ඇමති මණ්ඩලයට ඉහලින් ‘සුපිරි නිලධාරී කමිටුවක්’ !

0
75
සිය අමාත්‍යංශයට අදාල කැබිනට් සංදේශ කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කිරීමට පෙර ‘සුපිරි නිලධාරී කමිටුවක’ අනුමැතිය ගැනීමට කැබිනට් අමාත්‍යවරුන්ට සිදුව ඇතැයි ආණ්ඩුවේ අභ්‍යන්තර ආරංචිමාර්ග වලින්

වාර්තාවේ.

කැබිනට් මණ්ඩලය යනු කැබිනට් මණ්ඩලය සහිත ආණ්ඩුක්‍රමයක ප්‍රතිපත්තිමය තීරණ ගන්නා ස්ථානයයි. එම වගකීම දරනුයේ පාර්ලිමේන්තුවට තේරී පත්වන මන්ත්‍රීවරුන් අතරින් ජනාධිපතිවරයා විසින් පත්කරන කැබිනට් අමාත්‍යවරුන් විසිනි.

එවැනි කැබිනට් ආණ්ඩුක්‍රමයක් යටතේ ස්වකීය අභිමතය පරිදි කැබිනට් මණ්ඩල සංදේශ ඉදිරිපත් කිරීමේ වගකීම කැබිනට් අමාත්‍යවරුන් සතුවීම පිළිගත් සම්ප්‍රදාය වේ.

එසේ කැබිනට් අමාත්‍යවරුන් ස්වකිය විෂයපථයට අදාලව ඉදිරිපත් කරන යෝජනා සලකා බලා අනුමත කිරීම හෝ ප්‍රතික්ෂේප කිරීම හෝ වෙනත් තීරණයක් ගැනීම කැබිනට් මණ්ඩලය විසින් සිදුකරනු ලබන අතර එම තීන්දු තීරණ කැබිනට් අමාත්‍යවරුන් විසින් ක්‍රියාත්මක කරන්නේ ඉන් අනතුරුවය.

අලුතින් නියෝගයක් !

කැබිනට් මණ්ඩලය සහිත ආණ්ඩුක්‍රමයක කැබිනට් පත්‍රීකා සම්බන්ධ සම්ප්‍රදාය එසේ වුවද මෑතක සිට පනවා ඇතැයි කියන නියමයක් මත අමාත්‍යවරුන්ට අදාල කැබිනට් සංදේශ ‘සුපිරි කමිටුවක්’ වෙත යොමුකර අනුමැතිය ලබාගැනීමට ‘නියමකර’ තිබේ.

ඇමතිවරුන් විසින් ඉදිරිපත් කරන සංදේශ මෙම ‘සුපිරි කමිටුවේ’ විමර්ශනයට යොමුකර නිර්දේශ ලබා ගතයුතු බවත්, අමාත්‍ය මණ්ඩලය වෙත එම සංදේශ ඉදිරිපත් කරන්නේද ? නැද්ද ? යන්න තීන්දු කිරීම පවා එම ‘සුපිරි කමිටුවේ’ වෙත පවරා ඇතිබවත් පැවසේ.

කැබිනට් අමාත්‍යවරුන්ට නිල වශයෙන් පැවරෙන ප්‍රතිපත්ති තීන්දු තීරණ ගැනීමේ බලය කපාහැර එය ‘සුපිරි කමිටුවක’ අධීක්ෂණය යටතට පත්කිරීම රජයේ ඉහලම තනතුරු දරන නිලධාරීන් කිහිප දෙනෙකුගේ උපදෙස් මත ගන්නා ලද තීන්දුවක් බව ආණ්ඩුවේ අභ්‍යන්තර ආරංචිමාර්ග පවසයි.

එම ආරංචිමාර්ග වලට අනුව, ජනාධිපති ලේකම් ආචාර්ය පී.බී. ජයසුන්දර, අගමැති ලේකම් ගාමිණී සෙනරත්, රාජ්‍ය පරිපාලන විෂය පැවරී ඇති ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම් මේජර් ජෙනරාල් (විශ්‍රාමික) කමල් ගුණරත්න සහ අමාත්‍ය මණ්ඩල ලේකම් ඩබ්ලිව්.එම්.ඩී.ජේ. ප්‍රනාන්දු යන ගෝඨාභය පාලනයේ ඉහලම පරිපාලන නිලධාරීන් සිව් දෙනාගෙන් මෙම ‘සුපිරි කමිටුව’ සමන්විතවේ.

පී.බී. එරෙහිවූ අමරසේකර විසිවේ !

                       අමරසේකර ගෙදර යැව්වේ ඇයි ? – දේශපාලන ක්ෂේත්‍රයේ කතාබහට…

කැබිනට් මණ්ඩල රැස්වීමක අසුන්ගත හැක්කේ, ජනාධිපති, අගමැති සහ කැබිනට් අමාත්‍යවරුන්ට පමණි. ඊට අතිරේකව කැබිනට් මණ්ඩල ලේකම් නිල බලයෙන් කැබිනට් මණ්ඩල රැස්වීම වලට සහභාගී වේ.

ඊට පරිබාහිරව වෙනත් කිසිවකුට අමාත්‍ය මණ්ඩලය රැස්වන අවස්ථාවේ දී එහි කටයුතුවලට මැදිහත්වීමට ඉඩනොතැබිම පැවති සම්ප්‍රදායයි.

එහෙත් ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති ධුරයට පත්වූ පසු කැබිනට් රැස්වීම වලට ජනාධිපති ලේකම් ආචාර්ය පී.බී. ජයසුන්දරව ද සහභාගී කරවා ගැනීමට කටයුතු කර ඇති අතර එහිදී කැබිනට් මණ්ඩල ලේකම්වරයා ලෙස කටයුතු කළ එස්. අමරසේකර ඒ සම්බන්ධයෙන් අගමැතිවරයාට සිය කනස්සල්ල පළකර ඇත්තේ, කැබිනට් රැස්වීම්වල සම්ප්‍රදාය පැහැදිලි කර දෙමිනි.

කෙසේවුවද මෙවර කැබිනට් ලේකම්වරුන් පත්කිරීමේදී මෙරට පරිපාලන කේෂ්ත්‍රයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියකු වන එස්. අමරසේකර ඉවත්කර තිබීම විශේෂිත කාරණයකි.
theleader.lk