ඉතාලියේ රැකියා ලබාදෙනබවට පවසා ජනතාව රැවටූ පුද්ගලයෙක් අත්අඩංගුවට

0
42

arrested-person-1

ඉතාලියේ රැකියා ලබාදෙන බව පවසමින් පුද්ගලයින්ගෙන් මුදල් වංචා කල සැකකරුවෙකු විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ විශේෂ විමර්ශන ඒකකයේ නිළධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇත. ඉතාලියේ රැකියාවක් සඳහා සැකකරුට මුදල් ලබාදුන් අයෙකු එම රැකියාව නොලැබීම හේතුවෙන් ඒ සම්බන්දයෙන් කාර්යාංශයට පැමිණිලි කර ඇති අතර ඒ අනුව ක්‍රියාත්මක වූ විමර්ශන නිළධාරීන් රහසිගත ආවේෂණීය පරීක්ෂණයකින් අනතුරුව ඊයේ (26) ගල්කිස්ස ප්‍රදේශයේදී මෙහි සැකකරු අත්අඩංගුවට ගැනීමට සමත්වී ඇත. මොහු රත්මලාන ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකි.

මෙම පුද්ගලයා සිය කාර් රථයේ ජංගම විදේශ රැකියා ආයතනයක් පවත්වා ගෙන ගොස් ඇති අතර, එහි තිබී විදේශ ගමන් බලපත්‍ර 23ක්, ඉතාලි රැකියා ගිවිසුම් 9ක්ද අත්අඩංගුවට ගෙන තිබේ. මෙම සිදුවීමට සම්බන්ධ තවත් සැකකරුවන් සිටීද යන්න පිලිබඳව මේ වන විට කාර්යාංශයේ විමර්ශන ඒකකය විසින් පරීක්ෂණ පවත්වන අතර නීත්‍යානුකූල බලපත්‍රයක් නොමැතිව පුද්ගලයින් විදේශ රැකියා සඳහා යැවීමට කටයුතු කිරීම හා මුදල් වංචා කිරීම සම්බන්ධයෙන් සැකකරු අද දින ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

මෙම වැටලීම සිදුකළ කාර්යාංශයේ සියලු නිළධාරීන්ට ස්තූතිවන්ත වන බවත් එසේම මෙවැනි වංචාකරුවන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීමට කිසිසේත්ම පසුබට නොවන බවද මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ අධිකරණ හා විදේශ රැකියා අමාත්‍ය නීතීඥ තලතා අතුකෝරළ මහත්මිය සඳහන් කළාය. මෙවැනි වංචාකරුවන් පිළිබඳව තොරතුරු දන්නේනම් කාර්යාංශයට දැනුම් දෙන ලෙසද අමාත්‍යවරිය මහජනතාවගෙන් ඉල්ලා සිටියාය.