරුම් අංශය දෙපාර්තමේන්තුව තුළ ස්ථාපනය කිරීම සහ නිලධාරීන් විදේශ තානාපති කාර්යාලවලට අනියුක්ත කිරීම යන කාරණා මුල් කර ගිනිමින් ඉකුත් මැයි මස කටුනායක ගුවන්තොටුපළේ දී අකුර වැඩ කිරීමේ වෘත්තීය ක්‍රියාමාර්ගයකට අප පිවිසුණෙමු. ඊට ප්‍රතිචාර ලෙස කැබිනට් පත්‍රිකාවට ලද නිර්දේශ අනුව ජනාධිපතිවරයා එම ඉල්ලීම් ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් කළ විමසීම් සහ පසුව ලබාදුන් නිර්දේශයන් ද පාලක ජනරාල්වරයා විසින් නො සලකා හරිනු ලබමින් අප සේවයේ නිලධාරීන් සහ මහජනතාව පීඩාවට පත් කරමින් රාජ්‍ය නිලධරයකුගේ වගකීම් පැහැර හරිමින් සිටී.

පාලක ජනරාල්වරයාගේ මෙම අදූරදර්ශී මහජන පීඩක ක්‍රියාකලාපය හේතුවෙන් ලක්වැසි ජනතාවට සහ විදෙස් ජනතාවට සිදුවන දැඩි ප්‍රමාදයන් සම්බන්ධයෙන් නිසි බලධාරීන්ගේ අවධානය යොමු කර කඩඅනම් ස්ථාවර විසඳුමක් ලබා ගනු පිණිස මෙම මාධ්‍ය නිවේදනය ඔබ මාධ්‍ය ආයතනය වෙත කාරුණිකව නිකුත් කරමින් දන්වා සිටිමු.

අරුණ කණුගල Aruna Kanugala
සභාපති

ශ්‍රී ලංකා ආගමන හා විගමන නිලධාරීන්ගේ සංගමය