ඉනට පලා නෙලාගෙනේ ! එයි අම්මා විගසකිනේ !

0
488

papa amma 2

ලුනුවිල  ,  කිරිමැටියාන  වත්ත  ප්‍රදේශයේ   ජීවත්වන  ඔරිල්  තෙරේස්  (අවුරුදු  50 )  දරුවන්  දෙදෙනෙකුගේ  මවකි.  එක්  අතක්  සහ  පාදයක්   පණ නැතිව   වසර  12ක්  තිස්සේ  ශාරීරික  දුබලතාවයෙන්  පසුවුවද    තම  පවුලේ  නඩත්තුව  උදෙසා   වීශාල  කැප කිරීමක්  කරයි.  කුලී වැඩ  කරන  ස්වාමි පුරුෂයා  සිටියද  ඔහුගේ  මැදිහත්වීම  ප්‍රමාණවත්  නොවන   නිසා   ඒ  සියළු  බර  දැරීමට  ඇයට  සිදුවිය.  ගමෙන්  සොයාගන්නා   පලාවර්ග   මිටිබැඳ   මල්ලක  දමාගෙන   විකුණා   යම්  මුදලක්   සොයා  ගැනීමට   ඇය  ගෙයින්  ගෙට  යයි.  මෙසේ  ගෙයින්ගෙට  යන  අවස්ථාවක    මීගමුව ,  දළුපත   ප්‍රදේශයේදී   ඇය  අපට  හමුවිය.    එක්  කකුලක  වාරුවෙන්  පමණක්   ගතට  දිරිගෙන  ගමන් කරන  ආකාරය  දෙස  බලන  විට   ශාරීරික  දුබලතා  තිබුනද   ඇය  කොතරම්   ශක්තිමත්ව  ජීවිතයට  මුහුණ  දෙන්නේදැයි  පැහැදිළිවිය.    ජීවත්වීමට  අරගල  කරන  මෙවන්  අයගේ  තොරතුරු  සහ  සාකච්ඡා  මීට   පෙරද  අපගේ  වෙබ්  අඩවියේ  පළ  කළෙමු.   අප  ඇය  සමඟද  කථාබහකට  යොමුවුනේ   එකී   අරමුණ  පෙරදැරි  කරගෙනය.  මේ  අනුව  ඇය  තම  ජීවිතය  ගැන   පළකලේ  මෙවන්  අදහසකි.

මම  එම්. ඒ  ඔරිල්  තෙරේස්.  කිරිමැටියාන  තමයි  මගෙ  ගම.  දරුවන්ව   හදාවඩා  ගන්න  මේ  රස්සාව  මම  තෝර  ගත්ත.  දරුවො  දෙන්නයි  මට  ඉන්නෙ.  පුතා  දැන්  ටිකක්  ලොකුයි .  දුව  තාම  පොඩියි.  ඒ නිසා  අමාරුඋනත්   ගෙයින්ගෙට  ඇවිදල  පලාටිකක්  විකුණගෙන  ගෙදර  නඩත්තුව  කරගෙන  යනව.

මීට  කලින්  මොනවද  කළේ?

මම  මීට  කලින්  ගාමන්ට්  එකක  වැඩ  කළා.  කොහුමෝලක  වැඩ  කළා.  රට ගියා.    මගෙ  අම්මත්  වැඩ  කළේ  කොහු  මෝලක,  ඒකාලෙ  අම්ම  හිටිය  මගෙ  උදව්වට.  ඒනිසා  බයක්  තිබුනෙ නෑ.  අම්ම  නැතිවුනාට  පස්සෙ  මම  සියල්ල  කරට  අරගෙන  වැඩකරන්න  හුරුවුනා.

 කෙහොමද  මේ  රස්සාවෙ  තොරතුරු?

එකඑක  ජාතියෙ  පලාවර්ග  හොයාගෙන  ඒව  මිටි බඳිනව.    මිටි 100ක්  150ක්  වගේ  බැඳල  අරගෙන  එනව.  මීගමුවට  එන්නෙ  එක  දවසයි.  තවත්  පැති  වලට  යනවා.  දෙයියන්ට  පිං  සිද්ද  වෙන්න  මට  වැඩිදෙනෙක්  උදව්  කරනව.  සමහරු  ඉතුරු  සල්ලි  ගන්නෙත්  නෑ.  ඒක  මට  ලොකු  සතුටක්.   මම  කාටවත්  වරදක්  කරල  නෑ.  ඒනිසා   කව්රුත්   මට  වැරැද්දක්  කරන්නෙත්  නෑ.

ඉදිරි  බලාපොරොත්තු  මොනවද?

මට  ලොකු  බලාපොරොත්තු  නෑ.  පුතා  ගැන  නම්  මට  බයක්  නෑ.  දුවව   බලාකියාගෙන  හොඳින්  හදා ගන්න  තමයි  මගෙ  ලොකුම  බලාපොරොත්තුවකට  තියෙන්නෙ.  එයා  ස්කෝලෙ  වැඩට  හුඟක්  දක්ෂයි. පන්තියෙ  ළමයින්  48  දෙනෙක් ගෙන්   එයා  4 වෙනිය.  ඒ නිසා  එයාට  හරි විදිහට  උගන්වල  හරි  මගට  ගත්තනම්  මට ඒ  ඇති.  වෙන  මොකුත්  ඕනෙ නෑ.

මේ  අම්මට  වචනවලින්  විස්තර  කළ  නොහැකි  දේවල්  රාසියක්  තමන්ගෙ  දරුවන්  වෙනුවෙන්  තිබෙන  බව  ඇය   තමන්ගෙ  දෙනෙත්  වලින්  ප්‍රකාශ  කරයි. තමන්ගෙ  අදහස්   කියන්නට   කටක්  තිබෙන  නමුත්  ,  දෑත්  දිගුකරල   වැඩක්  කරන්නට  ඇති  නොහැකියාව  පේනවටත්  කැමති  නෑ.  ඒ  නිසා  ඇය  හැඟීම්  බරව  කිව්වෙ  මට  නම්  කාගෙන් හරි  ඉල්ලගෙන  කාල  ජීවත්  වෙන්න  පුළුවන් ,  නමුත්  මගෙ  දරුවන්ට  ඒ  තත්වෙ  උදා  කරන්න  මම  කැමති  නෑ  කියලයි.  දිරිය  කතක්  ලෙස   ජීවත්වීම  උදෙසා  මේ  කරන  වෑයමට   අපි  ඇයට   තවතවත්  ශක්තිය  සහ  ධෛර්්‍යය    පතමු.