ආවරණයක් නැති අනතුරුදායක කානුවක් !

0
338

kanu issue 1
(2.00 am ) මීගමුව  කෲස්පාරේ   ලංකා පාමසිය  ඉදිරිපස  ඇති  මෙකී  කානුව  දිගු  කාලයක්  තිස්සේ  මේ  ආකාරයෙන්ම කිසිදු  පිළිසකර  කිරීමක්  නැතිව  පවතින්නකි. මෙම  ස්ථානය   හතරමං  හන්දියක්  බැවින්  මෙහි  අනතුරු දායක  බව තවත්  වැඩිවේ. මෙය  මීට  පෙරද  අපගේ   මීපුර  වෙබ්  ඇසට  අසුවූ  අතර  ඒ පිළිබඳව   අප  ලිපියක්  පළ කළෙමු. නමුත් මෙය  මීගමුවේ  සිටින  කිසිම  වගකිවයුත්තෙකුගේ    ඇස  නොගැටුනේ  ඇයිද  යන්න  ප්‍රශ්ණයකි.  මෙම කානුව   අසලම සිට  කඩල  විකුණන  කඩයක්ද  ඇත.  කානුවේ   මෙම ස්ථානය   මැස්සන්ගෙන්  පිරී  ඇත. මදුරු  කීටයන්ගෙන්ද  ගහනය.  විදුලි පහන්  කනුවක්  කානුව  අයිනේම  සිටුවා  ඇත.

මෙසේ  පවතිද්දී  යනඑන  මගීන්  පමණක්  කුමක්හෝ  කියමින්   මෙම  ස්ථානය  අසලින්  ගමන්  කරන්නේ  ඉතා  පරිස්සමටය.  එක්  පැත්තකින්  මීගමුවේ  ඩෙංගු  ප්‍රශ්ණය  සළකා  බැලුවහොත්  මෙවැනි  තැනක්  සුළුවෙන්  පෙනුනද  මෙය  සුළුකොට  තැකිය  නොහැක.  පසුගිය  දිනවල  පාරවල්  කාපට්  කර  තිබෙනු   දැක්කෙමු.  නමුත්  මෙවැනි  තැන්   තිබෙන  බව  නිලධාරීන්  දන්නේ  නැත.  මීගමුවේ  කානු  ප්‍රශ්ණයට  දිගු  ඉතිහාසයක්  ඇත. ලංසා  පාලනයේදී  කානුවලින්  වැඩ  පෙන්වූ  ආකාරය  අපි  දැක්කෙමු.  මීගමු  සංවර්ධනය  උදෙසා  ණය  ලැබී  ඒවා  වැය  කර  කානු  හැදූ  නමුත්   ප්‍රශ්ණය  තවමත්  විසඳී  නැත. අප ඇස  ගැටෙන  මෙම  කානුව  පමණක්  නොව  තවත්  මෙවැනි  ස්ථාන  නගරය  තුළ  තවත්  තිබේ.  නමුත්  මේ  කිසිවක්  සඳහා  සැලැස්මක්  නැති  අතර  ප්‍රතිපාදන  නැතිබව  කියමින් ප්‍රශ්ණය  මගහැර  යයි.

නගරයේ  ඇති  සමහර  ස්ථාන වල  ඇති  කානු   කසලවලින්  පිරී  තිබෙනු  දැකියහැක.   අප සමඟ  අදහස්  බෙදාගත්   ව්‍යාපාරිකයින්  ප්‍රකාශ   කළේ  මෙම  කානු  අවුරුදු  10කින්වත්  සුද්ධ  කිරීම  සඳහා   නගරසභාවෙන්  නොපැමිණි  බවයි.  මේ  අනුව  අපට  ආසන්නතම  ගැටළුවක්  ලෙස  මෙම  කානුව  ගැන  කථාකළද  මේ  හැර  අවධානම්  සහගත  මෙවැනි  තැන් තවත්  තිබෙන  බව  සැලකිල්ලට  ගතයුතුය.   ඒනිසා මේ  ගැන  විසඳුමක්  ලබා දෙන්නැයි    අප  නැවතත්  අවධාරණය  කරන්නේ  අදාල  බලධාරීන්ටයි.