ඇඟිලි වල ඇට කැඩුවම පසුකාලීනව බලපෑම් ඇතිවෙනවා ද ?

0
802

ගොඩක් වෙලාවට අපි දැකල තියනවා එක එක කට්ටිය තමන්ගේ ඇඟිලි වල ඇට කඩනවා කියල ටක් ටක් ගාලා ඇඟිලි තද කරන අඹරන හැටි. ඒත් මේවා දිහා බලන් ඉන්න සමහරු නම් කියන්නේ එහෙම කරන්න හොඳ නෑ කියලයි. ඇඟිලි මහත් වෙනවලු, එහෙම නැත්තන් ආතරයිටිස් වගේ ලෙඩ රෝගත් වැළඳෙන්න පුළුවන් කියල මතයක් තියනවා. ඒත් ඇත්තටම එහෙම වෙනවා ද ? අපි ඒ ගැන ටිකක් විමසලා බලමු.

අපි මේ ඇට කඩනවා කියල ඇඟිලි නමද්දී ඇත්තටම අස්ථි දෙකක් නැතිනම් ඇඟිලි වල ඇට දෙකක් අතර තියන ඉඩ ප්‍රමාණය ඇදීම නිසා විශාල වනවා. මේ අවකාශය පිරි පවතින්නේ යම්කිසි තරලයකින් (Synovial fluid) . එමගින් අස්ථි එකිනෙක ගැටෙන මොහොතේ ඇති වන ඝර්ෂණ බල අවම කෙරෙනවා. ඒවගේම මෙහි ඔක්සිජන් , කාබන්ඩයොක්සයිඩ් සහ නයිට්‍රජන් වගේ වායු පවතිනවා. ඔබ මේ ඇට කැඩීමට ලක් කරන අවස්ථාවේ ඒ ස්ථානයේ පීඩනය ඍන අගයක් ගන්නවා. ඒ කියන්නේ අනෙක් ස්ථාන වලට සාපේක්ෂව පීඩනය පහල යනවා. එය රික්තයක් නිර්මාණය වීම හා සමානයි. එමගින් තරල ඉවත් වීමක් සිද්ධ වෙනවා. ඒවගේම මේ ස්ථානයේ පවතින වායු හේතුවෙන් වායු බුබුළු ඇතිවනවා. මේ බුබුළු පිපිරෙන ශබ්දය තමයි අපිට “කටස්” ගානවා වගේ ඇහෙන්නේ.

ඉතින් මෙහෙම කරන එක හොඳයි ද ? එකනේ අපිට තියන ප්‍රශ්නේ. වෛද්‍ය මුලාශ්‍ර වලින් නම් කියවෙන්නේ මෙවැනි ක්‍රියාකාරකමක් සිදුකරන විට අස්ථි සන්ධි ඇති ස්ථාන වල වේදනාවක් නොදැනෙන්නේ නම් එය දිගටම කරගෙන යාම එතරම් ගැටළුවක් නොවන බවයි. මේ පිළිබඳව අපූරු පර්යේෂණයක් කල පුද්ගලයකු වන්නේ Donald L. Unger. ඔහු අවුරුදු 60ක් පුරාවට තමන්ගේ එක අතක ඇඟිලි පුරුක් වල ඇට කඩමින් අනෙක් අත පාඩුවේ තබාගනිමින් පර්යේෂණයක් කළා. ඔහු ඇට කැඩීමට යොදාගත් අත නිරෝගී බවත් අනෙක් අත ඒ කියන්නේ පාඩුවේ තිබ්බ අතත් කිසිඳු ආබාධයකින් තොරව ආතරයිටිස් රෝගයට ගොදුරු වී නොමැති බවත් සොයාගත්තා. නමුත් 1990දී පමණ පුද්ගලයන් 300ක් පමණ යොදාගනිමින් තවත් පර්යේෂණයක් සිදුකෙරුණා. මෙහිදී ඔවුන් අනාවරණය කලේ දීර්ග කාලයක් පුරාවට මේ ක්‍රියාවේ යෙදෙන පුද්ගලයන්ගේ අත් ඉදීමෙන් ගතියක් පෙන්වන බවත් යම්කිසි වස්තුවක් ග්‍රහණය කරගැනීමේදී ඇති ශක්තිය අන්අයට වඩා අඩු බවත් ය. කෙසේ වෙතත් මේ පිළිබඳව වැඩිදුර පර්යේෂණ කෙරී නොමැති බවයි දැනගන්න ලැබෙන්නේ.

http://sira.lk